යෙහෝවා අපේ රක්ෂස්ථානයයි
‘යෙහෝවා මාගේ රක්ෂස්ථානයයි කියා ඔබ කී බැවින් ඔබ පිට කිසි විපතක් නොපැමිණෙන්නේය.’—ගීතාවලිය 91:9, 10, NW.
1. යෙහෝවා අපේ රක්ෂස්ථානයයි කියා අපට පැවසිය හැක්කේ මන්ද?
යෙහෝවා ඔහුගේ සෙනඟට සැබෑ රක්ෂස්ථානයකි. ඔහුට පූර්ණ භක්තියකින් සේවය කරද්දී අපව ‘හැම අතින්ම මඩිනු ලැබිය හැක. එහෙත් හිර නොවී සිටිමු. වියවුලට පත් විය හැක. එහෙත් බලාපොරොත්තුවක් නැතුව නොවේය. ලුහුබැඳිය [හිංසා පීඩාවලට ලක් විය, NW] හැක. එහෙත් අත්හරිනු නොලබමු. හෙළා දමනු ලබමු, එහෙත් විනාශ නොවේ.’ මෙයට හේතුව කුමක්ද? යෙහෝවා අපට “සාමාන්‍යය ඉක්මවූ බලය” [NW] දීම එයට හේතුවයි. (2 කොරින්ති 4:7-9) ඔව්, දේවභක්තික ජීවිතයක් ගත කිරීම සඳහා අපේ ප්‍රේමනීය ස්වර්ගික පියා අපට උපකාර කරයි. එමෙන්ම අපට ගීතිකාකරුගේ මෙම වදන්ද සිතට ගත හැක. ‘යෙහෝවා මාගේ රක්ෂස්ථානයයි කියා ඔබ කී බැවින්ද ඔබ මහෝත්තමයාව ඔබේ වාසස්ථානය කරගත් බැවින්ද ඔබ පිට කිසි විපතක් නොපැමිණෙන්නේය.’—ගීතාවලිය 91:9, 10, NW.
2. අනූඑක්වන ගීතිකාව සහ එහි පොරොන්දු වී ඇති දෑ ගැන කුමක් කිව හැකිද?
2 පෙනෙන විදිහට ගීතා 91වන ගීතිකාවේ සඳහන් එම වදන් ලියන ලද්දේ මෝසෙස් විසිනි. අනූවන ගීතිකාවේ රචකයා ලෙස ඔහුගේ නම එහි ශීර්ෂ පාඨයේ සඳහන් වන අතර, ඊළඟට තිබෙන අනූඑක්වන ගීතිකාවේ ලේඛකයා වශයෙන් වෙනත් කෙනෙකුගේ නමක් ගැන සඳහනක් නැත. අනූවන ගීතිකාව ගායනා කර තිබෙන්නේ මාරුවෙන් මාරුවට බව පෙනේ. මුල් කොටස (91:1, 2) එක්කෙනෙකු විසින්ද, ඊට ප්‍රතිචාරය වශයෙන් ඊළඟ කොටස (91:3-8) කණ්ඩායමක් විසින්ද ගායනා කරනු ලැබුවා විය හැක. ඊළඟ කොටස (91:9අ) ගායනා කර තිබෙන්නේ එක්කෙනෙක් බව පෙනේ. ඔහුට උත්තර දෙමින් කණ්ඩායමක් විසින් ගායනා කරන ලද වදන් ඊළඟට (91:9ආ-13) සඳහන් වේ. අවසාන කොටස (91:14-16) ගායනා කරන්න ඇත්තේ එක්කෙනෙකු විසින් විය හැක. අනූඑක්වන ගීතිකාව ගායනා කළ ආකාරය කුමක් වුවත්, කණ්ඩායමක් හැටියට ආලේප ලත් ක්‍රිස්තියානීන් ආත්මික වශයෙන් ආරක්ෂාව ලබන බවට එහි පොරොන්දුවක් සපයයි. ඒ හා සමාන රැකවරණයක් දෙවිට කැප වී ඔවුන් සමඟ සමීප ඇසුරක් පවත්වන සමූහයකටද ලැබෙන බව එයින් කියවේ.a පොදුවේ මෙම කණ්ඩායම් දෙකටම අයත් යෙහෝවාගේ සියලුම සේවකයන්ට මෙම ගීතිකාවෙන් අදහස් කරන දෙය සලකා බලමු.
‘දෙවිගේ රහස් ස්ථානයෙහි’ සුරක්ෂිතව
3. (අ) ‘මහෝත්තමයාගේ රහස් ස්ථානය’ යන්නෙන් අදහස් වන්නේ කුමක්ද? (ආ) ‘සර්වපරාක්රමයාගේ සෙවණෙහි වාසය කිරීමෙන්’ අප අද්දකින්නේ කුමක්ද?
