පළවෙනි රාජාවලිය
14 ඒ කාලේදී යෙරොබොවම්ගේ පුතා වුණ අබියා අසනීප වුණා. 2 ඉතින් යෙරොබොවම් එයාගේ බිරිඳට මෙහෙම කිව්වා. “දැන් ගිහින් ඔයා මගේ බිරිඳ කියලා කාටවත් අඳුරගන්න බැරි වෙන විදිහට ඇඳගෙන ෂීලෝවලට යන්න. අනාගතවක්තෘ අහියා ඉන්නේ එහේ. එයා තමයි කිව්වේ මං මේ සෙනඟගේ රජ වෙනවා කියලා.+ 3 එයාට දෙන්න රොටි දහයකුයි, තුනී රොටි ටිකකුයි, මීපැණි බෝතලයකුයි අරගෙන යන්න. පුතාට මොකද වෙන්නේ කියලා එයා කියයි.”
4 යෙරොබොවම් කියපු විදිහටම එයාගේ බිරිඳ කළා. එයා ෂීලෝවල+ හිටපු අහියාගේ ගෙදරට ගියා. අහියා හොඳටම වයසට ගිහින් හිටපු නිසා එයාගේ ඇස් පෙනීම නැති වෙලයි තිබුණේ.
5 යෙහෝවා දෙවියන් අහියාට මෙහෙම කියලා තිබුණා “යෙරොබොවම්ගේ පුතා ඉන්නේ අසනීපෙන්. ඒ නිසා එයාට මොනවාද වෙන්නේ කියලා දැනගන්න යෙරොබොවම්ගේ බිරිඳ ඔයාව හම්බ වෙන්න එනවා. ඒත් එයා කවුද කියලා එයා ඔයාට කියන එකක් නැහැ. එයාට කියන්න ඕනෙ දේ මම ඔයාට කියන්නම්.”*
6 එයා දොරකඩට ආපු ගමන්ම එයාගේ අඩි සද්දේ ඇහිලා අහියා මෙහෙම කිව්වා. “ඇතුළට එන්න. ඔයා යෙරොබොවම්ගේ බිරිඳ කියලා මං දන්නවා. ඔයා කවුද කියලා හංගන්නේ ඇයි? ඔයාට නරක ආරංචියක් කියන්න කියලා දෙවියන් මට පැවරුවා. 7 ගිහින් යෙරොබොවම්ට මෙහෙම කියන්න. ‘ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා කියන්නේ මේකයි. “සෙනඟ අතරින් මං ඔයාව තෝරගෙන මගේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන්ගේ නායකයා විදිහට ඔයාව පත් කළා.+ 8 මම රාජ්‍යය දාවිත්ගේ පෙළපතින් උදුරගෙන ඔයාට දුන්නා.+ ඒත් ඔයා මගේ සේවක දාවිත් වගේ මගේ ආඥා පිළිපැද්දෙවත් මගේ මඟ පෙන්වීම්වලට මුළු හදවතින්ම කීකරු වුණේවත් නැහැ. දාවිත් නම් හැම වෙලේම මං හරියි කියලා සලකන දේ කළා.+ 9 ඒත් ඔයා ඔයාට කලින් හිටපු හැමෝටම වඩා දුෂ්ට දේවල් කළා. මාව කේන්ති ගස්සන්න ඔයා තව දෙවි කෙනෙක්ව හදාගත්තා. ලෝහවලින් අර රූප හදාගත්තා.+ ඔයා පිටුපෑවේ මටයි.+ 10 ඒ හින්දා මම යෙරොබොවම්ගෙන් පැවතෙන අය පිටට විපතක් ගේනවා. යෙරොබොවම්ගෙන් පැවතෙන ඊශ්‍රායෙල් දේශයේ ඉන්න දුර්වල, අසරණ අය ඇතුළුව හැම පුරුෂයෙක්වම මම නැත්තටම නැති කරලා දානවා. ගොම අයින් කරලා දානවා වගේ මම යෙරොබොවම්ගේ පෙළපත අතුගාලාම දානවා.+ 11 නගරවලදී මැරෙන යෙරොබොවම්ගේ පවුලේ අයව බල්ලෝ කාලා දානවා. නගරෙන් පිට මැරෙන අයව කුරුල්ලෝ කාලා දානවා. ඒ දේ කියන්නේ යෙහෝවායි.”’
