ඇත්තට ම දෙවියන් වහන්සේ ඔබ ව දන්නා සේක් ද?
“අහෝ, යෙහෝවඃ වහන්ස, . . . මාගේ සියලු මාර්ග ගැන පවා ඔබ හොඳින් දැන සිටින සේක.”—ගීතාවලිය 139:1, 3, NW.
1. අප මුහුණ දෙන කාන්සාවන්, ගැටලු සහ පීඩනයන් ‘අනෙක් අයට තේරෙන්නේ නැහැ’ යන හැඟීම කොතරම් පුළුල් ව ව්‍යාප්ත වී තිබේ ද?
යම් කෙනෙක්, ඔබ මුහුණ දෙන කාන්සාවන්, පීඩනයන් සහ ගැටලු ඇත්තට ම තේරුම් ගෙන තිබෙනවා ද? තමන්ට කුමක් සිදු වෙනවාදැයි සැලකිල්ලක් දැක්වීමට කිසිදු පවුලක් හෝ නෑදෑයෙක් නැති තරුණ මෙන් ම මහලු ජනයා මිලියන ගණනක් ලොව වටා සිටිති. පවුල් ඇතුළත පවා, බොහෝ භාර්යාවන්ට—එසේ ය, ස්වාමිපුරුෂයන්ට පවා—හැඟෙන්නේ, තමන් ව යටපත් කර තිබෙන පීඩනයන් තම විවාහ කලත්‍රයින් විසින් සැබවින් ම තේරුම් ගෙන නොතිබෙන බව ය. කලකිරීමට පත් වී සිටින ඇතැම් අවස්ථාවල ඔවුන් කරන චෝදනාව නම්: “නමුත් ඔයාට තේරෙන්නේ නැහැ!” යන්නයි. තව ද කිසිවෙක් තමන් ව තේරුම් නොගන්නා බවට බොහෝ යෞවනයින් විසින් නිගමනය කර තිබේ. එහෙත්, වෙනත් අය විසින් තමන් ව බොහෝ සෙයින් තේරුම් ගනීවි යයි දැඩි ආශාවකින් පසු වී සිටි අය අතර සිටින ඇතැම් අයගේ ජීවිත, පසු කාලවල දී මහඟු අර්ථයකින් පිරී ඇත. එය සිදු විය හැක්කේ කෙසේ ද?
2. බොහෝ සෙයින් තෘප්තිමත් ජීවිත ගත කිරීමට යෙහෝවඃ වහන්සේගේ සේවකයින් හට කුමක් ඉවහල් විය හැකි ද?
2 ඒ මක්නිසාදයත්, සෙසු මිනිසුන් තම හැඟීම් මුළුමනින් ම තේරුම් ගත්තත් නැතත්, තමන් අත්දකිමින් සිටින දෙය දෙවියන් වහන්සේ සැබවින් ම තේරුම් ගන්නා බවටත්, උන් වහන්සේගේ සේවකයින් වශයෙන්, තමන්ගේ ගැටලුවලට තමන්ට තනි ව ම මුහුණ දීමට සිදු නොවන බවටත් ඔවුන් තුළ තිබෙන නිසැකකම නිසා ය. (ගීතාවලිය 46:1) එපමණක් ද නොව, දේව වචනය සමඟින් වටහා ගැන්මෙන් යුත් ක්‍රිස්තියානි වැඩිමහල්ලන්ගෙන් ලැබෙන උපකාරය, තම පෞද්ගලික ගැටලු ඉක්මවා බැලීමට ඔවුන් හට හේතු කරවයි. දෙවියන් වහන්සේට කරන තම ඇදහිලිවන්ත සේවය උන් වහන්සේගේ ඇස් ඉදිරියේ ඉතා අනර්ඝ බවත්, උන් වහන්සේ සහ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළින් උන් වහන්සේ කර තිබෙන සැපයුම් කෙරෙහි තම බලාපොරොත්තුව තබන අයට සුරක්ෂිත අනාගතයක් තිබෙන බවත් අගය කිරීමට ශුද්ධ ලියවිලි ඔවුන් හට උපකාරවත් වෙයි.—හිතෝපදේශ 27:11; 2 කොරින්ති 4:17, 18.
3, 4. (අ) “යෙහෝවඃ වහන්සේ දෙවියන් වහන්සේ” බවත් උන් වහන්සේ “අප මැවූ” බවත් අගය කිරීම උන් වහන්සේගේ සේවය තුළ ප්‍රීතිය ලැබීමට අපට උපකාරවත් විය හැක්කේ කෙසේ ද? (ආ) යෙහෝවඃ වහන්සේගේ ප්‍රේමනීය සැලකිල්ල ගැන අපට පූර්ණ නිසැකකමක් තිබෙන්නේ මන්ද?
