ගණන් කතාව
35 යොර්දාන් ගඟ+ හා යෙරිකෝව අසල පිහිටි මෝවබ් පාළුකරයේදී යෙහෝවා දෙවි මෝසෙස්ට මෙසේ කීවේය. 2 “ඊශ්‍රායෙල් සෙනඟට උරුම වන ඉඩම්වලින් ලෙවීවරුන්ට ජීවත් වීමට නුවරවල් දිය යුතු බව+ ඊශ්‍රායෙල්වරුන්ට කියන්න. ඒ නුවරවල් අවට තිබෙන සියලු තණබිම්ද ලෙවීවරුන්ට දිය යුතුයි.+ 3 එම නුවරවල් ලෙවීවරුන්ට ජීවත් වීම සඳහාය. එම තණබිම් ඔවුන්ගේ එළුවන්, බැටළුවන්, ගවයන් හා අනික් සතුන් සඳහාද ඔවුන්ගේ ගොවිපොළවල් සඳහාද යොදාගත යුතුයි. 4 ඔබ ලෙවීවරුන්ට දෙන තණබිම් මැනිය යුත්තේ මෙලෙසයි. නුවරෙහි පවුරේ සිට හතර දිශාවටම රියන් දහස බැගින් මනින්න. 5 මෙසේ තණබිමේ පළල රියන් දෙදහසක්ද එහි දිග ප්‍රමාණය රියන් දෙදහසක්ද වෙයි.* නුවරවල් වටා තිබෙන තණබිම් මැනිය යුත්තේ ඒ ආකාරයටයි.
6 “යමෙකු අතින් යම් මිනිසෙකු මිය ගියොත් එවැනි කෙනෙකුට පලා යෑම සඳහා+ ආරක්ෂිත නුවරවල් හයක්ද+ තවත් නුවරවල් හතළිස්දෙකක්ද ඔබ ලෙවීවරුන්ට දිය යුතුයි. 7 මෙසේ ඔබ ලෙවීවරුන්ට නුවරවල් හතළිස්අටක් දිය යුතුයි. එම නුවරවල් අවට තිබෙන තණබිම්ද ඔවුන්ට දෙන්න.+ 8 ඊශ්‍රායෙල් සෙනඟට උරුම වන ඉඩම්වලින් ලෙවීවරුන්ට එම නුවරවල් දෙන්න.+ විශාල බිම් කොටසක් උරුම වන අයගෙන් විශාල ප්‍රමාණයක්ද කුඩා බිම් කොටසක් උරුම වන අයගෙන් කුඩා ප්‍රමාණයක්ද ගන්න.+ එක් ගෝත්‍රයකට උරුම වන කොටසේ විශාලත්වයට අනුව ඔවුන්ගෙන් කොටසක් වෙන් කර ලෙවීවරුන්ගේ නුවරවල් සඳහා එය දෙන්න.”
9 යෙහෝවා දෙවි මෝසෙස්ට තවදුරටත් මෙසේ කීවේය. 10 “ඊශ්‍රායෙල් සෙනඟට මේ දේත් කියන්න. ‘ඔබ යොර්දාන් ගඟෙන් එගොඩ වී කානාන් දේශයට ගිය පසු+ 11 ආරක්ෂිත නුවරවල් කිහිපයක් වෙන් කරගන්න. අත්වැරදීමක් නිසා යමෙකුගේ අතින් මනුෂ්‍යයෙකු මිය ගියොත් ඔහු ආරක්ෂිත නුවරකට පලා යා යුතුයි.+ 12 සෙනඟගෙන් විනිශ්චයක්+ ලැබීමට පෙර මිනී මරුවාව මරා දැමීමට අයිතියක් ඇති තැනැත්තාගේ+ අතින් මැරුම් නොකන පිණිස ඔහු එම ආරක්ෂිත නුවරේ රැඳී සිටිය යුතුයි. 13 ඔබට දෙන එම නුවරවල් හය ආරක්ෂිත නුවරවල්ය. 14 යොර්දාන් ගඟෙන් නැඟෙනහිර පැත්තේ නුවරවල් තුනක්ද+ කානාන් දේශයේ තවත් නුවරවල් තුනක්ද ආරක්ෂිත නුවරවල් ලෙස වෙන් කරගන්න.+ 15 අත්වැරදීමක් නිසා ඊශ්‍රායෙල් සෙනඟගෙන් කෙනෙකුගේ හෝ ඔවුන් සමඟ ජීවත් වන විදේශිකයෙකුගේ+ හෝ අතින් යමෙකු මිය ගියොත් ආරක්ෂාව ලබන පිණිස ඔහු එම නුවරවලින් එකකට පලා යා යුතුයි.+
16 “‘නමුත් යමෙකු යකඩ ආයුධයකින් මනුෂ්‍යයෙකුට පහර දුන් පසු ඔහු මිය ගියොත් ඒ තැනැත්තාව මිනී මරුවෙකු ලෙස ගණන් ගත යුතුයි.+ මිනී මරුවාව අනිවාර්යයෙන්ම මරා දැමිය යුතුයි.+ 17 යමෙකු හානියක් කරන අදහසින් මනුෂ්‍යයෙකුට ගලකින් පහර දුන් විට ඔහු මිය ගියොත් පහර දුන් තැනැත්තාව මිනී මරුවෙකු ලෙස ගණන් ගත යුතුයි. මිනී මරුවාව අනිවාර්යයෙන්ම මරා දැමිය යුතුයි. 18 යමෙකු හානියක් කරන අදහසින් මනුෂ්‍යයෙකුට ලී ආයුධයකින් පහර දුන් විට ඔහු මිය ගියොත් පහර දුන් තැනැත්තාව මිනී මරුවෙකු ලෙස ගණන් ගත යුතුයි. මිනී මරුවාව අනිවාර්යයෙන්ම මරා දැමිය යුතුයි.