12 “දැන් ඔයා ගෙදර යන්න. ඔයා නගරෙට ඇතුල් වුණ ගමන්ම දරුවා මැරෙනවා. 13 ඊශ්‍රායෙල්වරු හැමෝම එයා ගැන අඬා වැලපිලා එයාව තැන්පත් කරයි. යෙරොබොවම්ගේ පවුලේ අයගෙන් එයාව විතරයි ඒ විදිහට තැන්පත් කරන්නේ. මොකද ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා යෙරොබොවම්ගේ පවුලේ අයගෙන් එයාගේ විතරයි මොනවා හරි හොඳක් දැකලා තියෙන්නේ. 14 යෙහෝවා ඊශ්‍රායෙල්වරුන්ට රජෙක්ව පත් කරයි. එයා නියමිත දවසේදී යෙරොබොවම්ගේ පෙළපත නැති කරලා දායි.+ ඇත්තටම ඒ දවස දැනටමත් ඇවිල්ලයි තියෙන්නේ. 15 ඊශ්‍රායෙල්වරු නමස්කාර කරන්න කණු*+ හදාගෙන යෙහෝවාව කේන්ති ගස්සපු නිසා යෙහෝවා ඊශ්‍රායෙල්වරුන්ට දඬුවම් කරනවා. ඒ නිසා එයාලා වතුරේ ගහගෙන යන බට ලීයක් වගේ වෙනවා. දෙවියන් ඊශ්‍රායෙල්වරුන්ව එයාලාගේ මුතුන්මිත්තන්ට දුන්න මේ සරුසාර දේශයෙන් උගුල්ලලා+ එයාලව මහ ගඟෙන්* එගොඩ තියෙන ප්‍රදේශවලට විසුරුවාහරිනවා.+ 16 යෙරොබොවම් කරපු වැරදි නිසාත් එයාගේ බලපෑමට අහු වෙලා ඊශ්‍රායෙල්වරු කරපු වැරදි නිසාත් දෙවියන් ඊශ්‍රායෙල්වරුන්ව අත්හරිනවා.”+
17 ඊටපස්සේ යෙරොබොවම්ගේ බිරිඳ එතනින් පිටත් වෙලා තිර්ෂාවලට ගියා. එයා ගෙදර දොරකඩට ආපු ගමන්ම එයාගේ පුතා මැරුණා. 18 යෙහෝවා ඔහුගේ සේවකයා වුණ අනාගතවක්තෘ අහියා මාර්ගයෙන් කියපු විදිහටම ඊශ්‍රායෙල්වරු හැමෝම එයා ගැන අඬා වැලපිලා එයාව තැන්පත් කළා.