3 ගීතිකාකරු මෙසේ ගායනා කරයි: ‘මහෝත්තමයාගේ රහස් ස්ථානයෙහි වසන තැනැත්තේ සර්වපරාක්රමයාගේ සෙවණෙහි වාසය කරන්නේය. ඔහු මාගේ රක්ෂස්ථානයය. මාගේ බලකොටුවය. මා විසින් විශ්වාස කරන මාගේ දෙවියයි යෙහෝවා ගැන කියන්නෙමි.’ (ගීතාවලිය 91:1, 2) ‘මහෝත්තමයාගේ රහස් ස්ථානය’ යන්නෙන් අදහස් වන්නේ, අපට, විශේෂයෙන්ම සාතන්ගේ ප්‍රධාන ඉලක්කය වී සිටින ආලේප ලත් අයට ආරක්ෂාව සපයන සංකේතමය ස්ථානයකි. (එළිදරව් 12:15, 16) ආත්මික අර්ථයෙන් අමුත්තන් ලෙස දෙවි සමඟ වසන අය වශයෙන් අප ලබන ආරක්ෂාව නොතිබුණා නම්, සාතන් අප සියලුදෙනාවම විනාශ කර හමාරයි. ‘සර්වපරාක්රමයාගේ සෙවණෙහි වාසය කිරීමෙන්’ අපි දෙවිගේ රැකවරණය යටතෙහි සිටින්නෙමු, නැතහොත් ඔහු ලබා දෙන සෙවණ අද්දකින්නෙමු. (ගීතාවලිය 15:1, 2; 121:5) අපේ පරමාධිපති ස්වාමි වූ යෙහෝවා තරම් ආරක්ෂාව සපයන රක්ෂස්ථානයක් හෝ ශක්තිමත් බලකොටුවක් අපට සොයාගත නොහැක.—හිතෝපදේශ 18:10.
4. ‘පක්ෂි වැද්දා’ වන සාතන් යොදාගන්න උපක්‍රම මොනවාද? අප ඒවායින් ගැළවෙන්නේ කෙසේද?
4 ගීතිකාකරු තවදුරටත් මෙසේ ගායනා කරයි. ‘ඔහු [යෙහෝවා] පක්ෂි වැද්දාගේ මලපතින්ද විනාශකාරි වසංගතයෙන්ද නුඹ මුදාහරියි.’ (ගීතාවලිය 91:3) පුරාණ ඉශ්රායෙලයේ සිටි පක්ෂි වැද්දෙක් බොහෝ අවස්ථාවලදී කුරුල්ලන්ව අල්ලාගත්තේ මලපත් යෙදීමෙන් හෝ උගුල් ඇටවීමෙනි. “පක්ෂි වැද්දා” ලෙස හඳුන්වා ඇති සාතන් යොදන මලපත්වලට ඔහුගේ ආධිපත්‍යය යටතේ තිබෙන සංවිධාන හා “කපටි ක්‍රියා” ඇතුළත් වේ. (එපීස 6:11, NW පාදසටහන) අපව නපුරු දේවලට ඇදගනිමින් ආත්මිකව විනාශ කර දැමීමේ අරමුණින් අපේ ජීවිත මඟෙහි මලපත් යොදා තිබේ. (ගීතාවලිය 142:3) කෙසේවෙතත්, අප අධර්මිෂ්ඨකම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර තිබෙන නිසා ‘අපේ ප්‍රාණය උගුලෙන් ගැළවී යන පක්ෂියෙකු වැනිය.’ (ගීතාවලිය 124:7, 8) නපුරු “පක්ෂි වැද්දාගේ” උගුල්වලින් යෙහෝවා අපව ගැළවීම ගැන අප ඔහුට කොතරම් ස්තුතිවන්ත විය යුතුද!—මතෙව් 6:13.
5, 6. ‘විනාශකාරි’ තත්වයන් නිසා ඇති වී තිබෙන “වසංගතය” කුමක්ද? එහෙත් යෙහෝවාගේ සෙනඟ එයට ගොදුරු නොවන්නේ මන්ද?
5 ‘විනාශකාරි වසංගතයක්’ ගැනද ගීතිකාකරු සඳහන් කරයි. යෙහෝවාගේ පරමාධිපත්‍යයට පක්ෂව සිටින්නන් ඇතුළුව මුළු මිනිස් සංහතියම ‘විනාශ කරන’ වසංගතයක් මෙන් පැතිරී යන දෙයක් අද සිදු වෙමින් පවතී. මේ ගැන ඉතිහාසඥ ආනල්ඩ් ටොයින්බී මෙසේ ලීවේය. “දෙවන ලෝක මහා යුද්ධය අවසන් වූ දා සිට හිස එසවූ ජාත්‍යාලයේ ප්‍රතිඵලයක් වශයෙන් නිදහස් හා ස්වෛරී රටවල් ගණන දෙගුණයකින් වැඩි වී තිබේ. . . . මිනිසා භේදබින්න වීමේ නැඹුරුවාව වර්තමානයේ වැඩි වෙමින් පවතී.”