3 ගීතාවලිය 100:2 හි තිබෙන අදහස ඔබ දන්නවා විය හැක, එහි මෙසේ කියයි: “ස්වාමීන්ට [යෙහෝවඃ වහන්සේට NW ] ප්‍රීතියෙන් මෙහෙකරව්, ගීතිකාකරමින් [ප්‍රීති ඝෝෂාවකින් NW ] උන්වහන්සේ ඉදිරියට පැමිණෙව්.” ඇත්තට ම ඒ අන්දමින් යෙහෝවඃ වහන්සේට නමස්කාරය පිරිනමන්නේ කී දෙනෙක් ද? එසේ කිරීමට ස්ථිරසාර හේතු පිළිබඳ ව 3 වෙනි පදයේ අපට සිහි ගැන්වේ: “ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW ] දෙවියන්වහන්සේ බව දැනගනිව්. උන්වහන්සේ අප මැවූසේක, අපි උන්වහන්සේගේය; [අප ව මැවුවේ උන් වහන්සේ ය, අප ම නොවේ ය NW ] අපි උන්වහන්සේගේ සෙනඟය, උන්වහන්සේගේ ගොදුරුබිමේ බැටළුවෝය.” හෙබ්‍රෙව් පාඨයේ, උන් වහන්සේව ’එලෝ·හිම්ʹ ලෙස යොමු දක්වා ඇති අතර, මෙසේ, මහිමශ්‍රීය, ගෞරවය හා අති උත්කෘෂ්ඨ බව අතින් උන් වහන්සේගේ මහන්තත්වය අඟවයි. උන් වහන්සේ පමණක් එක ම සැබෑ දෙවියන් වහන්සේ ය. (ද්විතීය කථාව 4:39; 7:9; යොහන් 17:3) උන් වහන්සේගේ සේවකයින් උන් වහන්සේගේ දේවත්වය දැනගැනීමට පැමිණෙන්නේ, තමන් හට උගන්වා ඇති නිකම් ම සිද්ධාන්තයක් වශයෙන් නොව, නමුත්, තම කීකරුකම, දැඩි විශ්වාසය හා භක්තිය පුදකිරීම මගින් සාක්ෂි දෙමින් අත්දකින යමක් වශයෙන් ය.—1 ලේකම් 28:9; රෝම 1:20.
4 යෙහෝවඃ වහන්සේ වනාහි අපගේ හෘදය පවා දැකීමට සමත් ජීවමාන දෙවියන් වහන්සේ නිසා, කිසි දෙයක් උන් වහන්සේගේ ඇස්වලින් සැඟවී නැත. අපගේ ජීවිතවලට සිදු වෙමින් තිබෙන්නේ කුමක් දැයි උන් වහන්සේ හොඳින් දන්නා සේක. අප මුහුණ දෙන ගැටලුවලට හේතුකාරක කුමක් ද යන්නත්, මේවායින් ඇතිවිය හැකි මානසික හා චිත්ත වේගීය ව්‍යාකූලත්වයන් මොනවා ද යන්නත් උන් වහන්සේ තේරුම් ගන්නා සේක. අප අප ගැන ම දන්නවාට වඩා, මැවුම්කරුවාණන් වශයෙන් උන් වහන්සේ අප ගැන හොඳින් දන්නා සේක. අපගේ තත්ත්වය සමඟ සාර්ථක ව කටයුතු කිරීමට අපට උපකාර කරන්නේ කෙසේ ද කියාත්, අපට දිගු කාලීන සහනය සපයන ආකාරයත් උන් වහන්සේ දන්නා සේක. අපගේ මුළු හෘදයෙන් ම අප උන් වහන්සේ කෙරෙහි දැඩි විශ්වාසය තබන අතරතුර, එඬේරෙකු තම තුරුලෙහි බැටළු පැටවෙකු හොවා සිටින්නාක් මෙන්, උන් වහන්සේ ප්‍රේමනීය අන්දමින් අපට උපකාර කරන සේක. (හිතෝපදේශ 3:5, 6; යෙසායා 40:10, 11) එකසිය තිස්නව වෙනි ගීතිකාව සම්බන්ධ ව කරන අධ්‍යනයකින්, එම නිසැකකම ශක්තිමත් කිරීමට බොහෝ දෑ කළ හැක.
අපගේ සියලු මාර්ග දකින තැනැන් වහන්සේ
5. යෙහෝවඃ වහන්සේ අප ව ‘මුළුමනින් ම විමසා බලනවා’ යන්නෙන් අදහස් කරන්නේ කුමක් ද, තව ද එය ආශා කළ හැකි දෙයක් වන්නේ මන්ද?
5 ගැඹුරු අගය කිරීමකින් යුතු ව, ගීතිකාකාර දාවිත් මෙසේ ලීවේ ය: “අහෝ යෙහෝවඃ වහන්ස, ඔබ මා ව මුළුමනින් ම විමසා බලා, ඔබ මා දැනගෙන සිටින සේක.” (ගීතාවලිය 139:1, NW) දාවිත් සම්බන්ධ ව යෙහෝවඃ වහන්සේට තිබූ දැනුම මතුපිට එකක් නොවන බව ඔහු හට නිසැක විය. මිනිසුන් සමහර විට දකින පරිදි, දාවිත්ගේ දේහ ලක්ෂණ, කථා කිරීමේ හැකියාව හෝ වීණාව වැයීමේ දස්කම් සැලකිල්ලට ගනිමින්, සමහර විට ඔවුන් බලන ආකාරයට දෙවියන් වහන්සේ දාවිත් දෙස බැලුවේ නැත. (1 සාමුවෙල් 16:7, 18) දාවිත්ගේ ඇතුළාන්ත ස්වභාවය “මුළුමනින් ම විමසා” සිටි යෙහෝවඃ වහන්සේ, එසේ කර තිබුණේ, ඔහුගේ ආත්මික සුභසාධනය ගැන ප්‍රේමාන්විත සැලකිල්ලක් දක්වමිනි. ඔබ, යෙහෝවඃ වහන්සේගේ භක්තිවන්ත සේවකයින්ගෙන් කෙනෙක් නම්, උන් වහන්සේ දාවිත් ව දැන සිටියාක් මෙන්, ඔබ ගැනත් උන් වහන්සේ දන්නා සේක. එය ඔබ තුළ කෘතඥතාවයේ හා ගරුබියේ හැඟීම් දනවන්නේ නැද්ද?
