මේවා ඇත්තටම අන්තිම දවස්ද?
ගලා බස්නා ගඟේ රළු සැඩ පහරට හසු වෙද්දී, එහි ගමන් ගන්නා ඔරුවක් තුළ ඔබ ඉන්නේ ඉදිරිපසෙහියි. පෙණ සහ දිය පොද දහරා අතරින් දැවැන්ත පර්වත දෙසට ඔබ ඇදී යනවා. ඒවා මඟහරින්න ඔබ වෑයම් කරනවා. ඔබ පිටුපස සිටින පුද්ගලයා ඔරුව හසුරුවන්න උපකාර කරන්නයි ඉන්නේ; නමුත් ඔහුට තියෙන අද්දැකීම් අඩුයි. ඔබට සිතියමක්වත් නැති නිසා තත්වය තවත් බරපතළ වෙනවා; ඒ හින්දා මේ සැඩ පහර නිසංසල ජලාශයකින් කෙළවර වෙයිද, නැත්නං දිය ඇල්ලකින් කෙළවර වෙයිද කියලා කියන්න ඔබට කොහොමටවත් බැහැ.
එතරම් ප්‍රියකරු දර්ශනයක් නෙවෙයි නේද? ඉතිං අපි ඒක වෙනස් කරමු. පලපුරුදු මඟ පෙන්වන්නෙක්, එනම් ගඟේ හැම ගලක්ම, හැම වංගුවක්ම දන්නා කෙනෙක් ඔබත් එක්ක ඉන්නවා කියලා සිතන්න. මෙම රළු සැඩ පහර තියෙනවා කියලා ඔහු කල්තියාම දැනං හිටියා; ඒකෙන් පස්සේ මොන වගේ තත්වයක් තියෙයිද කියලත් ඔහු දන්නවා; ඒ වගේම ඒ මැදින් ගමන් කරන්න ඕනෙ විදිහත් ඔහු දන්නවා. දැන් ඔබට වඩා වැඩි සුරක්ෂිතභාවයක් හැඟෙන්නේ නැද්ද?
ඇත්තෙන්ම, අපි ඔක්කොමලා ඉන්නේ ඒ හා සමාන අමාරුවකයි. අපේම වරදකින් නූණත්, අපි ඉන්නේ මනුෂ්‍ය ඉතිහාසයේ රළු කාලපරිච්ඡේදයකයි. තත්වය මේ වගේ කොච්චර කල් පවතීද කියලවත්, තත්වය හොඳ අතට හැරෙයිද කියාවත්, ඒ අතරතුර බේරී ඉන්න හොඳම ක්‍රමය මොකක්ද කියාවත් කියන්න බොහෝ මනුෂ්‍යයන්ට කොහොමටවත් බැහැ. ඒත් අපි තනි වෙලා හෝ අසරණ වෙලා කියලා හැඟෙන්න අවශ්‍යතාවක් නැහැ. අපේ මැවුම්කාරයා අපට මඟ පෙන්වීමක් සපයලා තියෙනවා; ඒ මඟ පෙන්වීම ඉතිහාසයේ මේ අඳුරු කාලපරිච්ඡේදය ගැන පුරෝකථනය කළා; එය අවසන් වන විදිහ ගැන අනාවැකි පළ කරනවා; එමෙන්ම බේරී ජීවත් වෙන්න අවශ්‍ය මඟ පෙන්වීම සපයා දෙනවා. ඒ මඟ පෙන්වීම පොතක්, එනම් බයිබලයයි. එහි කර්තෘ වන යෙහෝවා දෙවි, තමාව හඳුන්වන්නේ උදාර උපදේශකයා වශයෙනුයි; එමෙන්ම යෙසායා තුළින් ඔහු බිය සැක දුරු කරමින් මෙහෙම කියනවා: “නුඹලා දකුණට හැරෙන විටද නුඹලා වමට හැරෙන විටද: මාර්ගය මේය, මෙහි හැසිරෙන්නැයි නුඹට පස්සෙන් කියන හඬක් නුඹේ කන්වලට ඇසෙන්ටත් යෙදෙනවා ඇත.” (යෙසායා 30:20, 21) එවැනි මඟ පෙන්වීමක් පිළිගන්න ඔබ කැමතිද? එහෙම නං, අපේ කාලයේ තත්වය බයිබලය ඇත්තෙන්ම පුරෝකථනය කළාද කියලා අපි සලකා බලමු.
