ද්විතීය කතාව
4 “ඊශ්‍රායෙල්වරුනි, මම දැන් ඔබට දෙන නීති හා තීන්දු හොඳින් සිතට ගන්න. ඔබ ඒවා පිළිපදිමින් ඔබේ ජීවිතය රැකගන්න.+ ඔබ එසේ කළොත් ඔබේ මුතුන්මිත්තන්ගේ දෙවි වන යෙහෝවා ඔබට ලබා දෙන දේශය හිමි කරගන්නත් ඔබට හැකි වෙයි. 2 මම දැන් ඔබට කියන්න යන මේ දේවලට කිසිම දෙයක් එකතු කරන්නවත් එයින් කිසිම දෙයක් ඉවත් කරන්නවත් ඔබට අවසර නැහැ.+ ඔබේ දෙවි වන යෙහෝවා දුන් ඒ සෑම නීතියක්ම ඔබ පිළිපැදිය යුතුයි.
3 “පෙයෝර් කන්දේ බාල් දෙවියාට+ වන්දනාමාන කළ ඊශ්‍රායෙල්වරුන්ට යෙහෝවා දෙවි කළ දේ දැන් මතක් කරගන්න. යෙහෝවා දෙවි ඔවුන්ව විනාශ කළ හැටි ඔබේ ඇස් දෙකෙන්ම දැක්කා. ඔවුන්ගෙන් එක් කෙනෙක්වත් ඔහු ඉතුරු කළේ නැහැ.+ 4 නමුත් අද ඔබ ජීවතුන් අතර සිටින්නේ ඔබේ දෙවි වන යෙහෝවාට ඔබ ළංව+ සිටින නිසයි. 5 මගේ දෙවි වන යෙහෝවා මට අණ කළ ආකාරයටම, ඔහුගේ නීති+ හා තීන්දු+ මම ඔබට කියා දුන්නා. ඔබට උරුමයක් ලෙස ලැබෙන දේශයට ගොස් එහි පදිංචි වූ පසුත් ඔබ ඉගෙනගත් මේ දේවල් පිළිපැදිය යුතුයි. 6 ඔබ මේ අණපනත්වලට එකඟව ජීවත් වුණොත් ප්‍රඥාවන්තව+ හා දැනුම් තේරුම්+ ඇතුව කටයුතු කිරීමට ඔබට හැකි වෙයි. එවිට අවට ජාතීන්ට ඒ නීති ගැන පැහැදීමක් ඇති වී, ‘මේ මහත් ජාතිය දැනුම් තේරුම් ඇති බුද්ධිමත් සෙනඟක්’ කියා පවසන බවට කිසිම සැකයක් නැහැ.+ 7 ඇත්තෙන්ම, ඊශ්‍රායෙල් ජාතිය තරම් ආශීර්වාද ලත් සෙනඟක්+ මේ පොළොවේ කොතැනකවත් සිටිනවාද? නිතරම අපේ උපකාරයට සිටින අපේ දෙවි වන යෙහෝවා තරම් ශ්‍රේෂ්ඨ දෙවි කෙනෙක් සිටින්නේ වෙන කාටද?+ 8 මා ඔබට කියා දෙන මේ නීති මාලාව තරම් ධර්මිෂ්ඨ නීති මාලාවක් තිබෙන්නේ වෙන කා ළඟද?+
9 “නමුත් කල්පනාකාරීව සිටින්න.+ ඔබ දුටු කිසි දෙයක් අමතක නොකර+ ඔබේ මුළු ජීවිත කාලය පුරාම ඒවා සිතේ තබාගැනීමට වගබලා ගන්න.+ ඔබේ පුතුන්ටත් මුනුපුරන්ටත් ඒ සෑම දෙයක්ම ඔබ කියා දිය යුතුයි.+ 10 ඊශ්‍රායෙල් සෙනඟ හොරෙබ්+ කඳුකරයේ යෙහෝවා දෙවි ඉදිරියේ රැස්ව සිටි අවස්ථාව ගැනත් ඔවුන්ට කියන්න. යෙහෝවා දෙවි එදා මට මෙසේ පැවසුවා. ‘මා පවසන දේවලට සවන් දෙන පිණිස සෙනඟව රැස් කරන්න. ඔවුන් මට සවන් දී+ ජීවිත කාලය පුරාම මට ගරුබිය+ දක්වමින් තම දරුවන්ටත් ඒ කාරණා ගැන ඉගැන්විය යුතුයි.’+
