ලෙවී කතාව
27 යෙහෝවා දෙවි මෝසෙස්ට තවදුරටත් මෙසේ කීවේය. 2 “ඊශ්‍රායෙල් සෙනඟට මෙසේ කියන්න. ‘මිනිසෙකු තමාවම හෝ වෙන යම් කෙනෙකුව හෝ යෙහෝවා දෙවි වන මට විශේෂ භාරයක්+ ලෙස දුන්නොත් එම භාරයේ වටිනාකම නියම කළ යුත්තේ මෙලෙසය. 3 වයස අවුරුදු විස්සත් හැටත් අතර සිටින පුරුෂයෙකුගේ වටිනාකම රිදී ෂෙකෙල් පනහක් ලෙස නියම කරන්න. ඒ එක් එක් ෂෙකෙලයේ බර ශුද්ධස්ථානයේ තිබෙන ෂෙකෙලයේ බරට සමාන විය යුතුයි. 4 භාරය පිණිස දෙන එම වයසේම ස්ත්‍රියකගේ වටිනාකම ෂෙකෙල් තිහක් ලෙස නියම කරන්න. 5 අවුරුදු පහත් විස්සත් අතර වයසැති පිරිමි කෙනෙකුගේ වටිනාකම ෂෙකෙල් විස්සක් ලෙසත් ගැහැනු කෙනෙකුගේ වටිනාකම ෂෙකෙල් දහයක් ලෙසත් නියම කරන්න. 6 මාසයත් අවුරුදු පහත් අතර වයසැති පුත්‍රයකුගේ වටිනාකම රිදී ෂෙකෙල් පහක්+ ලෙසත් දියණියකගේ වටිනාකම රිදී ෂෙකෙල් තුනක් ලෙසත් නියම කරන්න.
7 “‘වයස අවුරුදු හැටක් හෝ ඊට වැඩි පුරුෂයෙකුගේ වටිනාකම ෂෙකෙල් පහළවක් ලෙසත් ස්ත්‍රියකගේ වටිනාකම ෂෙකෙල් දහයක් ලෙසත් නියම කරන්න. 8 නමුත් නියම කරන ලද වටිනාකම දෙන්න තරම් වත්කමක් ඔහුට නැත්නම්+ භාරය පිණිස දෙන තැනැත්තාව ඔහු පූජකයා ඉදිරියට ගෙන යා යුතුයි. එවිට පූජකයා භාරය වෙනුවෙන් දිය යුතු මුදල නියම කරනු ඇත.+ පූජකයා භාරය ඔප්පු කරන තැනැත්තාගේ වත්කමට අනුව+ එය නියම කරනු ඇත.
9 “‘යමෙකු යෙහෝවා දෙවි වන මට පූජාවක් ලෙස ඔප්පු කළ හැකි සතෙකුව භාරයක් ලෙස දුන්නොත් ඔහු යෙහෝවා දෙවි වන මට දෙන එම සතා ශුද්ධය.+ ඌ අයිති මටය. 10 එම සතාව ආපසු ඉල්ලා ඌ වෙනුවට තව සතෙකුව දෙන්න ඔහුට නොහැක. හොඳ සතෙකු වෙනුවට නරක සතෙකු හුවමාරු කරන්නවත් නරක සතෙකු වෙනුවට හොඳ සතෙකු හුවමාරු කරන්නවත් ඔහුට නොහැක. ඔහු එවැනි දෙයක් කරන්න උත්සාහ කළොත් ඒ සතුන් දෙදෙනාම එනම්, මුලින් දුන් සතාද මාරු කිරීමට ගෙනා සතාද මට අයිති වන්නේය. උන් ශුද්ධය. 11 යෙහෝවා දෙවි වන මට පූජාවක් ලෙස ඔප්පු කළ නොහැකි+ අපවිත්‍ර+ සතෙකුව භාරයක් ලෙස ගෙන ආවොත් ඔහු පූජකයා ඉදිරියට ඌව රැගෙන යා යුතුයි.+ 12 පූජකයා ඌ නරක සතෙකුද හොඳ සතෙකුද කියා පරීක්ෂා කර බලා ඒ අනුව උගේ වටිනාකම නියම කළ යුතුයි.+ පූජකයා නියම කරන එම මුදල උගේ වටිනාකම වේ. 13 භාරය වූ තැනැත්තාට එම සතාව මුදවාගන්න අවශ්‍ය නම්, සතාට නියම කළ මුදල සමඟ එම මුදලෙන් පහෙන් එකකුත්+ ගෙවිය යුතුයි.