6 සියවස් ගණනාවක් පුරා ඇතැම් පාලකයන් ජාත්‍යන්තර මට්ටමේ අරගල ඇති වන අයුරින් ජාතීන් අතර භේද නමැති ගිනි දැල් අවුලුවා තිබේ. තමන්ට හෝ නොයෙක් ප්රතිමාවලට හෝ සංකේතවලට භක්තිය මුසු වූ ගෞරවයක් දැක්විය යුතුයි කියා ඔවුන් පවසා ඇත. එහෙත් යෙහෝවා කෙදිනකවත් තම විශ්වාසවන්ත සේවකයන්ව එවන් ‘වසංගතයකට’ ගොදුරු වීමට ඉඩහැර නැත. (දානියෙල් 3:1, 2, 20-27; 6:7-10, 16-22) ප්‍රේමයෙන් බැඳි ජාත්‍යන්තර සහෝදරත්වයක සාමාජිකයන් වශයෙන් අපි යෙහෝවාට තනි භක්තිය පිරිනමන්නෙමු. එමෙන්ම ශුද්ධ ලියවිලි මත පදනම් අපේ මධ්‍යස්ථභාවය අපි රැකගන්නෙමු. “සියලු ජාතීන් අතරේ [දෙවි] කෙරෙහි භය ඇතිව ධර්මිෂ්ඨකම් කරන තැනැත්තේ ඔහුට ප්‍රසන්න බව” අපි අපක්ෂපාතීව පිළිගන්නෙමු. (ක්‍රියා 10:34, 35; නික්මයාම 20:4-6; යොහන් 13:34, 35; 17:16; 1 පේතෘස් 5:8, 9) ක්‍රිස්තියානීන් වශයෙන් අප ‘විනාශකාරි’ හිංසා පීඩාවලට මුහුණ දීම නිසා දුක් හිරිහැර වින්දත්, අපි ‘මහෝත්තමයාගේ රහස් ස්ථානයෙහි’ ප්‍රීතියෙන් ආත්මිකව සුරක්ෂිතව සිටින්නෙමු.
7. යෙහෝවා ‘ඔහුගේ පියාපත් යට’ අපව ආරක්ෂා කරන්නේ කෙසේද?
7 යෙහෝවාව අපේ රක්ෂස්ථානය කරගැනීම නිසා මෙම වදන්වලින් අප ලබන්නේ මහත් සැනසිල්ලකි. ‘ඔහු ස්වකීය පියාපතින් ඔබව වසන්නේය. ඔබ ඔහුගේ පියාපත් යට ආරක්ෂා වන්නෙහිය. ඔහුගේ සත්‍යවාදිකම පලිහක්ය; මහා පලිහක්ය.’ (ගීතාවලිය 91:4) කුරුලු මවක් ඇගේ පැටවුන්ව පියාපත් යට තබාගනිමින් ආරක්ෂා කරන්නාක් මෙන් දෙවි අපව ආරක්ෂා කරයි. (යෙසායා 31:5) ‘ඔහු තමාගේ පියාපත්වලින් අපව වසයි.’ කුරුල්ලෙක් ඌගේ පියාපත්වලින් පැටවුන්ව වසාගනිමින් උන්ව ඩැහැගන්න එන සතුන්ගෙන් උන්ව ආරක්ෂා කරගනියි. කුරුලු පැටවුන් මෙන් අප යෙහෝවාගේ සංකේතමය පිහාටු යටතේ සුරක්ෂිතව සිටින්නේ ඔහුගේ සැබෑ ක්‍රිස්තියානි සංවිධානයේ රැකවරණය අප ලබන නිසාය.—රූත් 2:12; ගීතාවලිය 5:1, 11.
8. යෙහෝවාගේ “සත්‍යවාදිකම” විශාල පලිහක් හා ශක්තිමත් ආරක්ෂක පවුරක් වන්නේ කෙසේද?
8 පුරාණ කාලයේ භාවිත කළ විශාල පලිහක් හා සමාන “සත්‍යවාදිකම” කෙරෙහි අපි දැඩි විශ්වාසයක් තබන්නෙමු. දොරක් හා සමාන මෙම පලිහ පුද්ගලයෙකුගේ මුළු සිරුරම ආවරණය කරගැනීමට තරම් විශාල විය. (ගීතාවලිය 5:12) එවන් රැකවරණයක් ගැන නිසැකකමක් තිබෙන නිසා අපට බියක් නොදැනෙයි. (උත්පත්ති 15:1; ගීතාවලිය 84:11) අපේ ඇදහිල්ල මෙන් දෙවිගේ සත්යවාදිකමද ආරක්ෂාව සලසන විශාල පලිහක් බඳුය. සාතන්ගේ ගිනිමය මිසයිලවලින් හා සතුරු ප්‍රහාරවලින් අපව ආරක්ෂා කිරීමට එයට පුළුවනි. (එපීස 6:16, NW) එය ඉතා ශක්තිමත් ආරක්ෂක පවුරක් වැනිය. එය පිටුපස අපි නොසැලී සිටින්නෙමු.
‘අප බිය වන්නේ නැත’
9. රාත්‍රිය බිය උපදවන කාලයක් විය හැක්කේ මන්ද? එහෙත් අප බිය නොවන්නේ මන්ද?