6. යෙහෝවඃ වහන්සේ අප කරන සියල්ල, අපගේ සියලු සිතුවිලි පවා දන්නා බව ගීතාවලිය 139:2, 3 හි පෙන්වන්නේ කෙසේ ද?
6 දාවිත්ගේ සියලු ක්‍රියාකාරකම් යෙහෝවඃ වහන්සේගේ ඇස් ඉදිරියේ නිරාවරණය වී තිබූ අතර, දාවිත් එය දැන සිටියේ ය. “ඔබ මාගේ හිඳීමද නැගිටීමද දන්නා සේක” ගීතිකාකරු ලීවේ ය. “දුරදීම මාගේ සිතිවිල්ල ඔබට තේරෙයි. [ඔබේ සැලකිල්ලට භාජනය වී තිබේ NW ] ඔබ මාගේ ගමනත් සයනයත් විමසා බලනසේක [මැන බලන සේක NW ]. මාගේ සියලු මාර්ග දැනගෙන සිටින සේක.” (ගීතාවලිය 139:2, 3) යෙහෝවඃ වහන්සේ වැඩ වසන්නේ පොළොවෙන් බොහෝ දුරස් ව තිබෙන ස්වර්ගයේ ය යන කාරණය, දාවිත් කරමින් සිටි දෙය හෝ ඔහු සිතමින් සිටි දෙය දැනගැනීමෙන් උන් වහන්සේ ව වැළැක්වූයේ නැත. දාවිත්ගේ ක්‍රියාවන්ගේ ස්වභාවය දැනගැනීම පිණිස උන් වහන්සේ දිවා රෑ ඒවා “මැන බැලූ සේක” නැතහොත් ප්‍රවේසමෙන් පරීක්ෂා කළ සේක.
7. (අ) දාවිත්ගේ ජීවිතයේ සිදුවීම් පදනමක් වශයෙන් යොදා ගෙන, දෙවියන් වහන්සේගේ අවධානයට ලක්වන අපගේ ජීවිතයේ සමහරක් දේවල් ගැන අදහස් දක්වන්න. (ආ) මේ ගැන දැන සිටීම අපට බලපෑ යුත්තේ කෙසේ ද?
7 දෙවියන් වහන්සේ කෙරෙහි වූ ප්‍රේමය හා ගැලවීමට උන් වහන්සේට තිබෙන බලය කෙරෙහි නිසැකකම, ගොලියත් නම් පලස්තීන යෝධයා සමඟ සටන් කිරීමට යෞවනයෙකු වශයෙන් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වීමට දාවිත් ව පෙලඹවූ විට, යෙහෝවඃ වහන්සේ එය දැන සිටි සේක. (1 සාමුවෙල් 17:32-37, 45-47) පසු කලෙක, එදිරිවාදි මිනිසුන් දාවිත්ගේ හදවතට දරුණු වේදනා ගෙනා විටත්, අත්දුටු පීඩනය දරා ගත නොහැකි වූ නිසා ඔහු කඳුළු සැලූ විටත් යෙහෝවඃ වහන්සේ ඔහුගේ කන්නලව් ඇසූ බවට වූ දැනුමෙන් ඔහු ව සනසන ලදි. (ගීතාවලිය 6:6, 9; 55:2-5, 22) ඒ හා සමාන ව, නිදි නැති රාත්‍රියක යෙහෝවඃ වහන්සේ ගැන මෙනෙහි කිරීමට කෘතඥතාවයෙන් පිරි හෘදයකින් දාවිත් ව පොලඹවනු ලැබූ විට, යෙහෝවඃ වහන්සේ ඒ ගැන හොඳින් සාවධාන ව සිටි සේක. (ගීතාවලිය 63:6; සසඳන්න පිලිප්පි 4:8, 9.) එක් සැන්දෑවක, දාවිත් අසල් වැසියෙකුගේ භාර්යාවක් ස්නානය කරනවා බලා සිටි විට, යෙහෝවඃ වහන්සේ එය ද දැන සිටි සේක, තව ද දාවිත් තම පව්කාර ආශාවන් තම සිතුවිලිවල පුරවා ගෙන, එමගින් දෙවියන් වහන්සේගෙන් ඉවත් ව යාමට තාවකාලික ව හෝ ඉඩ හළ විට ඔහුට සිදු වූ දේ උන් වහන්සේ දුටු සේක. (2 සාමුවෙල් 11:2-4) පසු ව, දාවිත්ගේ පාපයේ බරපතළකම ගැන පෙන්වා දීමට අනාගතවක්තෘ නාතාන් ව යවනු ලැබූ විට, යෙහෝවඃ වහන්සේ දාවිත්ගේ මුවින් පිටවූ වචන ඇසුවා පමණක් නොව, ඒවා නික්ම ආ පසුතැවිල්ලෙන් පිරුණු හෘදය ද වටහා ගත් සේක. (2 සාමුවෙල් 12:1-14; ගීතාවලිය 51:1, 17) අප යන්නේ කොහේ ද, අප කරන්නේ කුමක් ද සහ අපගේ හෘදයන්හි තිබෙන්නේ මොනවා ද යන්න ගැන බැරෑරුම් ලෙස සිතීමට එය අප ව පෙලඹවිය යුතු නොවේ ද?