14 “‘යමෙකු තම නිවස ශුද්ධ දෙයක් ලෙස යෙහෝවා දෙවි වන මට කැප කළොත් පූජකයා එම නිවස තිබෙන්නේ හොඳ තත්වයකද නරක තත්වයකද කියා බලා ඒ අනුව එහි වටිනාකම නියම කළ යුතුයි.+ පූජකයා නියම කරන එම මුදල නිවසෙහි වටිනාකම වේ. 15 නිවස කැප කළ තැනැත්තාට නිවස මුදවාගන්න අවශ්‍ය නම්, නිවස සඳහා නියම වූ මුදල සමඟ එම මුදලෙන් පහෙන් එකකුත් ගෙවිය යුතුයි.+ එවිට ඔහුට එය නැවත අයිති වන්නේය.
16 “‘යමෙකු තමාට උරුමයෙන් ලැබුණු කෙතෙන් කොටසක්+ යෙහෝවා දෙවි වන මට කැප කළොත් එහි වටිනාකම නියම කළ යුත්තේ එම බිම් කොටස වැපිරීම සඳහා අවශ්‍ය බීජ ප්‍රමාණයට අනුවය. බාර්ලි හෝමරයක්*+ ඒ සඳහා අවශ්‍ය වුණොත් එහි වටිනාකම රිදී ෂෙකෙල් පනහකි. 17 ඔහු තම බිම් කොටස විශේෂ අවුරුද්දේදී+ කැප කළොත් ඔහු ඒ සඳහා නියම කරන මුළු මුදල ගෙවිය යුතුයි. 18 නමුත් ඔහු එය විශේෂ අවුරුද්දෙන් පසුව යම් දිනක කැප කළොත්, කැප කළ බිම් කොටස වෙනුවෙන් ගෙවිය යුතු මුදල් ප්‍රමාණය අඩු වන්නේය. පූජකයා ඊළඟ විශේෂ අවුරුද්ද දක්වා තිබෙන අවුරුදු ගණන ගණන් කර, ඒ අනුව එහි වටිනාකම නියම කරනු ඇත.+ 19 බිම් කොටස කැප කළ තැනැත්තාට එය මුදවාගන්න අවශ්‍ය නම්, ඔහු ඒ සඳහා නියම වූ මුදල සමඟ එම මුදලෙන් පහෙන් එකකුත් ගෙවිය යුතුයි.+ එවිට ඔහුට එම බිම් කොටස නැවත අයිති වන්නේය. 20 නමුත් ඔහු එම බිම් කොටස මුදවා නොගෙන එය වෙනත් කෙනෙකුට විකුණුවොත් කවදාවත් එය ආපසු මිල දී ගත නොහැක. 21 විශේෂ අවුරුද්දේදීද එය මුදවාගත නොහැක. එය සදහටම යෙහෝවා දෙවි වන මට කැප කළ ශුද්ධ දෙයක් ලෙස සැලකිය යුතුයි.+ එය පූජකයාට අයිති වන්නේය.+
22 “‘යමෙකු තමාට උරුමයෙන් නොලැබුණු කෙතක් මිල දී ගෙන එය යෙහෝවා දෙවි වන මට කැප කළොත්,+ 23 පූජකයා විශේෂ අවුරුද්ද දක්වා ඉතුරුව තිබෙන කාලය ගණන් කර, ඒ අනුව එහි වටිනාකම නියම කළ යුතුයි. එම තැනැත්තා නියම කළ මුදල ඒ දවසේදීම ගෙවිය යුතුයි.+ එම මුදල යෙහෝවා දෙවි වන මා සලකන්නේ ශුද්ධ දෙයක් ලෙසයි.+ 24 විශේෂ අවුරුද්දේදී කෙත එය විකුණූ තැනැත්තාට එනම්, එහි මුල් හිමිකරුට නැවත අයිති වන්නේය.+
25 “‘ඕනෑම දෙයක වටිනාකම නියම කළ යුත්තේ ශුද්ධස්ථානයේ තිබෙන ෂෙකෙලයේ බරට අනුවය. ෂෙකෙලයක බර ගේරා* මිමි විස්සක් විය යුතුයි.+
26 “‘කුලුඳුල් සතුන් යෙහෝවා දෙවි වන මට අයිති නිසා+ කිසිවෙකු උන්ව කැප නොකළ යුතුයි. ඒ සතා ගවයෙකු හෝ බැටළුවෙකු හෝ වේවා ඌව අයිති යෙහෝවා දෙවි වන මටය.+ 27 නමුත් අපවිත්‍ර කුලුඳුල් සතෙකුව+ මුදවාගත හැක. යමෙකු එසේ කරනවා නම්, ඌට නියම කරන ලද මුදල සමඟ එම මුදලෙන් පහෙන් එකක් ගෙවිය යුතුයි.+ නමුත් ඔහු එම සතාව මුදවාගන්නේ නැත්නම් නියම කරන ලද මුදලට පූජකයා ඌව විකිණිය යුතුයි.