9 දෙවි සපයන ආරක්ෂාව ගැන ගීතිකාකරු මෙසේ පවසයි. “රාත්‍රියේ භීතියටවත්, දවාලේ විදින ඊගසටවත්, අඳුරේ යන වසංගතයටවත්, ඉරමුදුන් වේලේ පාළුකරන විනාශයටවත් නුඹ භය නොවන්නෙහිය.” (ගීතාවලිය 91:5, 6) නපුරු ක්‍රියා බොහොමයක් සිදු වන්නේ අන්ධකාරයේ නිසා රාත්‍රිය බියජනක කාල සීමාවක් විය හැක. මුළු පොළොවම ආත්මික අන්ධකාරයෙන් වැසී තිබෙන මේ කාලයේ අපේ සතුරෝ අපට නොපෙනෙන විදිහට අපේ ආත්මිකත්වය විනාශ කර දැමීමටත් අපේ දේශනා සේවය නතර කර දැමීමටත් උත්සාහ කරති. එනමුත් යෙහෝවා අපව ආරක්ෂා කරන නිසා අපි ‘රාත්‍රියේ භීතියට භය නොවන්නෙමු.’—ගීතාවලිය 64:1, 2; 121:4; යෙසායා 60:2.
10. (අ) පෙනෙන විදිහට ‘දවාලේ විදින ඊගසෙන්’ අඟවන්නේ කුමක්ද? මේ තත්වය හමුවෙහි අප කටයුතු කරන්නේ කෙසේද? (ආ) ‘අඳුරේ යන වසංගතයේ’ ස්වභාවය කුමක්ද? අප එයට බිය නොවන්නේ මන්ද?
10 පෙනෙන විදිහට ‘දවාලේ විදින ඊගසෙන්’ අඟවන්නේ වාචික ප්‍රහාර විය හැක. (ගීතාවලිය 64:3-5; 94:20) අප කරන පරිශුද්ධ සේවයට විරුද්ධව ඇතැම් අය නොයෙකුත් දේවල් පැවසුවත් අප මිනිසුන් සමඟ සත්‍යය තොරතුරු බෙදාගැනීම අත් නොහැරීමෙන් තහවුරු වන්නේ අපේ සේවය අඩපණ කිරීමට ඒවාට නොහැකි බවයි. එපමණක්ද නොව, අප “අඳුරේ යන වසංගතයට” බිය වන්නේද නැත. මෙම වසංගතයෙන් සංකේතවත් වන්නේ සාතන්ගේ බලය යටතේ පවතින සදාචාරමය ලෙස හා ආගමිකව රෝගාතුර වී තිබෙන මේ ලෝකයේ බලාපොරොත්තු සුන්භාවය නිසා හටගෙන තිබෙන විනාශකාරි තත්වයයි. (1 යොහන් 5:19) මෙහි ප්‍රතිඵලයක් වශයෙන් මිනිසුන්ගේ මනස් හා හදවත් මාරාන්තික තත්වයකට පත් වී තිබෙන අතර, යෙහෝවා ගැනත් ඔහුගේ අරමුණු හා ප්‍රේමනීය සැපයුම් ගැනත් ඔවුන්ට කිසිම අවබෝධයක් නැත. (1 තිමෝති 6:4) මෙම අන්ධකාරයෙන් අප වට වී සිටියත් අප බිය නොවන්නේ ආත්මික ආලෝකය අඩුවක් නැතිව අපට ලැබෙන නිසාය.—ගීතාවලිය 43:3.
11. ‘ඉර මුදුන් වේලේ සිදු වන පාළු කිරීම’ අද්දකින අයට සිදු වන්නේ කුමක්ද?
11 ‘ඉර මුදුන් වේලේ සිදු වන පාළු කිරීමට’ අප බිය වන්නේ නැත. ‘ඉර මුදුන් වේලාව’ යන්නෙන් ඇඟවිය හැක්කේ මේ ලෝකයේ ඥානාලෝකය කියා හඳුන්වනු ලබන දෙයයි. ලෝකයේ ද්‍රව්‍යවාදී ආකල්පවලට අනුව හැඩගැසෙන අය ආත්මික විනාශයක් අද්දකිති. (1 තිමෝති 6:20, 21) අප නිර්භීතව රාජ්‍ය පණිවිඩය ප්‍රකාශ කරද්දී, යෙහෝවා අපේ ආරක්ෂාවට සිටින නිසා අපේ සතුරන්ට අප බිය වන්නේ නැත.—ගීතාවලිය 64:1; හිතෝපදේශ 3:25, 26.
12. දහස් ගණනක් ‘වැටෙන්නේ’ කාගේ පැත්තෙහිද? ඔවුන් වැටෙන්නේ කිනම් අර්ථයෙන්ද?