යේසුගේ අනුගාමිකයන් අර්ථවත් ප්‍රශ්නයක් අසයි
යේසුගේ අනුගාමිකයන් පුදුම වෙන්න ඇති. යෙරුසලමේ සිත්ගන්නා දේවමාළිගා ගොඩනැඟිලි සහමුලින්ම විනාශ වෙනවා කියලා යේසු ඔවුන්ට පැහැදිලිව කියලා තිබුණා විතරයි! එවැනි අනාවැකියක් පළ කිරීම විස්මයට හේතුවක් වුණා. කෙටි කලකට පස්සේ, ඔවුන් ඔලීව කන්දේ ඉඳගෙන ඉන්දැද්දී, ගෝලයන්ගෙන් සතරදෙනෙක් යේසුගෙන් මෙහෙම ඇහුවා: “මෙම දේවල් සිදුවනු ඇත්තේ කවදාද, තවද ඔබගේ පැමිණසිටීමටත්, දේවල පිළිවෙළේ නිමාවටත් ලකුණ කුමක් වනු ඇද්ද?” (මතෙව් 24:3, NW; මාර්ක් 13:1-4) ඔවුන්ට එය වැටහුණත් නැතත්, යේසුගේ උත්තරයට බහුවිධ අදාළ වීමක් තියෙන්න යනවා.
යෙරුසලමේ දේවමාළිගාවේ විනාශය සහ යුදෙව් දේවල පිළිවෙළේ අවසානය, ක්‍රිස්තුස්ගේ පැමිණසිටීම සහ මුළු ලෝකයේ දේවල පිළිවෙළේ නිමාව සිදු වන කාලයට සමාන වුණේ නැහැ. කොහොම වුණත්, තම දීර්ඝ උත්තරය දෙන කොට, යේසු දක්ෂ ලෙස ප්රශ්නයේ මේ හැම අංගයක්ම ආවරණය කළා. යෙරුසලමේ විනාශයට කලින් තත්වය මොන වගේ වෙයිද කියලා ඔහු ඔවුන්ට කිව්වා. ස්වර්ගයේ රජු හැටියට පාලනය කරමින්, මුළු ලෝකයේ දේවල පිළිවෙළ අවසානයකට පත් කරන්න ඔන්න මෙන්න කියලා තියෙන කාලයක තම පැමිණසිටීමේදී ලෝකයේ තත්වය සම්බන්ධයෙන් අපේක්ෂා කළ යුතු දේත් ඔවුන්ට කිව්වා.
යෙරුසලමේ අවසානය
යේසු යෙරුසලම සහ එහි දේවමාළිගාව ගැන කියූ දේ මුලින්ම සැලකිල්ලට ගන්න. දශක තුනකටත් වැඩිය කලින්, ඔහු ලෝකයේ ශ්‍රේෂ්ඨතම නගරවලින් එකකට දරුණු අමාරුකම්වලින් යුත් කාලයක් පුරෝකථනය කළා. විශේෂයෙන්ම ලූක් 21:20, 21හි වාර්තා වී තියෙන ඔහුගේ වදන් සැලකිල්ලට ගන්න: “යම් කලක සේනාවන් විසින් යෙරුසලම වටලා සිටිනවා නුඹලා දකින්නහුද, එකල එහි විනාශය ආසන්න බව දැනගන්න. එකල යුදයෙහි සිටින්නෝ කඳුවලට පලායත්වා; එහි තුළ සිටින්නෝ පිටතට යත්වා; ගම්බද සිටින්නෝ එහි ඇතුල් නොවෙත්වා.” යෙරුසලම, කඳවුරු බැඳගත් සේනාවන් විසින් වටලනු ලබන්න තිබුණා නම්, යේසුගේ අණ පරිදි “එහි තුළ සිටින්නෝ” නිකම්ම “පිටතට” යන්නේ කොහොමද? ප්‍රස්තාවේ දොරටුවක් විවෘත වෙන්න යන විත්තිය යේසු අඟවමින් සිටි බව පැහැදිලියි. එහෙම වුණාද?
