යොෂුවා
6 යෙරිකෝවේ වැසියන් ඊශ්‍රායෙල්වරුන්ට බියෙන් සිටි නිසා නගරයේ ආරක්ෂාව තර කර තිබිණ. එහෙයින් නගරයට ඇතුල් වෙන්නත් එයින් පිට වී යන්නත් කාටවත් නොහැකි විය.+
2 යෙහෝවා දෙවි යොෂුවාට මෙසේ කීවේය. “මම යෙරිකෝවත් එහි රජුවත් එහි බලවත් හමුදාවත් ඔබේ අතට පත් කරන්නෙමි.+ 3 ඔබේ මුළු හමුදාවම දවසට එක් වරක් ඒ නගරය වටා ගමන් කළ යුතුයි. ඔබ එලෙස දවස් හයක් ගමන් කරන්න. 4 ගිවිසුම් පෙට්ටිය ඔසවාගෙන යන පූජකයන්ට ඉදිරියෙන් තවත් පූජකයන් හත්දෙනෙකු හොරණෑ* හතක් රැගෙන යා යුතුයි. හත්වන දවසේදී ඔබ ඒ නගරය වටා හත් වරක් ගමන් කරන්න. ඒ අතරතුර පූජකයන් තම හොරණෑ පිඹිය යුතුයි.+ 5 හත්වන වරට හොරණෑ පිඹින ශබ්දය ඇසුණු විට හමුදා භටයන් සියලුදෙනා එක හඬින් මහත් ඝෝෂාවක් නැඟිය යුතුයි.+ එවිට නගරයේ පවුරු බිමට කඩා වැටෙයි.+ ඉන්පසු ඔවුන් සියලුදෙනාම කිසි භයක් නැතුව නගරයට ඇතුල් විය යුතුයි.”
6 එවිට නූන්ගේ පුත් යොෂුවා පූජකයන්ව+ කැඳවා ඔවුන්ට මෙසේ කීවේය. “ගිවිසුම් පෙට්ටිය+ රැගෙන යෑමට සූදානම් වෙන්න. යෙහෝවා දෙවිගේ ගිවිසුම් පෙට්ටිය+ ඔසවාගෙන යන පූජකයන්ට ඉදිරියෙන් තවත් පූජකයන් හත්දෙනෙකු හොරණෑ රැගෙන යා යුතුයි.” 7 පසුව යොෂුවා හමුදා භටයන්ට මෙසේ කීවේය. “ඔබ සියලුදෙනා නගරය වටා ගමන් කරන්න. යෙහෝවා දෙවිගේ ගිවිසුම් පෙට්ටිය ඔසවාගෙන යන පූජකයන්ට ඉදිරියෙන් යුධ සේනාව+ යා යුතුයි.” 8 ඔවුහු යොෂුවා පැවසූ ලෙසම කළෝය. හොරණෑ හතක් රැගත් පූජකයෝ හත්දෙනෙක් යෙහෝවා දෙවිගේ ගිවිසුම් පෙට්ටියට ඉදිරියෙන් ගමන් කළෝය. මෙසේ ඔවුහු තම හොරණෑ පිඹිමින් යෙහෝවා දෙවිට ඉදිරියෙන් ගමන් කළෝය. 9 හොරණෑ පිඹිමින් ගිය පූජකයන්ට ඉදිරියෙන් යුධ සේනාව ගමන් කළෝය. ගිවිසුම් පෙට්ටියට පිටුපසින් තවත් යුධ සේනාවක්+ හොරණෑ හඬ මැද ගමන් කළෝය.
10 යොෂුවා හමුදා භටයන්ට මේ ආඥාව දී තිබිණ.+ “‘හඬ නඟා කෑගසන්න’ කියා මම ඔබට පවසන දවස පැමිණෙන තෙක් නිහඬව සිටින්න. එම දවස පැමිණි විට මහත් හඬින් ඔබ සියලුදෙනාම කෑගැසිය යුතුයි.”+ 11 යොෂුවාගේ අණ පරිදි යෙහෝවා දෙවිගේ ගිවිසුම් පෙට්ටිය නගරය වටා එක වතාවක් ගෙන යනු ලැබීය. ඉන්පසු ඔවුහු කඳවුරට ගොස් එහි රාත්‍රිය ගත කළෝය.