19 යෙරොබොවම්ගේ ජීවිතේ අනිත් සිදුවීම් ගැන ඒ කියන්නේ එයා කරපු යුද්ධ ගැනත්+ එයා රජකම් කරපු විදිහ ගැනත් ඊශ්‍රායෙල්වල රජවරුන්ගේ ඉතිහාසය ගැන වාර්තා කරලා තියෙන ලියවිල්ලේ සඳහන් වෙනවා. 20 යෙරොබොවම් අවුරුදු 22ක් රජකම් කළා. ඊටපස්සේ එයා මැරුණා.+ එයාවත් එයාගේ මුතුන්මිත්තන් වගේ තැන්පත් කළා. එයාගෙන් පස්සේ එයාගේ පුතා වුණ නාදාබ් රජකමට පත් වුණා.+
21 ඔය අතරේ යූදාවල රජකම් කළේ සලමොන්ගේ පුතා වුණ රෙහබෝවම්. එයා රජ වෙද්දී එයාගේ වයස අවුරුදු 41යි. ඊශ්‍රායෙල් ගෝත්‍රවලට අයිති නගරවලින් යෙහෝවා දෙවියන් ඔහුගේ නම දරන්න+ තෝරගත්ත නගරය+ වන යෙරුසලමේ ඉඳන් එයා අවුරුදු 17ක් පාලනය කළා. රෙහබෝවම්ගේ අම්මාගේ නම නයමා. එයා අම්මොන් ජාතික ස්ත්‍රියක්.+ 22 යූදා රාජ්‍යයේ හිටපු මිනිස්සුත් යෙහෝවා දෙවියන් වැරදියි කියලා සලකන දේවල් කළා.+ එයාලා කොච්චර වැරදි කළාද කියනවා නම් එයාලා එයාලාගේ මුතුන්මිත්තන්ට වඩා වැඩියෙන් දෙවියන්ව කේන්ති ගැස්සුවා.+ 23 එයාලත් හැම කඳු මුදුනකම+ සහ සරුවට වැඩුණ හැම ගහක් යටම+ පූජනීය ස්ථාන,* කුලුනු, කණු*+ හැදුවා. 24 දේශයේ තිබුණ දේවාලවල පිරිමි ගණිකාවනුත් හිටියා.+ යෙහෝවා ඊශ්‍රායෙල්වරු ඉස්සරහින් පන්නලා දාපු ජාතීන් කරපු හැම පිළිකුල් දෙයක්ම සෙනඟ කළා.
25 රෙහබෝවම් රජකම් කරපු පස්වෙනි අවුරුද්දේ ඊජිප්තුවේ රජ වුණ ෂීෂක්+ යෙරුසලමට විරුද්ධව ආවා.+ 26 යෙහෝවා දෙවියන්ගේ ගෘහයේ තිබුණ වටින දේවලුයි, රජමාලිගාවේ තිබුණ වටින දේවලුයි එයා පැහැරගත්තා.+ සලමොන් රජ හදපු රත්තරන් පලිස් ඇතුළුව හැම දෙයක්ම එයා අරගෙන ගියා.+ 27 ඒ නිසා රෙහබෝවම් රජ ඒවා වෙනුවට තඹ පලිස් හදලා ඒවා රජමාලිගාවේ දොරටු මුර කරපු අයගේ ප්‍රධානීන්ට භාර දුන්නා. 28 රජ යෙහෝවාගේ ගෘහයට ආපු හැම වෙලාවකදීම මුරකරුවෝ ඒ පලිස් අරගෙන ආවා. රජ එතනින් ගියාම එයාලා ආපහු ඒවා මුරකුටිවලින් තිබ්බා.
29 රෙහබෝවම්ගේ ජීවිතේ අනිත් සිදුවීම් ගැන ඒ කියන්නේ එයා කරපු හැම දෙයක් ගැනම යූදාවල රජවරුන්ගේ ඉතිහාසය ගැන වාර්තා කරලා තියෙන ලියවිල්ලේ සඳහන් වෙනවා.+ 30 රෙහබෝවම් සහ යෙරොබොවම් අතර නිතරම ගැටුම් තිබුණා.+ 31 අන්තිමේදී රෙහබෝවම් මැරුණා. එයාවත් එයාගේ මුතුන්මිත්තන් වගේ දාවිත්ගේ නුවරේ තැන්පත් කළා.+ එයාගේ අම්මාගේ නම නයමා. එයා අම්මොන් ජාතික කෙනෙක්.+ රෙහබෝවම්ගෙන් පස්සේ එයාගේ පුතා වුණ අබියාම්*+ රජකමට පත් වුණා.