පොදු යුගයේ 66දී, සෙස්ටියස් ගැලස්ගේ අණ යටතේ සිටි රෝම හමුදාවන් කැරලිකාර යුදෙව් හමුදාවන් යෙරුසලම දක්වා පලවා හැර තිබුණු අතර, ඔවුන්ව නගරය තුළ කොටු කරලා තිබුණා. රෝමවරුන් නගරය තුළටම මෙහෙයුමක් දියත් කළ අතර, දේවමාළිගාවේ තාප්පය දක්වා ළඟා වුණා. ඒත් එවිට ගැලස්, තම සේනාවන්ට ඇත්තෙන්ම අදහගන්න බැරි දෙයක් කරන්න විධාන කළා. ඔවුන්ට පසුබසින්න ඔහු අණ කළා! සතුටින් පිනා ගිය යුදෙව් සෙබළුන් පලාගිය ඔවුන්ගේ රෝම සතුරන් ලුහුබඳිමින් අලාභහානි සිදු කළා. මෙසේ, යේසු පුරෝකථනය කළ ප්‍රස්තාවේ දොරටුව විවෘත වුණා. සැබෑ ක්‍රිස්තියානීන් ඔහුගේ අනතුරු ඇඟවීමට අවනත වී, යෙරුසලමෙන් ඉවත් වුණා. එහෙම කරපු එක ඥානවන්ත දෙයක් වුණා; මන්ද අවුරුදු හතරක තරම් කෙටි කාලයකදී, සේනාධිපති ටයිටස්ගේ මූලිකත්වයෙන් රෝම හමුදාවන් ආපසු පැමිණියා. ඒ වතාවේදී පලායන්න කොහොමටවත් හැකියාවක් තිබුණේ නැහැ.
රෝම හමුදාවන් නැවතත් යෙරුසලම වැටලුවා; ඔවුන් ඒ වටා උල් සහිත කණුවලින් බලකොටුවක් තැනුවා. යෙරුසලම ගැන යේසු මෙහෙම අනාවැකි කියලා තිබුණා: “ඔබේ සතුරන් [උල් සහිත කණුවලින්, NW] බලකොටු තනා, ඔබ සිසාරා, සතර දිගින් [ඔබට දුක් දී, NW] ඔබ වටලන දවස් පැමිණෙන්නේ ය.”a (ලූක් 19:43, නව අනුවාදය) වැඩි කාලයක් යන්න පෙර, යෙරුසලම වැටුණා; එහි තේජාන්විත දේවමාළිගාවෙන් ඉතුරු වුණේ දැවෙන නටඹුන් විතරයි. යේසුගේ වදන් අකුරටම ඉටු වුණා!
ඒත් යෙරුසලමේ ඒ විනාශයට වඩා, යේසුගේ මනසෙහි වෙනත් බොහෝ දේවල් තිබුණා. ඔහුගේ ගෝලයන් ඔහුගේ පැමිණසිටීම පිළිබඳ ලකුණ ගැනත් ඔහුගෙන් විමසා තිබුණා. ඒ අවස්ථාවේදී ඔවුන් එය නොදැන සිටියත්, ස්වර්ගයේ රජු හැටියට පාලනය කරන්න ඔහුව පත් කරන්න යන කාලයකට මෙය යොමු දැක්වූවා. ඔහු පුරෝකථනය කළේ මොකක්ද?
අන්තිම දවස්වලදී යුද්ධ
ඔබ මතෙව් 24 සහ 25වන පරිච්ඡේද, මාර්ක් 13වන පරිච්ඡේදය සහ ලූක් 21වන පරිච්ඡේදය කියෙව්වොත්, යේසු අපේම සමය ගැන කතා කරමින් සිටි බවට ප්‍රතික්ෂේප කරන්න බැරි සාක්ෂි දැකගන්න ඔබට පුළුවන් වේවි. ඔහු යුද්ධ තියෙන කාලයක්—එනම් නිකම්ම මනුෂ්‍ය ඉතිහාසය නොනැවතී අවලක්ෂණ කරලා තියෙන “යුද්ධ සහ යුද්ධ ප්රවෘත්ති” විතරක් නොව, නමුත් ‘ජාතියක් ජාතියකට විරුද්ධ වන සහ රාජ්‍යයක් රාජ්‍යයකට විරුද්ධ වන’ යුද්ධ—ඔව්, මහත් අන්තර්ජාතික යුද්ධ ගැන පුරෝකථනය කළා.—මතෙව් 24:6-8.