12 ගීතිකාකරු තවදුරටත් මෙසේ පවසයි. “නුඹේ පැත්තක දහසක්ද දකුණු පැත්තෙහි දසදහසක්ද වැටෙන්නෝය; එහෙත් එය නුඹට ළං නොවන්නේය. නුඹේ ඇස්වලින් බලා, දුෂ්ටයාගේ විපාකය දකිනවා පමණක්ය.” (ගීතාවලිය 91:7, 8) යෙහෝවාව තමන්ගේ රක්ෂස්ථානය කර නොගැනීම නිසා බොහෝදෙනෙක් අපේ “පැත්තක” ආත්මිකව මැරී “වැටෙන්නෝය.” අද සිටින ආත්මික ඉශ්රායෙල්වරුන්ගේ “දකුණු පැත්තෙහි දසදහසක්” වැටී ඇති බව පැවසුවහොත් නිවැරදිය. (ගලාති 6:16) එනමුත් ආලේප ලත් ක්‍රිස්තියානීන් හෝ වේවා, දෙවිට කැප වී ඔවුන් සමඟ සමීප ඇසුරක් පවත්වන්නන් හෝ වේවා, අපි දෙවිගේ “රහස් ස්ථානයෙහි” සුරක්ෂිතව සිටින්නෙමු. අපට තිබෙන්නේ වාණිජමය හා ආගමික මෙන්ම වෙනත් ආකාරවලින් කනගාටුදායක අස්වැන්නක් නෙළාගන්නා ‘දුෂ්ටයන්ගේ විපාකය දෙස බලා සිටීම’ පමණයි.—ගලාති 6:7.
‘කිසි විපතක් අප පිට නොපැමිණෙයි’
13. අප පිට නොපැමිණෙන විපත්ති මොනවාද? ඒ මන්ද?
13 මේ ලෝකයේ ආරක්ෂාව දුර්වල වෙමින් තිබුණත්, අපේ ජීවිතයේ මුල්තැන දෙවිට දෙමින් ගීතිකාකරුගේ මෙම වදන්වලින් අපි ධෛර්යය වඩවාගන්නෙමු. “මක්නිසාද [යෙහෝවා] ඔබ මාගේ රක්ෂාස්ථානයය. නුඹ මහෝත්තමයාණන් නුඹේ වාසස්ථානය කරගත්තෙහිය; නුඹට කිසි නපුරක් [විපතක්, NW] නොපැමිණෙන්නේය, නුඹේ කූඩාරමට වසංගතයක් ළං නොවන්නේය.” (ගීතාවලිය 91:9, 10) ඔව්, යෙහෝවා අපේ රක්ෂස්ථානයයි. එමෙන්ම අපි මහෝත්තමයාව ‘අපේ වාසස්ථානයද’ කරගන්නෙමු. අපට සුරක්ෂිතව සිටිය හැක්කේ එතැනයි. මුළු විශ්වයේම පරමාධිපති වශයෙන් අපි යෙහෝවාව පැසසුමට ලක් කරන්නෙමු. අපට ආරක්ෂාව සලසන්නා වන ඔහුව අපේ “වාසස්ථානය” කරගනිමින් ඔහුගේ රාජ්‍යයේ ශුභාරංචිය ප්‍රකාශ කරන්නෙමු. (මතෙව් 24:14) මේ නිසා මෙම ගීතිකාවේ මුල් වගන්තිවල විස්තර කළ ‘කිසිම විපතක් අප පිටට නොපැමිණෙයි.’ අනිත් අය මෙන් අපිද භූමිකම්පා, සුළි සුළං, ජලගැලීම්, සාගත හා යුද්ධ වැනි විපත්ති අද්දකින්නෙමු. එහෙත් අපේ ඇදහිල්ල හෝ අප ලබන ආත්මික ආරක්ෂාව නැති කර දැමීමට ඒ කිසිම විපතකට නොහැක.
14. යෙහෝවාගේ සේවකයන් වශයෙන් අප මාරාන්තික වසංගතවලට ගොදුරු නොවන්නේ මන්ද?
14 ආලේප ලත් ක්‍රිස්තියානීන් වත්මන් ක්‍රමයෙන් වෙන්ව කූඩාරම්වල වාසය කරන ආගන්තුකයන් හා සමානයි. (1 පේතෘස් 2:11) ‘ඔවුන්ගේ කූඩාරමට කිසි වසංගතයක් ළං නොවන්නේය.’ අපේ බලාපොරොත්තුව ස්වර්ගයේ හෝ පොළොවේ හෝ වේවා අප මේ ලෝකයේ කොටසක් වන්නේ නැත. එනිසා ආත්මිකව මරු කැඳවන දුරාචාරය, ද්‍රව්‍යවාදය, බොරු ආගම වැනි වසංගතවලටද අප ගොදුරු වන්නේ නැත. එමෙන්ම අපි ‘මෘගයාට’ හා උගේ “රූපය” වන එක්සත් ජාතීන්ට නමස්කාර නොකරන්නෙමු.—එළිදරව් 9:20, 21; 13:1-18; යොහන් 17:16.
15. අප දේවදූතයන්ගේ ආරක්ෂාව ලබන්නේ කිනම් ආකාරවලින්ද?