11 “ඔබේ පියවරුන් දෙවි කී ලෙසම කන්ද පාමුල රැස් වුණා. ඒ අවස්ථාවේදී මුළු ප්‍රදේශයම ගන දුමකින් හා වලාකුළකින් වැසී තිබුණා. ඉන්පසුව ඒ කන්දෙන් ගින්නක් ඇති වී අහස උසට ඇවිළී ගියා.+ 12 යෙහෝවා දෙවි ගින්න තුළින් සියල්ලන්ට ඇසෙන සේ කතා කළා.+ ඒ අවස්ථාවේදී දෙවිගේ හඬ පැහැදිලිව ඇසුණත්+ අපිට ඔහුව+ දැකගන්න ලැබුණේ නැහැ. 13 දෙවි ඊශ්‍රායෙල් සෙනඟට ආඥා දහය*+ දුන්නේ ඒ අවස්ථාවේදීයි. ඔහු ඒවා ගල් පුවරු+ දෙකක් මත ලියා දී ඒවා පවත්වන ලෙස අණ කරමින් ඔබ සමඟ ගිවිසුමක්+ ඇති කරගත්තා. 14 යෙහෝවා දෙවි ඔහුගේ නීති හා තීන්දු ගැන ඔබට කියා දෙන්න මාව පත් කළේ ඒ අවස්ථාවේදීයි. ඔබට උරුමයක් ලෙස ලැබෙන දේශයට ගිය පසුත් ඔබ ඒ අණපනත්වලට එකඟව ජීවත් විය යුතුයි.+
15 “ඔබ මේ කාරණය කිසිවිටෙකත් අමතක නොකළ යුතුයි.+ හොරෙබ් කඳුකරයේ රැස්ව සිටි ඔබේ පියවරුන්ට යෙහෝවා දෙවි ගින්න තුළින් කතා කරද්දී කිසි කෙනෙක් ඔහුව+ දැක්කේ නැහැ. 16 ඒ නිසා ඔබ කොයිම හැඩයකින්වත් දේවතා රූප සාදා නොගත යුතුයි. එසේ කිරීම ඉතා පිළිකුල්සහගත දූෂිත+ දෙයක්. පුරුෂයෙකුගේ හෝ ස්ත්‍රියකගේ+ හෝ 17 පොළොවේ සැරිසරන සතෙකුගේ+ හෝ අහසේ පියාසර කරන කුරුල්ලෙකුගේ+ හෝ 18 පොළොවේ බඩ ගා යන සතෙකුගේ හෝ ජලයේ සැරිසරන මත්ස්‍යයෙකුගේ+ හෝ හැඩයටවත් කිසි රූපයක් සාදා නොගන්න. 19 ඉර, හඳ, තාරකා හා වෙනත් ආකාශ වස්තූන් දෙස බලා ඒවා ඉදිරියේ වැඳ වැටී නමස්කාර නොකරන්න.+ ඒ සියල්ල මිනිසාගේ ප්‍රයෝජනය පිණිස යෙහෝවා දෙවි සෑදූ බව අමතක නොකරන්න.+ 20 යකඩ ගිනි උදුනක්+ හා සමාන වූ ඊජිප්තු දේශයෙන් ඔබව නිදහස් කළේ යෙහෝවා දෙවි බව මතක තබාගන්න. දෙවි එසේ කළේ ඔබව දෙවිට පමණක් අයිති වූ විශේෂ සෙනඟක්+ ලෙස වෙන් කිරීමටයි.