යුද්ධ කිරීම අපේ සියවස වෙනස් කරලා තියෙන ආකාරය ගැන මොහොතකට සිතා බලන්න. යුද්ධ, එකිනෙකාට විරුද්ධ වූ ජාතීන් දෙකක් නියෝජනය කළ හමුදාවන් සටන් වැදීම අදහස් කළ කාලයේදී, සටන් බිමක කඩුවලින් දිගට හරහට කැපීම හෝ එකිනෙකාට තුවක්කුවලින් වෙඩි තැබීම පවා බිහිසුණු දෙයක් වුණා. ඒත් 1914දී මහා යුද්ධය ආරම්භ වුණා. ජාතීන් එකා පිට එකා යුදබිමට අවතීර්ණ වුණා; ඒ තමයි පළවෙනි සමස්ත ලෝක යුද්දේ. වැඩි පිරිසක් මෙන්ම වඩාත් ඈතක සිට මනුෂ්‍යයන්ව ඝාතනය කරන්න ස්වයංක්‍රීය අවි නිර්මාණය කරනු ලැබුවා. දරුණු ප්‍රතිඵල ගෙන දෙමින්, වැඩි කාර්යක්ෂමතාවකින් මැෂින් තුවක්කුවලින් වෙඩි උණ්ඩ එල්ල කරනු ලැබුවා; මස්ටඩ් වායුව සෙබළුන් දහස් ගණනක්ව පිලිස්සුවා; අබ්බගාතයන් බවට පත් කළා; ඒ වගේම මරුමුවට පත් කළා; යුද ටැංකි ඒවායේ දැවැන්ත තුවක්කු ක්‍රියාත්මක කරමින් සතුරන්ගේ යුද අගල් උඩින් අනුකම්පා විරහිතව ගමන් කළා. ගුවන් යානා සහ සබ්මැරීන යානාත් යොදාගනු ලැබුවා; තවත් ඉස්සරහට එන්න තිබුණු ඒවා ගැන ඒවායින් සැපයුවේ සුළු ඉඟියක් විතරයි.
දෙවන ලෝක මහ යුද්ධය සිතාගන්න බැරි තරම් දේවල් කළා; ඇත්තෙන්ම එයට කලින් සිදු වූ මහා යුද්ධයට වඩා ඉතා දරුණු වූ මෙය, මනුෂ්‍යයන් දශලක්ෂ ගණනාවක්වම ඝාතනය කළා. පාවෙන නගරවලට සමාන කරන්න පුළුවන් ගුවන් යානා ගෙනගිය දැවැන්ත නැව් සමුද්‍රයේ යාත්‍රා වූ අතර, සතුරන්ගේ ඉලක්කවලට අහසින් මාරාන්තික ප්‍රහාර එල්ල කරන්න ඒවායින් යුද ගුවන් යානා මුදාහරිනු ලැබුවා. සබ්මැරීනවලින් ටෝපිඩෝ එල්ල වී සතුරු යාත්‍රා මුහුදුබත් වුණා. එමෙන්ම පරමාණු බෝම්බ හෙළනු ලැබූ අතර, හැම ප්‍රහාරයක්ම ජීවිත දහස් ගණනක් බිලිගත්තා! යේසු පුරෝකථනය කළාක් මෙන්, යුද්ධයෙන් නැහැවුණු මේ සමය ලකුණු කරන්න, ඇත්තෙන්ම “භයංකර පෙනීම්” තිබිලා තියෙනවා.—ලූක් 21:11.