8. (අ) ‘අපගේ දිවේ වචන’ දෙවියන් වහන්සේ ඉදිරියේ අපගේ පිහිටීමට බලපෑ යුත්තේ කිනම් මාර්ගයෙන් ද? (ආ) දිව භාවිතයේ දුර්වලකමින් ගොඩ ආ හැක්කේ කෙසේ ද? (මතෙව් 15:18; ලූක් 6:45)
8 දෙවියන් වහන්සේ අප කරන සෑම දෙයක් ම දන්නා බැවින්, අප විසින් දිව වැනි ඉතා කුඩා ශරීර අවයවයක් පවා පාවිච්චි කරන ආකාරය උන් වහන්සේ දැන සිටීම ගැන අප පුදුම නොවිය යුතු ය. දාවිත් රජ මෙය වටහා ගෙන සිටි අතර, ඔහු මෙසේ ලීවේ ය: “මක්නිසාද, ස්වාමිනී [අහෝ යෙහෝවඃ වහන්ස NW ], ඔබ මුළුමනින්ම නොදන්නාවූ කිසි වචනයක් මාගේ දිවේ නැත්තේය.” (ගීතාවලිය 139:4) යෙහෝවඃ වහන්සේගේ මණ්ඩපයේ අමුත්තන් වශයෙන් පිළිගනු ලබන අය වනාහි අන්‍යයන් ව අවමානයට ලක් නොකළ සහ තමන් දන්නා හඳුනන අය මත නින්දා අපහාස පමුණුවන ඕපාදූප කේලාම් රස කර කියමින් පතුරුවා හරින අය වීමට ප්‍රතික්ෂේප කළ අය බව දාවිත් හොඳින් දැන සිටියේ ය. යෙහෝවඃ වහන්සේ අනුමත කරන අය වනුයේ තමන්ගේ හෘදයන්ගෙන් පවා ඇත්ත කියන අය ය. (ගීතාවලිය 15:1-3; හිතෝපදේශ 6:16-19) අපගේ දිව පරිපූර්ණ ලෙස පාලනය කර ගැනීමට අපගෙන් කිසිවෙකුට නොහැක, නමුත් තමාගේ තත්ත්වය දියුණු කිරීමට කිසිවක් කළ නොහැකි යයි දාවිත් දුර්වල ලෙස නිගමනය කළේ නැත. යෙහෝවඃ වහන්සේට ප්‍රශංසා කිරීමට ගීතිකා රචනා කරමින් ඒවා ගැයීමට ඔහු බොහෝ කාලයක් වැය කළේ ය. උපකාර ලැබීමට තමන්ට තිබෙන ආශාව ද කැමැත්තෙන් ම පිළිගත් හේ, ඒ පිණිස උපකාර පතා දෙවියන් වහන්සේට යාච්ඤා කළේ ය. (ගීතාවලිය 19:12-14) අපගේ දිව භාවිතය සම්බන්ධයෙනුත් යාච්ඤා පූර්වක අවධානය යොමු කිරීම අවශ්‍ය ද?
9. ගීතාවලිය 139:5 හි සඳහන් විස්තරය, අපගේ තත්ත්වය දෙවියන් වහන්සේ කොතරම් හොඳින් දන්නවා ද යන්න සම්බන්ධ ව අඟවන්නේ කුමක් ද? (ආ) මේ නිසා අපට කුමක් ගැන නිසැක විය හැකි ද?
9 යෙහෝවඃ වහන්සේ අප ව හෝ අපගේ තත්ත්වය දකින්නේ හුදෙක් සීමිත පරිමාණයකින් පමණක් නොවේ. සෑම අතකින් ම සම්පූර්ණ චිත්‍රය උන් වහන්සේ සතු ය. වට කරන ලද නගරයක් උදාහරණයක් ලෙස යොදා ගනිමින්, දාවිත් ලීවේ මෙසේ ය: “ඉදිරියෙන්ද පස්සෙන්ද ඔබ මා වටකර[ඇත].” දාවිත් සම්බන්ධයෙන්, දෙවියන් වහන්සේ වනාහි වටකර සිටි සතුරෙකු වූවා නොවේ, එසේ නොව, උන් වහන්සේ සුපරීක්ෂාකාරී ආරක්ෂකයෙකු වූ සේක. “ඔබගේ හස්තය මා පිට තැබූසේක“ යයි ඊට එකතු කරමින් දාවිත් අඟවා සිටියේ, දෙවියන් වහන්සේ විසින් ක්‍රියාත්මක කරන පාලනය හා ආරක්ෂාව උන් වහන්සේට ප්‍රේම කරන අයගේ සදාකාලීන ප්‍රයෝජනය සඳහා වන බව ය. “මෙවැනි ඥානය [දැනුම NW ] මට අතිශයින් පුදුමය; එය උසස්ය, ඊට ළඟාවෙන්ට නොහැකිවෙමි,” යනුවෙන් දාවිත් පිළිගත්තේ ය. (ගීතාවලිය 139:5, 6) ස්වකීය සේවකයින් පිළිබඳ දෙවියන් වහන්සේ සතු දැනුම කොතරම් සම්පූර්ණ ද, කොතරම් මහත් ද කිවහොත්, අපට එය මුළුමනින් ම තේරුම් ගැනීමට නොහැක. එහෙත් යෙහෝවඃ වහන්සේ අප ව ඇත්තට ම තේරුම් ගන්නා බවටත් උන් වහන්සේ හොඳ ම උපකාරය අපට සපයන බවටත් නිසැක වීමට අවශ්‍ය තරම් අපි දනිමු.—යෙසායා 48:17, 18.
අප කොතැනක සිටියත්, අපට උපකාර කිරීමට දෙවියන් වහන්සේට හැක
10. ගීතාවලිය 139:7-12 හි පැහැදිලි විස්තරයෙන් කිනම් දිරිගැන්වෙන සත්‍යයක් ගෙන හැර පා තිබේ ද?