12 යොෂුවා පසුවදා උදෑසනින්ම අවදි වී+ යෙහෝවා දෙවිගේ ගිවිසුම් පෙට්ටිය ඔසවාගෙන+ යන පූජකයන්ව පිටත් කර යැව්වේය. 13 යෙහෝවා දෙවිගේ ගිවිසුම් පෙට්ටිය ඔසවාගෙන ගිය පූජකයන්ට ඉදිරියෙන් තවත් පූජකයන් හත්දෙනෙක් හොරණෑ හතක් පිඹිමින් ගමන් කළෝය. ඒ පූජකයන් හත්දෙනාට ඉදිරියෙන් යුධ සේනාවක් ගමන් කළ අතර යෙහෝවා දෙවිගේ ගිවිසුම් පෙට්ටිය ඔසවාගෙන ගිය පූජකයන්ට පිටුපසින් තවත් යුධ සේනාවක් හොරණෑ හඬ මැද ගමන් කළෝය.+ 14 ඔවුහු දෙවන දවසේද නගරය වටා එක වතාවක් ගමන් කර නැවත කඳවුරට පැමිණියෝය. දවස් හයක් ඔවුහු එලෙස කළෝය.+
15 නමුත් හත්වන දවසේදී එළිය වැටුණු විගස ඔවුහු අවදි වී නගරය වටා හත් වතාවක් ගියෝය. මේ හත් වතාවේදීම ඔවුන් ගමන් කළේ කලින් දවස්වලදී ගමන් කළ ආකාරයටමය.+ 16 හත්වන වටයේදී පූජකයන් හොරණෑ පිඹින විට යොෂුවා හමුදා භටයන්ට මෙසේ කීවේය. “දැන් ශබ්ද නඟා කෑගසන්න.+ යෙහෝවා දෙවි මේ නගරය ඔබේ අතට භාර දී තිබෙනවා.+ 17 මුළු නගරයත් එහි ඇති සියල්ලත් විනාශ කිරීමට නියම කර තිබෙනවා.*+ ඒත් රාහබ්+ නම් ගණිකාව අපේ ඔත්තුකාරයන්ව ආරක්ෂා කළ නිසා ඇයවයි ඇගේ ගෙයි වැසියන්වයි විනාශ කරන්න එපා.+ මේ නගරය හා එහි තිබෙන සෑම දෙයක්ම දැන් අයිති යෙහෝවා දෙවිටයි. 18 විනාශ කිරීමට නියම කර තිබෙන කිසිම දෙයකට අතවත් තියන්න එපා.+ එසේ කළොත් ඒ දේවලට ආශාවක් ඔබ තුළ ඇති වෙයි.+ එවිට ඒවා ඔබ සතු කරගන්න ඔබ පෙලඹිය හැකියි.+ එය අපිට ශාපයක් විතරක් නෙමෙයි මුළු ඊශ්‍රායෙල් ජාතියේම විනාශයට හේතු විය හැකියි.+ 19 නමුත් ඒ නගරයේ තිබෙන රන්, රිදී, තඹ සහ යකඩවලින් සෑදූ භාණ්ඩ සියල්ල යෙහෝවා දෙවිට කැප කළ යුතුයි.+ ඒවා යෙහෝවා දෙවිගේ භාණ්ඩාගාරයේ තැන්පත් කළ යුතුයි.”+
20 පූජකයෝ තම හොරණෑ පිම්බෝය. එය ඇසුණු සැණින් හමුදා භටයෝ ශබ්ද නඟා කෑගැසුවෝය.+ සියලුදෙනාම එක හඬින් මහත් ඝෝෂාවක් නැඟුවෝය. එවිට ඒ නගරයේ පවුර බිමට කඩා වැටිණ.+ ඉන්පසු හමුදා භටයෝ කිසි භයක් නැතුව නගරය ඇතුළටම ගොස් එය යටත් කරගත්තෝය. 21 ඔවුහු ඒ නගරයේ සිටි සියලු පුරුෂයන්ටද ස්ත්‍රීන්ටද තරුණ මහලු සියලුදෙනාටද ගොනුන්ටද බැටළුවන්ටද බූරුවන්ටද කඩුවෙන් පහර දී විනාශ කළෝය.+
22 ඒ අතරතුර දේශයේ තොරතුරු බැලීමට ගිය මිනිසුන් දෙදෙනාට යොෂුවා මෙසේ කීවේය. “ඔබට හමු වූ ගණිකාවගේ නිවසට ගොස් ඔබ ඇයට පොරොන්දු වූ ලෙස ඇයවත් ඇගේ ගෙයි වැසියන්වත් පිටතට ගෙනෙන්න.”+ 23 ඒ තරුණයෝ දෙදෙනා රාහබ්ගේ නිවසට ගිය විට ඇය සමඟ ඇගේ පියා සහ මවද ඇගේ සහෝදරයන්ද ඇගේ නෑදෑයන්ද සිටිනවා දුටුවෝය.+ ඔවුහු ඒ සියලුදෙනාවම ඊශ්‍රායෙල් සෙනඟ කඳවුරු බැඳගෙන සිටි ස්ථානයට ගෙනාවෝය.
24 ඔවුහු මුළු නගරයටම ගිනි තැබුවෝය.+ නමුත් ඔවුහු රන්, රිදී, තඹ සහ යකඩවලින් සෑදූ භාණ්ඩ විනාශ නොකර ඒවා යෙහෝවා දෙවිගේ ගෘහයේ තිබෙන භාණ්ඩාගාරයට භාර දුන්නෝය.+ 25 රාහබ් නමැති ගණිකාවද ඇගේ පියාගේ ගෙයි වැසියන්වද ඒ අවස්ථාවේදී ඇගේ නිවසේ රැස්ව සිටි සියලුදෙනාවද යොෂුවා විනාශ නොකළේය.+ යොෂුවා යෙරිකෝවට යැවූ ඔත්තුකරුවන්ව රාහබ් ආරක්ෂා කළ නිසා+ ඇය මේ දක්වාම ඊශ්‍රායෙල් සෙනඟ සමඟ ජීවත් වන්නීය.+
26 පසුව යොෂුවා මේ ශාපය ප්‍රකාශ කළේය. “මේ යෙරිකෝ නගරය නැවත ගොඩනඟන්න උත්සාහ කරන ඕනෑම කෙනෙකු පිට යෙහෝවා දෙවිගේ ශාපය පැමිණේවා! යමෙක් එහි අත්තිවාරම දැමුවොත් ඔහුගේ කුලුඳුල් දරුවාගේ ජීවිතය නැති වෙයි. යමෙක් නුවර දොරටු සෑදුවොත් ඔහුගේ බාල දරුවාගේ ජීවිතය නැති වෙයි.”+
27 යෙහෝවා දෙවි සැමවිටම යොෂුවා සමඟ සිටියේය.+ ඔහුගේ කීර්තිය ලොව පතළ විය.+