දෙවන ලෝක මහ යුද්ධයේ ඉඳන් යුද්ධවල අඩුවක් දකින්න තියෙනවාද? කොහෙත්ම නැහැ. සමහර අවස්ථාවන්හිදී එක් අවුරුද්දක් තුළ—මේ 1990 ගණන්වල දශකයේදී පවා—යුද්ධ බොහොමයක් සිදු වෙන අතර, මරණ සංඛ්‍යාව දශලක්ෂ ගණනාවක් වෙනවා. එමෙන්ම දැන් යුද්ධයට මූලිකව ගොදුරු වන අයගේ වෙනසක් වෙලා තියෙනවා. දැන් වැඩියෙන්ම මැරෙන්නේ සෙබළුන් නෙවෙයි. අදදින, යුද්ධයට ගොදුරු වන සංඛ්‍යාවෙන් වැඩි හරියක්ම—ඇත්තෙන්ම සියයට 90කටත් වැඩිය—සාමාන්‍ය ජනයායි.
ලකුණේ වෙනත් අංග
යුද්ධ කියන්නේ යේසු සඳහන් කළ ලකුණේ එක් පැත්තක් විතරයි. “ආහාර හිඟකම්” තියෙන්න යන බවටත් ඔහු අනතුරු ඇඟෙව්වා. (මතෙව් 24:7, NW) මුළු මනුෂ්‍යවර්ගයාව පෝෂණය කරන්න අවශ්‍ය ආහාර ප්‍රමාණයටත් වඩා වැඩියෙන් පොළොව පුදුමසහගත ලෙස නිෂ්පාදනය කළත්, මිනිස් ඉතිහාසයේ පෙර කිසිදාකටත් වඩා වැඩියෙන් කෘෂිකාර්මික විද්‍යාව දියුණු තත්වයක තිබුණත්, ලෝකයේ ඕනෑම තැනකට ආහාර ප්රවාහණය කරන්න වේගවත් සහ කාර්යක්ෂම ප්‍රවාහණ පහසුකම් තිබුණත්, එය සැබෑවක් වෙලා තියෙනවා. ඒ හැම දෙයක්ම තිබුණත්, මේ ලෝකයේ ජනගහනයෙන් පහෙන් එකක් පමණ හැමදාම කුසගින්නෙන් පෙළෙනවා.
“එක් තැනක් පාසා තවත් තැනක [NW]” “වසංගත” තියෙයි කියලත් යේසු පුරෝකථනය කළා. (ලූක් 21:11) නැවතත් අපේ සමයේ පුදුමසහගත දෙයක් සිදු වෙලා තියෙනවා: පෙර කිසිදාකටත් වඩා වෛද්‍ය සාත්තු ඉහළ තත්වයක තියෙනවා; තාක්ෂණික අතින් නව සොයාගැනීම් කරලා තියෙනවා; පොදු රෝග බොහොමයක් වළක්වන්න එන්නත් තියෙනවා. ඒත් වසංගත වගේ පැතිරෙන රෝගත් පෙර නොවූවිරූ ආකාරයකින් වැඩිවර්ධනය වෙලා තියෙනවා. පළමු ලෝක යුද්ධය අවසන් වූ ගමන්ම වාගේ ස්පාඤ්ඤ සෙම්ප්‍රතිශ්‍යාව පහර දුන් අතර, යුද්ධයෙන් මියගිය ජීවිත සංඛ්‍යාවට වඩා වැඩි සංඛ්‍යාවක් එය බිලිගත්තා. මේ රෝගය කොතරම් බෝවනසුලු එකක් වූවාද කිව්වොත්, නියූ යෝක් වැනි නගරවල, පුද්ගලයෙකුට නිකම්ම කිඹුහුමක් ගියොත් ඔහුට දඩ ගහන්න හෝ ඔහුව සිර කරන්න ඉඩ කඩ තිබුණා! අදදින, වසංගත සේ සැලකිය හැකි පිළිකාව සහ හෘදයාබාධ හැම වසරකම ජීවිත දශලක්ෂ ගණනාවක්ම බිලිගන්නවා. එමෙන්ම මූලික වශයෙන් වෛද්‍ය විද්‍යාවේ කිසිම මැදිහත් වීමකින් තොරව ඒඩ්ස් දිගටම ජීවිත ඩැහැගනිමින් ඉන්නවා.