10 යෙහෝවඃ වහන්සේගේ ප්‍රේමනීය සැලකිල්ල වෙනත් දෘෂ්ටි කෝණයකින් දකින ගීතිකාකරු තවදුරටත් මෙසේ කියයි: “ඔබගේ ආත්මය කෙරෙන් කොතැනට යන්නෙම්ද? ඔබ ඉදිරියෙන් කොතැනට පලායන්නෙම්ද?” යෙහෝවඃ වහන්සේ වෙතින් ඉවත් ව යාමට ඔහුට ආශාවක් තිබුණා නොවේ; ඒ වෙනුවට, තමා කොතැනක සිටියත්, යෙහෝවඃ වහන්සේ එය දන්නා බවත්, ස්වකීය ශුද්ධාත්මය මගින් තමන්ට උපකාර කළ හැකි බවත් හේ දැනගත්තේ ය. ඔහු දිගට ම මෙසේ පැවසී ය: “මම ස්වර්ගයට නැගුණෙම් නුමුත් ඔබ එහිය. ෂෙයෝලෙහි මාගේ යහන පිළියෙළ කෙරෙම් නුමුත් ඔබ එහිය. මා අරුණු පියාපතින් ගොස් මුහුදේ ඉතා දුරු කෙළවර විසුවත්; එහිදීත් ඔබගේ හස්තය මට මගපෙන්වන්නේය; ඔබගේ දකුණු හස්තය මා අල්ලන්නේය. සැබවින් අන්ධකාරය මා වසාගන්නේය, මා වටකරන් වූ එළිය රාත්‍රිය වන්නේයයි කීයෙම් නුමුත්, අන්ධකාරය ඔබගෙන් කිසිවක් නොසඟවයි, රාත්රියද දවාල මෙන් බබළයි. අන්ධකාරයත් එළියත් ඔබට එක සමානය.” (ගීතාවලිය 139:7-12) අප කොතැනකට ගියත්, අප කුමන තත්ත්වයකට මුහුණ දුන්නත්, යෙහෝවඃ වහන්සේගේ දෘෂ්ටියෙන් ඉවත් ව යා හැකි වූ ද, අපට උපකාර කරන්නා වූ ස්වකීය ආත්මයේ ග්රහණයෙන් ඔබ්බට යා හැකි වූ ද කිසිදු ස්ථානයක්වත්, මුහුණ දිය හැකි මොනයම් තත්ත්වයක්වත් නැත.
11, 12. (අ) දැකීමට හා උපකාර කිරීමට යෙහෝවඃ වහන්සේට ඇති හැකියාව යෝනාගේ දෘෂ්ටියෙන් කලකට ගිලිහී ගියත්, ඔහු සම්බන්ධ සිද්ධියේ දී එම හැකියාව නිරූපනය වූයේ කෙසේ ද? (ආ) යෝනාගේ අත්දැකීම අපට ප්‍රයෝජන ගෙන දිය යුත්තේ කෙසේ ද?
11 එක් අවස්ථාවක දී, අනාගතවක්තෘ යෝනාට එම කාරණය තම දෘෂ්ටියෙන් ගිලිහී ගියේ ය. නිනිවයේ ජනයාට දේශනා කිරීම සඳහා යෙහෝවඃ වහන්සේ ඔහු ව පත් කොට තිබූ සේක. යම් හේතුවක් නිසා, තමාට එම පැවරුම ඉටු කළ නොහැකි බව ඔහුට හැඟී ගියේ ය. සමහරවිට, අෂූරිවරුන් ඉතා දැඩි මිනිසුන් බවට වූ ප්‍රසිද්ධිය නිසා, නිනිවයේ සේවය කිරීමේ සිතුවිල්ල ඔහු ව භීතියට පත් කළේ ය. එමනිසා ඔහු සැඟවීමට තැත් කළේ ය. යෝප්පාවේ වරායේ දී, (නිනිවයට සැතපුම් 2,200කට වඩා බටහිරින් වූ සාමාන්‍යයෙන් ස්පාඤ්ඤය සමඟ සම්බන්ධ ව පවතින) තර්ෂීෂ් කරා යාමට තිබූ නැවකට ඔහු නැංගේ ය. එහෙත්, ඔහු නැවට නැඟ එහි ඇතුළට බැස නිදන්නට යනවා යෙහෝවඃ වහන්සේ දුටු සේක. යෝනා පසු ව නැවෙන් පිටතට දමනු ලැබූ විට, ඔහු කොහේ ද කියාත් දෙවියන් වහන්සේ දැන සිටි අතර, යෝධ මත්ස්‍යයාගේ බඩ තුළ සිට, තම භාරය ඔප්පු කරන බවට ඔහු පොරොන්දු වූ විට යෙහෝවඃ වහන්සේ එය අසා ගෙන සිටි සේක. වියළි බිමක් මතට ගෙන එනු ලැබූ යෝනාට තම පැවරුම ඉෂ්ට කිරීමට යළිත් ප්‍රස්තාවක් දෙන ලදි.—යෝනා 1:3, 17; 2:1–3:4.