21 “ඔබේ පියවරුන් නිසා මා අතින් සිදු වූ වරදට,+ යෙහෝවා දෙවි මා සමඟ උදහස් වී යොර්දාන් ගඟෙන් එගොඩ වෙන්න මට ඉඩ නොදෙන බව දිවුරා පැවසුවා. ඒ නිසා, ඔබේ දෙවි වන යෙහෝවා ඔබට උරුම කර දෙන ඒ සරුසාර දේශයට පය තබන්න මට ඉඩ ලැබෙන්නේ නැහැ.+ 22 අපි දැන් සිටින මේ දේශයේදීම මම මිය යනවා.+ මට යොර්දාන් ගඟෙන් එගොඩ වෙන්න නොලැබුණත් ඔබ හැමෝම අනිවාර්යයෙන්ම ගඟෙන් එගොඩ වී ඒ සරුසාර දේශය අයිති කරගන්නවා. 23 යෙහෝවා දෙවි ඔබ සමඟ ඇති කරගත් ගිවිසුම කිසිවිටෙකත් අමතක නොකිරීමට වගබලා ගන්න.+ යෙහෝවා දෙවි ඔබට අණ කළ ලෙස කොයිම හැඩයකින්වත් දේවතා රූප සාදා නොගන්න.+ 24 මන්ද ඇවිළෙන ගින්නක් හා සමාන වූ ඔබේ දෙවි වන යෙහෝවා+ වෙනත් දෙවිවරුන්ට කරන නමස්කාරය දැඩි ලෙස හෙළාදකිනවා.+
25 “ඔබට දරු මුනුපුරන් ලැබී දේශයේ බොහෝ කල් ජීවත් වූ පසු ඔබ යෙහෝවා දෙවිව අත්හැර දුෂ්ට ලෙස ක්‍රියා කරමින්+ රූපයක් සෑදුවොත්+ ඔබේ දෙවි ඔබ සමඟ උදහස් වෙයි.+ 26 ස්වර්ගයේ හා පොළොවේ ජීවත් වන සියලුදෙනා මා දැන් මේ කියන්න යන දේට සාක්ෂිකරුවන්.+ ඔබ දෙවිව එසේ උදහස් කළොත් යොර්දාන් ගඟෙන් එගොඩ තිබෙන දේශයේ වැඩි කල් ජීවත් වෙන්න නම් ඔබට ලැබෙන්නේ නැහැ. ඔබ දේශයෙන් නැත්තටම නැති වී යයි.+ 27 යෙහෝවා දෙවි ඔබව ඒ දේශයෙන් පන්නා දමා විවිධ ජාතීන් අතරට විසුරුවාහරියි.+ යෙහෝවා දෙවි ඔබව ඒ ජාතීන් අතට පත් කළ විට ඔබෙන් ඉතුරු වන්නේ ඉතා සුළු+ පිරිසක් පමණයි. 28 එවිට ඔබට සිදු වන්නේ, අහන්න දකින්න බැරි, කන්න බොන්න බැරි, ගඳ සුවඳ දැනෙන්නේ නැති+ ලීවලින් හා ගල්වලින් තැනූ+ ඒ ජාතීන්ගේ දෙවිවරුන්ට සේවය කරන්නයි.+
29 “නමුත් ඔබ ඒ තත්වයේ සිටියදී අවංකවම ඔබේ දෙවි වන යෙහෝවා වෙතට හැරී+ ඔබේ මුළු හදවතින්ම ඔහුගේ මඟ පෙන්වීම් පැතුවොත් ඔබට නැවතත් ඔහුට ළං වීමට හැකි වෙයි.+ 30 මා ඔබට අනතුරු අඟවමින් පැවසූ මේ සියලු දේවල් ඉටු වී ඔබට බොහෝ දුෂ්කරතා විඳින්න සිදු වෙද්දී, නැවත ඔබේ දෙවි වන යෙහෝවා වෙතට හැරී+ ඔහුගේ හඬට සවන් දෙන්න+ ඔබ පෙලඹෙයි. 31 ඇත්තෙන්ම ඔබේ දෙවි වන යෙහෝවා දයාවන්ත දෙවි කෙනෙක්.+ ඔහු කිසිදා ඔබව අත්හරින්නේවත් විනාශ වී යන්න ඔබට ඉඩහරින්නේවත් නැති බව මතක තබාගන්න. ඔබේ මුතුන්මිත්තන් සමඟ ඔහු ඇති කරගත් ගිවිසුමත්+ ඔහු කිසිදා අමතක කරන්නේ නැහැ.