යේසු අන්තිම දවස් ගැන කතා කළ විට, ඔහු වැඩි අවධානයක් යොමු කළේ ඉතිහාසය හා දේශපාලනය පුරාම බලපාන තත්වයන්වලටයි. නමුත් ප්‍රේරිත පාවුල් වැඩි අවධානයක් යොමු කළේ සමාජීය ප්‍රශ්න සහ පවතින ආකල්ප කෙරෙහියි. ඔහු ලියූ දේවල් සමහරක් ගත්තොත්: “මෙය දැනගන්න: එනම්, අන්තිම දවස්වලදී කටයුතු කිරීමට අසීරු, අර්බුදකාරි කාලවල් පැමිණෙන්නේය.” “මක්නිසාද මනුෂ්‍යයෝ තමුන්ටම ප්‍රේමකරන්නෝව, . . . අභක්තිකයෝව, ජන්ම ස්නේහය නැත්තෝව, සමාදාන නොවන්නෝව, . . . තෘෂ්ණාව මැඩපවත්වා නොගන්නෝව, කෲරයෝව, යහපතට ප්‍රේමනොකරන්නෝව, ද්‍රෝහියෝව, හිතුවක්කාරයෝව, අහංකාරයෝව, [දෙවිට] වඩා සැපසෙල්ලමට ප්‍රේමකරන්නෝව . . . සිටින්නෝය.”—2 තිමෝති 3:1, NW, 2-5.
මේ වදන් ඔබට හුරු පුරුදු ඒවා වගේද? අදදින ලෝකයේ සමාජීය පිරිහීමේ එක අංගයක් විතරක් සලකා බලන්න: පවුල බිඳ වැටීම. බිඳ වැටුණු නිවහන්, පහර ලැබූ කලත්‍රයන්, අඩන්තේට්ටම් කළ දරුවන් සහ හිරිහැර විඳලා තියෙන වයසක දෙමාපියන් ගැන ආරංචි වන තොරතුරු කන්දරාව, පුද්ගලයන්ට “ජන්ම ස්නේහය” නැති බවත්, ඔවුන් “කෲර” බවත්, ඇතැම්විට “ද්‍රෝහියෝ” පවා බවත්, “යහපතට ප්රේමනොකරන්නෝ” බවත් කොතරම් පැහැදිලිව පෙන්නුම් කරනවාද! ඔව්, මෙම ගතිලක්ෂණ වසංගතයක් මෙන් පැතිර තියෙන ආකාරය අපිට පේනවා.
පුරෝකථනය කළ පරම්පරාව අපේ එකද?
ඒත්, ‘මේ වගේ තත්වයන්ගෙන් මනුෂ්‍යවර්ගයා දන්න දා ඉඳන් පීඩා ලබලා නැද්ද? අපේ නූතන පරම්පරාව මේ පුරාණ අනාවැකිවල පුරෝකථනය කරපු එක කියලා අපි දන්නේ කොහොමද?’ කියලා ඔබ කල්පනා කරනවා ඇති. යේසු අපේ කාලය ගැන කතා කළ බවට ඔප්පු කරන තුන් ආකාරයකින් දිවයන සාක්ෂි සලකා බලමු.
පළමුව, යෙරුසලම සහ එහි දේවමාළිගාවේ විනාශය තුළ අසම්පූර්ණ මුල් ඉටුවීමක් තිබුණත්, යේසුගේ වදන් ඒ කාලයෙන් ඔබ්බට අනාගතය වෙතට නිසැකවම යොමු දැක්වූවා. යෙරුසලම විනාශ කළ ඒ මහත් විනාශයෙන් අවුරුදු 30කට පමණ පසු, අනාවැකි පළ කරලා තිබුණු තත්වයන්—එනම්, යුද්ධ, සාගත, වසංගත සහ ප්‍රතිඵලයක් වශයෙන් සිදු වන මරණය—අනාගතයේදී ලොවටම පහර දෙන්න යන බව පෙන්නුම් කරන දර්ශනයක්, යේසු මහලු ප්‍රේරිත යොහන්ට දුන්නා. ඔව්, මෙම විපත්ති එක ස්ථානයකට පමණක් සීමා වෙන්නේ නැහැ; නමුත් සමස්තයක් වශයෙන් ‘පොළොව’ පුරා පවතින්න යනවා.—එළිදරව් 6:2-8.