12 තම පැවරුම ඉෂ්ට කිරීමට උපකාර කරනු වස් යෝනා මුල පටන් ම යෙහෝවඃ වහන්සේගේ ආත්මය කෙරෙහි රඳා පැවතුණා නම්, එය කොතරම් හොඳ වන්නට තිබුණා ද! එහෙත්, පසු ව යෝනා තම අත්දැකීම යටහත් පහත් ලෙස වාර්තා කළ අතර, යෝනා හට ලබා ගැනීමට ඉතා අසීරු දෙයක් යයි පෙනුණු, යෙහෝවඃ වහන්සේ කෙරෙහි නිසැකකම ලබා ගැනීමට එතැන් පටන් එම වාර්තාව බොහෝ දෙනෙකුට උපකාරවත් වී තිබේ.—රෝම 15:4.
13. එලියා යෙසබෙල් බිසව වෙතින් පලා යාමට පෙර, ඔහු විශ්වාසවන්ත ව ඉටු කළ පැවරුම් මොනවා ද? (ආ) එලියා ඊශ්‍රායෙල් ප්‍රදේශයෙන් පිටත සැඟවීමට උත්සාහ කළ විට පවා යෙහෝවඃ වහන්සේ ඔහුට උපකාර කළේ කෙසේ ද?
13 එලියාගේ අත්දැකීම තරමක් වෙනස් එකක් විය. ඊශ්රායෙල්වරුනට තම පාපය නිසා දඬුවමක් වශයෙන් නියඟයෙන් පීඩා විඳින්නට සිදු වන බවට වූ යෙහෝවඃ වහන්සේගේ නියෝගය ඔහු විශ්වාසනීය ව ප්‍රකාශ කර තිබුණි. (1 රාජාවලිය 16:30-33; 17:1) කාර්මෙල් කන්දේ දී යෙහෝවඃ වහන්සේ සහ බාල් අතර වූ තරඟයේ දී ඔහු නිර්භීත ලෙස සැබෑ නමස්කාරය තහවුරු කළේ ය. තව ද කිෂොන් මිටියාවතේ දී බාල් වන්දනාකාර අනාගතවක්තෘන් 450කගේ ඝාතනය සිදු වූ බවට ඔහු වගබලා ගෙන තිබුණි. එහෙත් යෙසබෙල් බිසව වියරු වී එලියා ව මරණයට පත් කිරීමට දැනුම් දුන් විට, එලියා රටින් පලා ගියේ ය. (1 රාජාවලිය 18:18-40; 19:1-4) එම අසීරු අවස්ථාවේ දී ඔහුට උපකාර කිරීමට යෙහෝවඃ වහන්සේ එහි සිටියා ද? ඇත්තෙන් ම එසේ ය. ස්වර්ගයට නගිනවාක් මෙන්, එලියා උස් කන්දකට නැග්ගා නම්, ෂෙයෝලට බසිනවාක් මෙන් පොළොවේ ගැඹුරු ගුහාවක සැඟවුණා නම්, පොළොව මතට වේගයෙන් පතිත වන ආලෝකයේ වේගය මෙන් වේගයකින් දුර පිහිටි යම් දූපතක් කරා ඔහු පලා ගියා නම්, ඔහු ව ශක්තිමත් කිරීමටත් ඔහුට මඟ පෙන්වීමටත් යෙහෝවඃ වහන්සේගේ හස්තය එහි තිබෙනවා ඇත. (රෝම 8:38, 39 සසඳන්න.) තව ද යෙහෝවඃ වහන්සේ එලියා ව ඔහුගේ ගමනේ දී ආහාරවලින් පමණක් නොව, නමුත් ස්වකීය ක්‍රියාකාරික බලයේ ආශ්චර්යවත් විදහා පෑම්වලින් ද ශක්තිමත් කළ සේක. මෙසේ, ශක්තිමත් කරනු ලැබූ එලියා, තම ඊළඟ අනාවැකිමය පැවරුම භාර ගත්තේ ය.—1 රාජාවලිය 19:5-18.
14. (අ) දෙවියන් වහන්සේ එක විට සෑම තැන ම වැඩ සිටින බව නිගමනය කිරීම වැරදි සහගත වනු ඇත්තේ මන්ද? (ආ) නවීන කාලවල දී යෙහෝවඃ වහන්සේ ස්වකීය සේවකයින් ව ප්‍රේමනීය ලෙස උසුලාගෙන ඇත්තේ කිනම් තත්ත්වයන් යටතේ ද? (ඇ) අප ෂෙයෝලේ සිටියත් දෙවියන් වහන්සේ එහි සිටිනු ඇත්තේ කෙසේ ද?
14 දෙවියන් වහන්සේ එක විට සෑම තැනක ම වැඩ සිටින බවක්, එනම් උන් වහන්සේ සියලු අවස්ථාවල පුද්ගලික ව සියලු ස්ථානවල සිටින බවක් ගීතාවලිය 139:7-12 දක්වා ඇති අනාවැකිමය වචනවලින් අදහස් වෙන්නේ නැත. ශුද්ධ ලියවිල්ලේ පැහැදිලි ව පෙන්වන්නේ ඊට වඩා වෙනස් දෙයකි. (ද්විතීය කථාව 26:15; හෙබ්‍රෙව් 9:24) එහෙත්, උන් වහන්සේගේ සේවකයින් කිසිවිටෙකත් උන් වහන්සේගේ ග්‍රහණයට ඔබ්බෙන් සිටින්නේ නැත. දිව්‍යාණ්ඩු පැවරුම් හේතුවෙන් ඈත ස්ථානවල සේවය කිරීමට ගොස් ඇති අය සම්බන්ධයෙන් මෙය සත්‍යයකි. දෙවන ලෝක යුද්ධ සමයේ නාට්සි වධක කඳවුරුවල සිටි පක්ෂපාත සාක්ෂිකරුවන් සම්බන්ධයෙන් මෙය සත්‍යයක් වූ අතර, 1950 ගණන්වල අග භාගය සහ 1960 ගණන්වල මුල් භාගය අතරතුරේ චීනයේ හුදෙකලා සිරගත කිරීමට පාත්‍ර වූ මිෂනාරිවරුන් සම්බන්ධයෙන් මෙය සත්‍යයක් විණි. නිතර ම පාහේ ගම්මානවලින්, ඇතැම් විට රටින් පවා පලා යන්නට සිදු වූ, මධ්‍යම අප්‍රිකානු රටක සිටි අපගේ ප්‍රිය සහෝදර සහෝදරියන් සම්බන්ධයෙන් මෙය සත්‍යයක් විණි. අවශ්‍ය නම්, කෙළින් ම ෂෙයෝලයට, එනම් පොදු මිනීවලට පවා ළඟා වී නැවත නැගිටීමක් මගින් ඇදහිලිවන්ත අය ව ආපසු ගෙන එන්නට යෙහෝවඃ වහන්සේට හැක.—යෝබ් 14:13-15; ලූක් 20:37, 38.