15 අප ලබන ආරක්ෂාව ගැන ගීතිකාකරු තවදුරටත් මෙසේ පවසයි. “නුඹේ සියලු මාර්ගවලදී නුඹ ආරක්ෂාකරන පිණිස [යෙහෝවා] ස්වකීය දූතයන්ට නුඹ ගැන [අණ දෙන්නේය]. ඔව්හු නුඹේ පය ගලක නොවදින පිණිස ඔවුන්ගේ අත් පිට නුඹ උසුලාගන්නෝය.” (ගීතාවලිය 91:11, 12) අපව ආරක්ෂා කිරීමේ බලය දේවදූතයන්ට දී තිබේ. (2 රාජාවලිය 6:17; ගීතාවලිය 34:7-9; 104:4; මතෙව් 26:53; ලූක් 1:19) ‘අපේ සියලු මාර්ගවලදී’ අපව ආරක්ෂා කරන්න ඔවුහු සූදානමින් සිටිති. (මතෙව් 18:10) රාජ්‍ය ප්‍රකාශකයන් වශයෙන් අපි දේවදූතයන්ගේ මඟ පෙන්වීම හා ආරක්ෂාව ලබන්නෙමු. මේ නිසා අප ආත්මිකව වැටෙන්නේ නැත. (එළිදරව් 14:6, 7) අපේ සේවයට විරුද්ධව පනවන තහංචි වැනි ‘ගල්වලට’ අපේ ගමන අඩාළ කිරීමටවත් දෙවිගේ අනුමැතිය අපෙන් අහිමි කිරීමටවත් හැකි වී නැත.
16. ‘තරුණ සිංහයෙක්’ හා ‘පොළඟෙකු’ එල්ල කරන ප්‍රහාර එකිනෙකට වෙනස් වන්නේ කෙසේද? අප ඒවාට ප්‍රතිචාරය දක්වන්නේ කෙසේද?
16 ගීතිකාකරු මෙසේද පවසයි. “නුඹ සිංහයාත් පොළඟාත් පාගන්නෙහිය. [කේශර, NW] තරුණ සිංහයාත් [මහා, NW] සර්පයාත් පයින් පාගන්නෙහිය.” (ගීතාවලිය 91:13) තරුණ සිංහයෙක් එළිපිට ප්‍රහාරයක් එල්ල කරන්නාක් මෙන් අපේ ඇතැම් සතුරෝ දේශනා සේවය නතර කර දැමීමට නීති අනුමත කරවාගැනීමෙන් ඔවුන්ගේ විරුද්ධත්වය එළිපිට ප්‍රකාශ කරති. එපමණක්ද නොව, නොපෙනෙන තැනක සිට පොළඟෙකු දෂ්ට කරන්නාක් මෙන් බලාපොරොත්තු නොවූ ආකාරයේ ප්රහාරද අපට එල්ල වේ. මෙම ප්‍රහාර පිටුපස සැඟවී සිටින පූජකයෝ අපට ප්‍රහාර එල්ල කිරීම සඳහා ඇතැම් අවස්ථාවලදී නීති සම්පාදකයන්ව, විනිසුරුවන්ව හා වෙනත් අයව යොදාගනිති. එහෙත් මෙවන් අවස්ථාවලදී අපි යෙහෝවාගේ උපකාරය ඇතිව සාමකාමීව අධිකරණයේ පිහිට පතන්නෙමු. මෙසේ අපි “ශුභාරංචිය රැකගැනීමටත් එය නීත්‍යනුකූලව ස්ථාපිත කිරීමටත්” කටයුතු කරන්නෙමු.—පිලිප්පි 1:7, NW; ගීතාවලිය 94:14, 20-22.
17. අප ‘කේශර තරුණ සිංහයාව’ පාගා දමන්නේ කෙසේද?
17 ‘කේශර තරුණ සිංහයාව හා මහා සර්පයාව’ පාගා දැමීම ගැන ගීතිකාකරු පවසයි. කේශර තරුණ සිංහයා දරුණු සතෙකි. එමෙන්ම මහා සර්පයා කියන්නේ අතිවිශාල උරගයෙකි. (යෙසායා 31:4) කේශර තරුණ සිංහයා එළිපිට පහර එල්ල කරද්දී මොනතරම් දරුණු වුවත්, අපි ඌව පාගා දමන්නෙමු. සංකේතමය ලෙස අප එසේ කරන්නේ සිංහයන් බඳු මිනිසුන්ට හෝ සංවිධානවලට වඩා දෙවිට කීකරු වීමෙනි. (ක්‍රියා 5:29) මේ නිසා අපට ආත්මික ආකාරයකින් තුවාල කරන්න දරුණු ‘සිංහයාට’ නොහැක.
18. “මහා සර්පයා” ගැන සඳහන් කරද්දී අපට මතක් වෙන්නේ කාවද? ඔහු අපට පහර එල්ල කරනවා නම් අප කුමක් කළ යුතුද?
18 ග්‍රීක් සෙප්ටූඅජින්ට් පරිවර්තනයේ “මහා සර්පයාව” හඳුන්වන්නේ ‘මකරෙකු’ ලෙසය. ‘යක්ෂයා නැතහොත් සාතන්යයි කියන ලද මහා සර්පයා නමැති ඒ පුරාණ සර්පයාව’ අපට මෙහිදී මතක් වනවාට සැකයක් නැත. (එළිදරව් 12:7-9; උත්පත්ති 3:15) තම ග්‍රහණයට හසු වන ගොදුරු පොඩි කර ගිල දැමීමේ හැකියාව තිබෙන අසාමාන්‍ය උරගයෙකුට සාතන්ව සම කළ හැක. (යෙරෙමියා 51:34) පිඹුරෙකු අප වටේ එතෙන්නාක් මෙන් සාතන් අපව වෙළාගෙන මේ ලෝකයේ පීඩනවලින් පොඩි කර ගිල දමන්න වෑයම් කරද්දී, අපි මුළු වැර යොදමින් ඔහුගේ ග්රහණයෙන් ගැළවී, මේ “මහා සර්පයා” පාගා දමමු. (1 පේතෘස් 5:8) ආලේප ලත් ක්‍රිස්තියානීන් රෝම 16:20හි පුරෝකථනය කර තිබෙන දෙය ඉටු කිරීමෙහි හවුල් වීමට නම් එසේ කළ යුතුය.