දෙවනුව, යේසුගේ ලකුණේ ඇතැම් අංග මේ සියවසේ උපරිමයෙන් ඉටු වෙමින් තියෙනවා කියලා අපිට කියන්න පුළුවන්. උදාහරණයක් හැටියට, 1914 පටන් දරුණු ස්වභාවයක් ගෙන ඇති යුද්ධවලට තවත් දරුණු වෙන්න යම් ඉඩ කඩක් තියෙනවාද? අදදින න්‍යෂ්ටික බලවතුන් තම අවි ආයුධ යොදාගත් තුන්වන ලෝක යුද්ධයක් සිදු වුණා නම්, මේ පොළොව අඟුරු ගොඩක් බවට පත් වෙන්න පුළුවන්; ඇරත් මනුෂ්‍යවර්ගයාව හොයාගන්නත් බැරි වේවි. සමානාකාරයෙන්, ජාතීන් ‘උදහස්ව’ සිටින මේ දවස්වලදී, මනුෂ්‍යවර්ගයා ‘පොළොව විනාශ කරමින්’ සිටින බව එළිදරව් 11:18හි පුරෝකථනය කෙරුවා. ඉතිහාසයේ මුල්ම වතාවට, පරිසර දූෂණය සහ පිරිහීම නිසා මේ ග්‍රහයා වාසයට සුදුසු ස්ථානයක්ද කියන එක තර්ජනයට ලක් වෙලා තියෙනවා! ඒ හින්දා මේ අංගයත් උපරිමයෙන්ම ඉටු වෙමින් පවතිනවා. මනුෂ්‍යයා තමාවමත් මේ ග්‍රහයාවත් විනාශ කරන තරමටම යුද්ධ සහ පරිසර දූෂණය උග්‍ර වෙයිද? නැහැ; එයට හේතුව පොළොව සදාකල් පවතින බවත්, එමත හරි හෘද තත්වයක් ඇති අය ජීවත් වන බවත් බයිබලයම කියා සිටින නිසයි.—ගීතාවලිය 37:29; මතෙව් 5:5.
තුන්වෙනුව, අන්තිම දවස් පිළිබඳ ලකුණ සමස්තයක් වශයෙන් ගන්න කොට එය විශේෂයෙන් ඒත්තුගන්වනසුලුයි. යේසු සුවිශේෂ තුනේ සඳහන් කළ අංගත්, පාවුල්ගේ ලියවිලිවල ඒවත්, එළිදරව් පොතේ ඒවත් සියල්ලම ගණන් ගත්තහම, මේ ලකුණට අංග රාශියක් තියෙනවා. ඒවා එක එක වෙන වෙනම අරගෙන, වෙනත් සමවලත් ඒ හා සමාන ගැටලු ඇති වෙලා තියෙනවා කියලා තර්ක කරමින් පුද්ගලයෙක් යථාර්ථය මඟහරින්න උත්සාහ කරනවා වෙන්න පුළුවන්; ඒත් මේ හැමෙකක්ම අපි එකට සලකා බලනවා නම්, ඒවා කිසිම සැකයක් නැතුව එකම සමයකට විතරයි ඇඟිල්ල දික් කරන්නේ—ඒ අපේ සමයටයි.
ඒත්, මේ හැම දෙයකින්ම අදහස් කරන්නේ මොකක්ද? බයිබලය අපේ සමය වියරු වැටුණු, බලාපොරොත්තු විරහිත කාලයක් හැටියට විස්තර කරන එක විතරද? නෑ, කොහොමටවත් නැහැ!
ශුභාරංචි
අන්තිම දවස්වල ලකුණේ අංගවලින් වඩාත්ම කැපීපෙනෙන එකක්, මතෙව් 24:14හි [NW] වාර්තා වෙලා තියෙනවා: “රාජ්‍යයේ මේ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් පිණිස ජනාවාස පොළොව මුළුල්ලෙහි දේශනා කරනු ලබන්නේය; තවද එවිට අන්තිමය පැමිණෙනු ඇත.” මේ සියවස තුළදී, යෙහෝවාගේ සාක්ෂිකරුවන් මිනිස් ඉතිහාසයේ අද්විතීය වැඩක් කරගෙන යමින් ඉන්නවා. ඔවුන් යෙහෝවා දෙවිගේ රාජ්‍යය—එය මොකක්ද, එය පාලනය කරන්නේ කොහොමද සහ එය ඉටු කරන්න යන්නේ මොකක්ද කියන බයිබල් පණිවිඩය පිළිගෙන, එය පොළොව පුරා පතුරුවලා තියෙනවා. ඔවුන් මේ විෂය මත පදනම් වූ පොත් පත්, භාෂා 300කටත් වඩා වැඩි ප්‍රමාණයකින් ප්‍රකාශ කර ඇති අතර, පොළොවේ හැම රටකම පාහේ මනුෂ්‍යයන්ට ඔවුන්ගේ නිවෙස්වලදී, එහෙම නැත්නං වීථිවල හෝ ඔවුන්ගේ රැකියා ස්ථානවලදී ඒවා බෙදා දී තියෙනවා.