අප ව සැබවින් ම තේරුම් ගන්නා තැනැන් වහන්සේ
15. (අ) යෙහෝවඃ වහන්සේට අපගේ වර්ධනය නිරීක්ෂණය කිරීමට හැකි වී තිබෙන්නේ කොපමණ කලින් කාලයක සිට ද? (ආ) අප පිළිබඳ ව දෙවියන් වහන්සේගේ දැනුමේ පරාසය ගීතිකාකරු විසින් වකුගඩුවලට යොමු දැක්වීමෙන් අඟවනු ලබන්නේ කෙසේ ද?
15 අප සම්බන්ධයෙන් දෙවියන් වහන්සේ සතු දැනුම, අප උපන් අවස්ථාවත් අභිබවා යන්නේ ය යන කාරණයට, දේවානුභාවය යටතේ, මෙසේ පවසමින්, ගීතිකාකරු අවධානය යොමු කරයි. “මක්නිසාද ඔබ මාගේ හදවත හිමිකරගත්සේක [ඔබ ම මාගේ වකුගඩු නිපද වූ සේක NW ]; මාගේ මවු කුසෙහි මා වැසූසේක. මම ඔබට ස්තුතිකරන්නෙමි; මක්නිසාද මම භයානකලෙසත් පුදුම ලෙසත් සාදනලද්දෙමි. ඔබගේ කර්මාන්ත ආශ්චර්ය්යවත්ය; මාගේ ආත්මයද ඒ බව මනාකොට දනියි.” (ගීතාවලිය 139:13, 14) පිළිසිඳ ගැනීමේ අවස්ථාවේ දී සම්බන්ධ වන්නා වූ අපගේ පියාගේ සහ මවගේ ජන්මානු, අපගේ කායික හා මානසික හැකියාවන්වලට ගැඹුරු ලෙස බලපාන්නා වූ රටාව බිහිකරයි. දෙවියන් වහන්සේ එම හැකියාව තේරුම් ගන්නා සේක. මෙම ගීතිකාවේ වකුගඩු පිළිබඳ ව විශේෂ සඳහන් කිරීමක් කර තිබෙන අතර, මෙය, පෞද්ගලිකත්වයේ අභ්‍යන්තර ම පැති නියෝජනය කිරීමට ශුද්ධ ලියවිලිවල බොහෝ විට යොදා ගෙන තිබේ.a (ගීතාවලිය 7:9; යෙරෙමියා 17:10) අප උපත ලැබීමටත් පෙර මෙම තොරතුරු ගැන යෙහෝවඃ වහන්සේ දැන සිටින සේක. මවකගේ ගර්භාශය තුළ සංසේචනය වූ සෛලයක් මගින් කලලය ‘වසා ගැනීමටත්’ එය වර්ධනය වන අතරතුර ඊට ආරක්ෂාව සැපයීමටත් අවශ්‍ය ආරක්ෂිත ආවරණයක් නිපද වන ලද්දේ මිනිස් සිරුර ප්‍රේමනීය සැලකිල්ලකින් නිර්මාණය කළ තැනැන්වහන්සේ වන උන් වහන්සේ ම ය.
16. (අ) දෙවියන් වහන්සේගේ දසුනේ විනිවිද යාමේ බලය ගීතාවලිය 139:15, 16 හි කැපී පෙනෙන්ට සලස්වා ඇත්තේ කුමන මාර්ගයෙන් ද? (ආ) මෙය අපට දිරිගැන්වීමක් විය යුත්තේ මන්ද?
16 ඊළඟට, දෙවියන් වහන්සේගේ දසුනේ විනිවිද දැකීමේ බලය අවධාරණය කරමින් ගීතිකාකරු මෙසේ එකතු කරයි: “මා රහසින් මවනු ලැබ, පොළොවේ ගැඹුරු තැන්වල පුදුමාකාරයෙන් තනනු ලැබූ කල, මාගේ ශරීරරූපය [ඇට කටු NW ] ඔබගෙන් සැඟවී නොතිබුණේය [පෙනෙන විදිහට මෙය ඔහුගේ මවගේ ගර්භාශය කෙරෙහි කාව්‍යමය යොමු දැක්වීමක් ය, නමුත් ආදම් ව දූවිල්ලෙන් මැවීමට කරන ඇඟවීමක් ද මේ සමඟ වෙයි.] ඔබගේ ඇස්වලට මාගේ ශරීර ධාතුව [කලලය NW ] පෙනුණේය, ඔබගේ පොතෙහි මාගේ සියලු අවයවයෝ ලියනලද්දෝය, ඒවායින් එකක්වත් [විශේෂිත ශරීර කොටසක්] නැති කල්හි දවසින් දවස ඒවා [ශරීර කොටස්] සාදන ලද්දේය.” (ගීතාවලිය 139:15, 16) ඒ ගැන කිසිදු සැකයක් නැත—සෙසු මිනිසුන් අප ව තේරුම් ගත්තත් නැතත්, යෙහෝවඃ වහන්සේ අප ව තේරුම් ගන්නා සේක. එය අපට බලපෑ යුත්තේ කෙසේ ද?