අපේ ගැළවීමේ උල්පත යෙහෝවායි
19. අප යෙහෝවාව අපේ රක්ෂස්ථානය කරගන්නේ මන්ද?
19 දෙවිව නියෝජනය කරමින් ගීතිකාකරු සැබෑ නමස්කාරකයා ගැන මෙසේ පවසයි. “ඔහු මා කෙරෙහි ඇලුම්වූ බැවින් ඔහු මුදාහරින්නෙමි. මාගේ නාමය දැන සිටින බැවින් ඔහු උසස්කරන්නෙමි.” (ගීතාවලිය 91:14) “ඔහු උසස්කරන්නෙමි” යන්නෙන් අදහස් වන්නේ ‘ඔහුව ආරක්ෂා කරන’ බවයි. එනම්, සතුරන්ට ළඟා විය නොහැකි ස්ථානයක ඔහු සිටින බවයි. මේ නිසා යෙහෝවාගේ සේවකයන් වශයෙන්, විශේෂයෙන්ම ‘ඔහුට ඇලුම්කරන්නන් වශයෙන්’ අපි ඔහුව රක්ෂස්ථානය කරගන්නෙමු. (මාර්ක් 12:29, 30; 1 යොහන් 4:19) එසේ කළහොත් දෙවි අපේ සතුරන්ගෙන් ‘අපව මුදාගනු ඇත.’ කවදාවත් අපව මෙලොවින් තුරන් කර දැමීමට ඔවුන්ට නොහැක. දෙවිගේ නාමය දැනගෙන සිටින අප උපකාරය ඉල්ලා ඔහුට ඇදහිල්ලෙන් යාච්ඤා කරන නිසා ඔහු අපව ගළවාගනු ඇත. (රෝම 10:11-13) තවද ‘යෙහෝවාගේ නාමයෙන් සදාකාලයටම ගමන් කිරීමට’ අපි අදිටන් කරගෙන සිටින්නෙමු.—මීකා 4:5, NW; යෙසායා 43:10-12.
20. අනූඑක්වන ගීතිකාව අවසානයේදී යෙහෝවා ඔහුගේ විශ්වාසවන්ත සේවකයන්ට දෙන පොරොන්දුව කුමක්ද?
20 අනූඑක්වන ගීතිකාව ගීතා 91 අවසානයේදී යෙහෝවා ඔහුගේ විශ්වාසවන්ත සේවකයන් ගැන මෙසේ පවසයි. “ඔහු මට යාච්ඤාකරන්නේය, මමද උත්තරදෙන්නෙමි; දුකේදී ඔහු සමඟ සිටින්නෙමි. ඔහු මුදා ගෞරවයට පමුණුවන්නෙමි. දීර්ඝායුෂයෙන් ඔහු සෑහීමට පමුණුවා, මාගේ ගැළවීම ඔහුට දක්වන්නෙමි.” (ගීතාවලිය 91:15, 16) දෙවිගේ කැමැත්තට එකඟව අප උපකාරය ඉල්ලා යාච්ඤා කරන විට ඔහු අපට උත්තර දෙයි. (1 යොහන් 5:13-15) සාතන් අපට කරන හිරිහැර ගැන බලද්දී අප දැනටමත් බොහෝ දුක් විඳ තිබේ. එහෙත් “[මම] දුකේදී ඔහු සමඟ සිටින්නෙමි” යන වදන් අනාගත පීඩා සඳහා අපව ශක්තිමත් කරවයි. එමෙන්ම වත්මන් දුෂ්ට ක්‍රමය විනාශ වෙද්දී දෙවි අපව උසුලන බවට එම වදන් අපට සහතිකයකි.
21. ආලේප ලත් අයව දැනටමත් ගෞරවයට පත් කර තිබෙන්නේ කෙසේද?