එසේ කිරීමෙන්ම, ඔවුන් මෙම අනාවැකිය ඉටු කරමිනුයි ඉඳලා තියෙන්නේ. ඒත් ඔවුන් බලාපොරොත්තුවකුත් බෙදාහැර තියෙනවා. යේසු මෙය අශුභාරංචි නොව “ශුභාරංචි” කියලා හැඳින්නුවා කියන එක සැලකිල්ලට ගන්න. මේ අන්ධකාර කාලවලදී මෙය සැබෑවක් වෙන්නේ කොහොමද? එයට හේතුව බයිබලයේ ප්‍රධාන පණිවිඩය, මේ පරණ ලෝකයේ අන්තිමයට වෙන්න තියෙන දේවල් කොතරම් නපුරු වෙන්න යනවාද කියන එක ගැන නොවන හින්දයි. එහි ප්‍රධාන පණිවිඩය දේවරාජ්‍යයට සම්බන්ධයි; එමෙන්ම සාමයට ප්‍රිය කරන සෑම මනුෂ්‍යයෙකුගේම හෘදයට ඉතා සමීප යම්කිසි දෙයක් දෙන්න ඒ රාජ්‍යය පොරොන්දු වෙයි—එනම් මිදීමයි.
ඇත්තෙන්ම ඒ මිදීම කියන්නේ මොකක්ද? එමෙන්ම ඔබට එය අත් කරගන්න පුළුවන් වෙන්නේ කොහොමද? මේ විෂය ගැන කියන මීළඟ ලිපි කරුණාකර සලකා බලන්න.
[පාදසටහන]
a මෙහිදී ටයිටස්ට ඉතා පැහැදිලි වාසියක් තිබුණා. කොහොම වුණත්, වැදගත් අංග දෙකකදී, තමාට කරන්න ඕනෙ වුණු දේ කරගන්න ඔහුට බැරි වුණා. සමාදානයෙන් යටත් වෙන්න කියලා ඔහු යෝජනා ඉදිරිපත් කළ නමුත්, නගරයේ නායකයන් මුරණ්ඩු ලෙස, පැහැදිලි කරන්න පුළුවන් කිසිම හේතුවක් නැතුව එය ප්‍රතික්ෂේප කළා. එමෙන්ම නගරයේ තාප්ප අන්තිමේදී බිඳ දැමූ විට, දේවමාළිගාවට කිසිවක් නොකරන්න කියලා ඔහු විධාන කළා. ඒත් එය සම්පූර්ණයෙන්ම පුලුස්සනු ලැබුවා! යෙරුසලම වනසනු ලබන බවත්, දේවමාළිගාව සම්පූර්ණයෙන්ම බිඳ හෙළනු ලබන බවත් යේසුගේ අනාවැකියෙන් පැහැදිලි කරලා තිබුණා.—මාර්ක් 13:1, 2.
[5වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
දේවල් මෙතරම් නරක අතට හැරිලා තියෙන්නේ ඇයි? මනුෂ්‍යවර්ගයා යොමු වී සිටින්නේ කොයි දෙසටද? යන දුක ගෙන දෙන ප්‍රශ්නවලට උත්තර බොහෝ මනුෂ්‍යයෝ සොයමින් සිටිනවා
[6වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
අදදින, යුද්ධයට ගොදුරු වන සංඛ්‍යාවෙන් සියයට 90කටත් වැඩිය සාමාන්‍ය ජනයායි
[7වන පිටුවේ පින්තූරය]
යෙරුසලමේ විනාශය ගැන යේසු කිව්ව අනාවැකියේ හැම තොරතුරක්ම ඉටු වුණා