17. දෙවියන් වහන්සේගේ ක්‍රියා පුදුමාකාර ඒවා මෙන් අප විසින් දකින විට, මෙය අප ව කුමක් කිරීමට පෙලඹවිය යුතු ද?
17 තමා ලියමින් සිටි, දෙවියන් වහන්සේගේ වැඩ මහා පුදුමාකාර බව 139 වෙනි ගීතිකාවේ ලේඛකයා පිළිගත්තේ ය. ඔබටත් ඒ අයුරින් ම හැඟෙනවා ද? පුදුමාකාර යම් දෙයක්, පුද්ගලයෙකු හට ගැඹුරින් කල්පනා කිරීමට හෝ නොබිඳෙන අවධානයක් දීමට සලස්වයි. යෙහෝවඃ වහන්සේගේ භෞතික මැවිලි ගැන ඔබ ද ඒ ආකාරයකට ම ප්‍රතික්‍රියා කරනවා වෙන්නට පුළුවන. (ගීතාවලිය 8:3, 4, 9 සසඳන්න.) ඔබත් ඒ හා සමාන ව, මෙසියානු රාජ්‍යය පිහිටුවීමෙහි ලා උන් වහන්සේ කර තිබෙන දෙයටත්, මුළු පොළොව පුරා ශුභාරංචිය දේශනා කර ගනු ලැබීමෙහි ලා උන් වහන්සේ කරමින් සිටින දෙයටත්, උන් වහන්සේගේ වචනය මිනිස් පෞද්ගලිකත්වයන් පරිවර්තනය කරන ආකාරයටත් ඔබ ඒ ආකාර කල්පනාවක් යොමු කරන්නෙහි ද?—1 පේතෘස් 1:10-12 සසඳන්න.
18. දෙවියන් වහන්සේගේ ක්‍රියා බිය උපදවන ඒවා බව අපට පෙනී යනවා නම්, මෙය අපට කෙසේ බලපෑ යුතු ද?
18 ඒ හා සමාන ව, දෙවියන් වහන්සේගේ ක්‍රියා මත කල්පනා කිරීම බිය-උපදවන සුලු බවත්, ඉන් ඔබ තුළ සනීපදායී ලෙස හිතකර වූ ද ප්‍රබල ලෙස ඔබ ව පොලඹවන්නා වූ ඔබගේ පෞද්ගලිකත්වය කෙරෙහි ද ඔබ ඔබේ ජීවිතය යොදාගන්නා ආකාරය කෙරෙහි ද ගැඹුරු බලපෑමක් ඇත්තා වූ ද බියක් උපදවන බවත් ඔබ අත්දැක තිබෙනවා ද? (ගීතාවලිය 66:5 සසඳන්න.) එසේ නම්, යෙහෝවඃ වහන්සේගේ ගුණ වර්ණනා කිරීමටත්, උන් වහන්සේට ප්‍රශංසා කිරීමටත්, උන් වහන්සේගේ අරමුණ ගැන සහ උන් වහන්සේට ප්‍රේම කරන අය උදෙසා ගබඩා කර ඇති පුදුමාකාර දේවල් ගැන අන්‍යයන්ට පැවසීමටත් ප්‍රස්තා උදාකර ගැනීමට ඔබගේ හදවත ඔබ ව පොලඹවනවා නිසැක ය.—ගීතාවලිය 145:1-3.
[පාදසටහන්වල]
a වොච්ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයිටි ඔෆ් න්යූ යෝර්ක්, ඉන්ක්., මගින් ප්‍රකාශිත ඉන්සයිට් ඔන් ද ස්ක්‍රිප්චර්ස් හි 2 වෙළුම, 150 පිටුව බලන්න.
ඔබගේ අදහස් මොනවා ද?
◻ “යෙහෝවඃ වහන්සේ දෙවියන් වහන්සේ ය” යන්න අප විසින් දැන සිටීම ප්‍රීතියෙන් යුතු ව උන් වහන්සේට සේවය කිරීමට අපට උපකාරවත් වන්නේ කෙසේ ද?
◻ අප කරන සෑම දෙයක් ම දෙවියන් වහන්සේ විසින් දැන සිටීම අපගේ ජීවිතවලට කෙසේ බලපෑ යුතු ද?
◻ අප දෙවියන් වහන්සේගේ දසුනෙන් කිසිවිටෙකත් පිටතින් නොසිටින බවට වූ කාරණය දිරිගැන්වෙන සුලු වන්නේ මන්ද?
◻ කිසි මිනිසෙකුට තේරුම් ගත නොහැකි අයුරින් අප ව තේරුම් ගැනීමට දෙවියන් වහන්සේට හැක්කේ මන්ද?
◻ මෙවැනි අධ්‍යයනයක් මගින්, යෙහෝවඃ වහන්සේගේ ගුණ වර්ණනා කිරීමට අප තුළ ඕනෑකමක් ඇති කළ යුත්තේ මන්ද?