21 සාතන්ගේ දරුණු විරුද්ධවාදිකම්වලට මුහුණ දීමට සිදු වුවත් අප අතර සිටින ආලේප ලත් අය සියලුදෙනාම පොළොව මත “දීර්ඝායුෂ” භුක්ති විඳීමෙන් පසු, යෙහෝවාගේ නියමිත කාලය පැමිණි විට ස්වර්ගයේදී මහත් ගෞරවයට පත් කරනු ලබනවා ඇත. එහෙත් දෙවි පුදුමාකාර ලෙස ආලේප ලත් අයව ගළවාගෙන තිබෙන නිසා, පොළොව මත සිටින කාලයේදී පවා ඔවුන්ව ගෞරවයට පත් කර තිබේ. මේ අන්තිම දවස්වලදී යෙහෝවාගේ සාක්ෂිකරුවන් වශයෙන් ඔවුන් පෙරමුණ ගෙන කටයුතු කිරීම මොනතරම් ගෞරවනීය දෙයක්ද! (යෙසායා 43:10-12) යෙහෝවා ඔහුගේ සෙනඟව ගළවාගැනීම පිළිබඳ විශිෂ්ටතම ක්‍රියාව සිදු කරන්නේ අර්මගෙදොන් කියා හඳුන්වන ඔහුගේ මහත් යුද්ධය සිදු වන කාලයේදීය. එම යුද්ධයේදී ඔහු සිය පරමාධිපත්‍යයේ ධර්මිෂ්ඨකම තහවුරු කරමින් ඔහුගේ නාමය විශුද්ධවත් කරනු ඇත.—ගීතාවලිය 83:17; එසකියෙල් 38:23; එළිදරව් 16:14, 16.
22. ‘යෙහෝවාගේ ගැළවීම’ දකින්නේ කවුද?
22 අප ආලේප ලත් ක්‍රිස්තියානීන්ගේ කණ්ඩායමට අයත් වුවත්, දෙවිට කැප වී ඔවුන් සමඟ සමීප ඇසුරක් පවත්වන අයගේ සමූහයට අයත් වුවත්, අප සියලුදෙනාම ගැළවීම සඳහා බලා සිටින්නේ දෙවි දෙසය. “[යෙහෝවාගේ] මහත්වූ භයානකවූ දවස” ක්‍රියාත්මක වන කාලයේදී දෙවිට පක්ෂපාතව සේවය කරන අය ගැළවෙනවා ඇත. (යෝවෙල් 2:30-32) මෙසේ ගැළවී දෙවිගේ නව ලොවට ඇතුල් වන ‘මහත් සමූහයට’ අයත් අපවද අවසාන පරීක්ෂණයේදී විශ්වාසවන්තකම රැකගන්න අයවද දෙවි ‘දීර්ඝායුෂයෙන් සෑහීමට පමුණුවනු’ ඇත. ඔහු අතිවිශාල පිරිසක්වද නැවත නැඟිටුවනවා ඇත. (එළිදරව් 7:9; 20:7-15) යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙන් ‘අපට ගැළවීම දකින්න සැලැස්වීමෙන්’ යෙහෝවා මහත් ප්‍රීතියක් ලබන බව නිසැකයි. (ගීතාවලිය 3:8) මෙවන් විශිෂ්ට බලාපොරොත්තු අපට තිබෙන නිසා දෙවිව ගෞරවයට පත් කරමින් අපේ ජීවිතයේ දවස් ගණන් කිරීම සඳහා සැමදා දෙවිගේ උපකාරය පතමු. යෙහෝවා අපේ රක්ෂස්ථානය බව අපේ වචනවලින් හා ක්‍රියාවලින් දිගටම පෙන්වමු.
[පාදසටහන]
a ක්‍රිස්තියානි ග්‍රීක් ශුද්ධ ලියවිලි ලියූ අය ගීතා 91වන ගීතිකාව මෙසියානු රාජ්‍යය හා සම්බන්ධ අනාවැකිවලට සම්බන්ධ කරමින් සාකච්ඡාවට ලක් කර නැත. කෙසේවෙතත්, යේසුස් ක්‍රිස්තුස් මිනිසෙකුව සිටි කාලයේදී යෙහෝවා ඔහුට රක්ෂස්ථානයක් හා බලකොටුවක් වූ බව පැහැදිලිය. එලෙසම යෙහෝවා මේ ‘අන්තිම කාලයේදී’ යේසුස්ගේ ආලේප ලත් අනුගාමිකයන්ට මෙන්ම තමාට කැප වී ඔවුන් සමඟ සමීප ඇසුරක් පවත්වන කණ්ඩායමටද රක්ෂස්ථානයක් වෙයි.—දානියෙල් 12:4.
ඔබ උත්තර දෙන්නේ කෙසේද?
• ‘මහෝත්තමයාගේ රහස් ස්ථානය’ යනු කුමක්ද?
• අප බිය නොවන්නේ මන්ද?
• ‘කිසි විපතක් අප පිට නොපැමිණෙන්නේ’ කෙසේද?
• යෙහෝවා අපේ ගැළවීමේ උල්පත කියා අපට පැවසිය හැක්කේ මන්ද?
[17වන පිටුවේ පින්තූරය]
යෙහෝවාගේ සත්‍යවාදීකම අපට විශාල පලිහක් වන්නේ කෙසේද කියා ඔබ දන්නවාද?
[18වන පිටුවේ පින්තූර]
එළිපිට එල්ල කරන විරුද්ධවාදීකම් හා අනපේක්ෂිත පහර දීම් මැද තමන්ගේ සේවය කරගෙන යෑමට යෙහෝවා ඔහුගේ සේවකයන්ට උපකාර කරයි
[හිමිකම් විස්තර]
Cobra: A. N. Jagannatha Rao, Trustee, Madras Snake Park Trust