32 “දැන් ටිකක් මේ ගැන කල්පනා කර බලන්න.+ දෙවි මිනිසාව සාදා මේ පොළොවේ පදිංචි කළ දා පටන්+ මේ දක්වා අහස යට කිසිම තැනක මේ තරම් පුදුම දේවල් සිදු වී ඇද්ද? එවැනි දේවල් ගැන ඔබ මීට කලින් අසා තිබෙනවාද?+ 33 ගින්නක් තුළින් දෙවිගේ හඬට සවන් දෙන්න ඔබට හැකි වුණා. ඒ හඬ ඇසුණත් ඔබ මිය ගියේ නැහැ. වෙනත් කිසිම ජාතියක් එවැනි අද්දැකීමක් ලබා තිබෙනවාද?+ 34 ඒ වගේම ඔබේ දෙවි වන යෙහෝවා ඔහුගේ මහත් බලය+ යොදාගෙන+ පුදුමසහගත ක්‍රියා+ හා ආශ්චර්යයන්+ සිදු කරමින් ඔබ වෙනුවෙන් සටන් කළා.+ ඔහු පුදුමසහගත භයානක දේවල්+ කර ඊජිප්තුවෙන් ඔබව නිදහස් කළා. දෙවි වෙනත් කිසිම ජාතියක් වෙනුවෙන් එවැනි දේවල් කර තිබෙනවාද?+ 35 යෙහෝවා දෙවි එවැනි දේවල් කළේ තමන් සැබෑ දෙවි බව ඔබට අවබෝධ කර දෙන පිණිසයි.+ ඇත්තෙන්ම අපේ දෙවි හැර වෙන කිසි දෙවි කෙනෙක් නැහැ.+ 36 දෙවි ස්වර්ගයේ සිට ඔබ සමඟ කතා කර ඔබට අවශ්‍ය හික්මවීම් ලබා දුන්නා. ඇවිළෙන ගින්නක් තුළින්ද ඔහු ඔබ සමඟ කතා කළා.+
37 “දෙවි ඔබේ මුතුන්මිත්තන්ට බොහෝ සෙයින් ප්‍රේම කළා. ඔවුන්ගෙන් පැවතෙන්නන්ව ඔහුගේ සෙනඟ වශයෙන් තෝරා+ ඔහුගේ මහත් බලයෙන්+ ඔවුන්ව ඊජිප්තුවෙන් නිදහස් කළේ ඒ නිසයි. 38 ඔබට වඩා බලවත් ජාතීන්ව පන්නා දමා ඔවුන්ගේ දේශය ඔබට උරුමයක් ලෙස ලබා දුන්නෙත් ඒ නිසයි.+ 39 යෙහෝවා දෙවි සැබෑ දෙවි බවත් ස්වර්ගයේ හෝ පොළොවේ හෝ ඔහු හැර වෙන කිසි දෙවි කෙනෙක් නැති බවත්+ ඔබ හොඳින් දන්නවා. ඒ කාරණය නිතරම ඔබේ සිතේ තබාගත යුතුයි.+ 40 අද මම ඔබට කියා දෙන දෙවිගේ අණපනත්+ හා නියෝග ඔබ පිළිපැදිය යුතුයි.+ එසේ කළොත් ඔබටත් ඔබේ දරුවන්ටත් බොහෝ ආශීර්වාද ලැබී ඔබේ දෙවි වන යෙහෝවා ඔබට හිමි කර දෙන දේශයේ බොහෝ කල් ජීවත් වෙන්න ඔබට හැකි වෙයි.”+