28 “‘යමෙකු තමාගේ ගෙයි වැසියෙකුව හෝ තමාට අයිති සතෙකුව හෝ උරුමයෙන් තමාට හිමි වූ කෙතක් හෝ යෙහෝවා දෙවි වන මට සදහටම* කැප කරන්නේ නම්+ එම පුද්ගලයා හෝ එම සතා හෝ එම කෙත හෝ කිසිවිටෙක විකුණන්නවත් ආපසු මිල දී ගන්නවත් ඔහුට නොහැක.+ කැප කළ ඒ පුද්ගලයා හෝ ඒ සතා හෝ ඒ කෙත හෝ යෙහෝවා දෙවි වන මට අයිති වන බැවින් ඒවා ඉතා ශුද්ධය. 29 විනාශය පිණිස කැප කළ පුද්ගලයෙකුව කිසිවිටෙක මුදවාගත නොහැක.+ ඔහුව අනිවාර්යයෙන්ම මරා දැමිය යුතුයි.+
30 “‘භූමියේ පලදාවෙන් දහයෙන් කොටසක්+ යෙහෝවා දෙවි වන මට අයිතිය. ධාන්‍ය අස්වැන්නෙන් හෝ ගස්වල පලදාවෙන් හෝ දහයෙන් කොටසක් මට දිය යුතුයි. ඒවා යෙහෝවා දෙවි වන මට අයිති ශුද්ධ කොටස්ය. 31 මට දෙන එම දහයෙන් කොටස යමෙකුට ආපසු මිල දී ගන්න අවශ්‍ය නම්, ඔහු එහි වටිනාකම සමඟ එයින් පහෙන් කොටසක්ද ගෙවිය යුතුයි.+ 32 එළු බැටළු සහ ගව රැළේ සතුන් දහදෙනෙකුගෙන් එකෙකු යෙහෝවා දෙවි වන මට දිය යුතුයි. එඬේරා තමන්ට අයිති සතුන්ව ගණන් කරන විට+ දහවෙනියාට පැමිණෙන සතාව මට දිය යුතුයි.* දහවෙනියාට පැමිණෙන සෑම සතෙකුම ශුද්ධය. 33 එම දහවන සතා හොඳ එකෙකුද නරක එකෙකුද කියා ඔහු පරීක්ෂා කර නොබැලිය යුතුයි. එම සතාව ආපසු රැගෙන ඌ වෙනුවට තව සතෙකුව නොදිය යුතුයි. ඔහු එසේ කිරීමට උත්සාහ කළොත් ඒ සතුන් දෙදෙනාම එනම්, දහවන සතාද මාරු කිරීමට ගෙනා සතාද මට අයිති වන්නේය. උන් ශුද්ධය.+ උන්ව මුදවාගැනීමට ඔහුට නොහැක.’”
34 යෙහෝවා දෙවි සීනයි කන්දේදී+ මෝසෙස් මාර්ගයෙන් ඊශ්‍රායෙල් සෙනඟට දුන් ආඥා+ ඒවාය.