19 “‘මිනී මරුවෙකුව මරා දැමිය යුත්තේ මිය ගිය තැනැත්තාගේ නෑදෑයෙකු+ විසිනුයි. මිනී මරුවාව ඔහුගේ අතට හසු වූ විට ඔහුව මරා දැමිය යුතුයි. 20 යමෙකු තම සතුරාට හානියක් කරන අදහසින් ඔහුව තල්ලු කර+ ඔහු වැටී මිය ගියොත් එසේත් නැත්නම් මඟ රැක සිට+ ඔහු දෙසට යමක් වීසි කර ඔහු මිය ගියොත් 21 එසේත් නැත්නම් ඔහුට අතින් පහර දී ඔහු මිය ගියොත් එම තැනැත්තාව මිනී මරුවෙකු ලෙස ගණන් ගත යුතුයි. ඔහුව අනිවාර්යයෙන්ම මරා දැමිය යුතුයි. මිනී මරුවාව මරා දැමීමට අයිතිය ඇති තැනැත්තාගේ අතට ඔහුව හසු වූ විට ඔහුව මරා දැමිය යුතුයි.+
22 “‘නමුත් යමෙකු නපුරු චේතනාවක් නොමැතිව හදිස්සියේ කෙනෙකුව තල්ලු කර ඔහු වැටී මිය ගියොත් එසේත් නැත්නම් නොසිතා ඒ තැනැත්තා දෙසට යමක් වීසි කර මිය යන තරමට ඔහු තුවාල ලැබුවොත්+ 23 එසේත් නැත්නම් යමෙකු සිටින බව නොදැක ඒ දෙසට වීසි කළ හෝ පෙරළුව ගලකින් ඒ තැනැත්තා දරුණු ලෙස තුවාල වී මිය ගියොත් වරද සිදු කළ තැනැත්තා එය හිතාමතා නොකළ බැවින් 24 මිය ගිය තැනැත්තාගේ නෑදෑයාවද* වරදකරුවද විනිශ්චයකරුවන් ඉදිරියට කැඳවිය යුතුයි.+ වරදකරු නිදොස් බව ඔප්පු වූ විට 25 විනිශ්චයකරුවන්+ මිය ගිය තැනැත්තාගේ නෑදෑයාගේ අතින් වරදකරුව බේරාගත යුතුයි. ඔහු වරද කළ පසු පලා ගිය ආරක්ෂිත නුවරටම ඔහුව නැවත යැවිය යුතුයි. ශුද්ධ තෛලයෙන්+ අභිෂේක කරනු ලැබූ උත්තම පූජකයා මිය යන තුරු ඔහු එම නුවරේ රැඳී සිටිය යුතුයි.
26 “‘නමුත් වරද කළ තැනැත්තා ආරක්ෂිත නුවරෙන් පිටතට ගියොත් 27 මිය ගිය තැනැත්තාගේ නෑදෑයාගේ+ අතට ඔහුව හසු වීමට ඉඩ ඇත. එසේවුණොත් ඔහුව මරා දැමීමට ඒ තැනැත්තාට අවසර ඇත. ඔහුව මරා දමන එම තැනැත්තා ඔහුගේ ලේවලට වග කිව යුතු නැත. 28 මන්ද උත්තම පූජකයා මිය යන තුරු වරදකරු ආරක්ෂිත නුවරේ රැඳී සිටිය යුතුයි.+ ඔහු තමාගේ නිවස බලා ආපසු යා යුත්තේ උත්තම පූජකයා මිය ගිය පසුවයි. 29 ඔබ දේශයේ කොතැනක ජීවත් වුණත් නඩු විභාග කරන විට ඔබෙන් පැවතෙන සියලුදෙනාම එම නීතිය පිළිපැදිය යුතුයි.
30 “‘මනුෂ්‍යයෙකු හිතාමතාම යමෙකුව මරා දැමූ බව ඔප්පු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි තිබෙනවා නම්+ ඔහුට මරණ දණ්ඩනය නියම කළ යුතුයි.+ නමුත් සිටින්නේ එක් සාක්ෂිකරුවෙකු පමණක් නම් ඔහුට මරණ දණ්ඩනය නියම කළ නොහැකියි. 31 මරණ දණ්ඩනය නියම කළ මිනී මරුවෙකුව මුදවාගන්නා පිණිස ගෙවන කිසි වන්දියක් භාර නොගන්න.+ ඔහුව අනිවාර්යයෙන්ම මරා දැමිය යුතුයි.+ 32 ආරක්ෂිත නුවරකට පලා ගිය කෙනෙකුගෙන් වන්දියක් ගෙන උත්තම පූජකයා මිය යෑමට පෙර ඔහුට තම නිවස බලා පිටත්ව යෑමට අවසර නොදෙන්න.
33 “‘ඔබේ දේශය දූෂ්‍ය වීමට ඉඩ නොදෙන්න. ලේ වැගිරුවොත් දේශය දූෂ්‍ය වන්නේය.+ දේශය නැවත ශුද්ධ තත්වයකට ගෙන ඒමට හැක්කේ ලේ වැගිරූ තැනැත්තාව මරා දැමුවොත් පමණයි.+ 34 ඔබ ජීවත් වන දේශය දූෂ්‍ය නොකළ යුතුයි. මන්ද මම ඔබ අතරේ වාසය කරමි. එසේය, යෙහෝවා දෙවි වන මම ඊශ්‍රායෙල් සෙනඟ සමඟ සිටිමි.’”+