41 මේ දේවල් පැවසීමෙන් පසුව මෝසෙස් යොර්දාන් ගඟට නැඟෙනහිර දෙසින් පිහිටි නුවරවල් තුනක් වෙන් කර තැබුවේය.+ 42 ඔහු එම නුවරවල් වෙන් කළේ යමෙකු අතින් සිදු වූ අත්වැරදීමක් නිසා කෙනෙකු මිය ගියොත්+ මිය ගිය පුද්ගලයා සමඟ කිසි අමනාපයකින් නොසිටි+ වරදකරුට පලා ගොස් ජීවිතය බේරාගැනීමට හැකි වන පිණිසය.+ 43 ඒ නුවරවල් තුන මේවාය. බෙෂෙර්+ නමින් හැඳින්වූ පළමුවන නුවර වෙන් කර තිබුණේ රූබෙන්වරුන් සඳහාය. එය පාළුකරයේ උස් තැනිතලාවක පිහිටා තිබිණ. ගාද්වරුන් සඳහා වෙන් කර තිබූ නුවර වූයේ ගිලියද් දේශයේ පිහිටි රාමොත්ය.+ මනස්සේ+ ගෝත්‍රයේ අය සඳහා බාෂාන් දේශයේ පිහිටි ගෝලාන්+ නම් නුවර වෙන් කරන ලදි.
44 ඉන්පසුව මෝසෙස් ඊශ්‍රායෙල්වරුන්ට නීති+ මාලාව පිළිබඳ විස්තර කියා දීමට සූදානම් විය. 45 ඊජිප්තුවෙන් නිදහස් වී ආ ඊශ්‍රායෙල්වරුන්ට මෝසෙස් ඒ සිහිගැන්වීම්,+ නියෝග+ සහ තීන්දු+ කියා දුන්නේය. 46 ඒ කාලයේදී ඊශ්‍රායෙල්වරුන් කඳවුරු බැඳගෙන සිටියේ යොර්දාන් ගඟ අසල පිහිටි බෙත්-පෙයෝර්+ කන්ද ඉදිරිපිට තිබෙන නිම්නයේය. එම ප්‍රදේශය හෙෂ්බොන්හි+ ජීවත් වූ අමෝරිවරුන්ගේ රජු වූ සීහොන්ට අයිතිව තිබුණත් මෝසෙස් සහ ඊශ්‍රායෙල් සෙනඟ ඔහු සමඟ සටන් කර ඔහුව පරාජයට පත් කළෝය.+ 47 සීහොන්ට අයිති වූ දේශයද බාෂාන්හි රජු වූ ඕග්ට+ අයිති වූ දේශයද ඔවුහු අල්ලාගත්තෝය. යොර්දාන් ගඟට නැඟෙනහිරින් ජීවත් වූ අමෝරිවරුන්ගේ එම රජවරුන් දෙදෙනාට අයිති වූ මුළු ප්‍රදේශයම ඔවුහු යටත් කරගත්තෝය. 48 එම ප්‍රදේශය ආනොන් ඔයේ එක් ඉවුරක පිහිටි අරෝයේර්+ නුවරෙන් ඇරඹී සයොන් කන්ද එනම්, හෙර්මොන්+ කන්ද දක්වාම විහිදී යයි. 49 යොර්දාන් ගඟට නැඟෙනහිරින් පිහිටි දේශය ඇතුළුව මහ අරබා+ නිම්නයට අයිති මුළු ප්‍රදේශයද ඊට අයත් වෙයි. එය අරබා මුහුද+ අසල පිහිටි පිස්ගා+ කන්ද පාමුල දක්වාම විහිදී යයි.