ද්විතීය කතාව
31 මෝසෙස් මුළු ඊශ්‍රායෙල් සෙනඟ වෙතට ගොස් 2 ඔවුන්ට මෙසේ පැවසුවේය. “මගේ වයස දැන් අවුරුදු එකසිය විස්සයි.+ මට තවදුරටත් ඔබේ නායකයා හැටියට කටයුතු කරන්න ඉඩ ලැබෙන්නේ නැහැ.+ ‘යොර්දාන් ගඟෙන් එගොඩ වෙන්න ඔබට අවස්ථාවක් නොලැබෙයි’+ කියා යෙහෝවා දෙවි මට පැවසුවා. 3 නමුත් යෙහෝවා දෙවි අනිවාර්යයෙන්ම ඔබ සමඟ සිටිනවා. ඔබ ගඟෙන් එගොඩ වෙද්දී දෙවි ඔබ ඉදිරියෙන්ම ගමන් කරයි.+ දේශයේ වාසය කරන ජාතීන්ව නැති කර දමන්නේ ඔහුයි. එමනිසා ඔබට හැකි වෙයි ඔවුන්ව සම්පූර්ණයෙන්ම පන්නා දමන්න.+ එගොඩ වෙද්දී ඔබේ නායකයා ලෙස කටයුතු කරන්නේ යොෂුවායි.+ ඔහුව පත් කර තිබෙන්නේ යෙහෝවා දෙවියි. 4 යෙහෝවා දෙවි අමෝරිවරුන්ගේ රජවරුන් වූ සීහොන්ට+ සහ ඕග්ට+ මෙන්ම ඔවුන්ගේ දේශයට කළ දේ ඔබට මතක ඇති. ඔහු මේ දේශයේ සිටින ජාතීන්ට කරන්නෙත් ඒ දේමයි.+ 5 යෙහෝවා දෙවි ඔබේ අතටම ඔවුන්ව හසු කර දෙයි.+ මා ඔබට කී ලෙසම ඔවුන්ට විරුද්ධව පියවර ගන්න.+ 6 ඒ සඳහා ධෛර්යවත් වන්න.+ කිසි දෙයකට භය වෙන්න එපා.+ මන්ද ඔබේ දෙවි වන යෙහෝවා ඔබ සමඟයි. ඔබ වෙනුවෙන් සටන් කරන ඔහු කිසි දවසක ඔබව තනි කරන්නේවත් අත්හැර යන්නේවත් නැහැ.”+
7 ඉන්පසු මෝසෙස් යොෂුවාව තමන් ළඟට කැඳවා මුළු ඊශ්‍රායෙල් සෙනඟ ඉදිරියේ ඔහුට මෙසේ පැවසීය. “ධෛර්යවත් වී එඩිතරව සිටින්න.+ යෙහෝවා දෙවි අපේ මුතුන්මිත්තන්ට දෙන්න පොරොන්දු වූ දේශයට මේ සෙනඟව ගෙන යන්නේ ඔබයි. ඒ දේශය උරුමයක් ලෙස ඔවුන්ට බෙදා දෙන්නෙත් ඔබයි.+ 8 කිසි දෙයකට භය වෙන්න එපා.+ යෙහෝවා දෙවි ඔබ සමඟයි.+ ඔහු ඔබ වෙනුවෙන් සටන් කරයි. ඔහු කිසි දවසක ඔබව තනි කරන්නේවත් අත්හැර යන්නේවත් නැහැ.”
9 මෝසෙස් දෙවිගේ නීතියේ සඳහන් සියලු දේ ලියා+ එය යෙහෝවා දෙවිගේ ගිවිසුම් පෙට්ටිය උසුලාගෙන යන+ ලෙවී ගෝත්‍රයට අයත් පූජකයන්ටත්+ ඊශ්‍රායෙල්හි සියලුම වැඩිමහල්ලන්ටත් භාර දුන්නේය. 10 මෝසෙස් ඔවුන්ට මෙසේ අණ කළේය. “සෑම අවුරුදු හතකට වරක් පැමිණෙන සහන අවුරුද්දේදී+ ඔබ කළ යුත්තේ මෙයයි. ඒ අවුරුද්දේ පැල් උත්සවය+ පවත්වන කාලයේදී, 11 මුළු ඊශ්‍රායෙල් සෙනඟ යෙහෝවා දෙවි තෝරාගන්නා ස්ථානයට+ රැස් වී ඔහු ඉදිරියේ පෙනී සිටිය යුතුයි.+ එසේ රැස් වන මුළු ඊශ්‍රායෙල් සෙනඟටම ඇසෙන සේ ඔබ මේ නීතිය කියවිය යුතුයි.+ 12 ඒ අවස්ථාව සඳහා දේශයේ වාසය කරන සියලුම පුරුෂයන්, ස්ත්‍රීන්, කුඩා දරුවන් මෙන්ම ඔබ සමඟ ජීවත් වන විදේශිකයන්ද රැස් විය යුතුයි.+ එවිට නීතියට සවන් දෙන්නත් එය හොඳින් ඉගෙනගන්නත්+ ඔවුන් සියලුදෙනාටම හැකි වෙයි. එසේ කිරීමෙන් යෙහෝවා දෙවිට ගරුබිය දක්වන්නත්+ මේ නීතියේ සඳහන් සියලු දේ හොඳින් පිළිපදින්නත් ඔවුන් පුරුදු වෙයි. 13 එසේම නීතියේ සඳහන් දේවල් ගැන අවබෝධයක් නැති ඔවුන්ගේ දරුවන්ටත් ඒවාට සවන් දෙන්න අවස්ථාවක් ලැබෙයි.+ මන්ද ඔබ යොර්දාන් ගඟෙන් එගොඩ වී හිමි කරගන්නා දේශයේ ජීවත් වන තාක් කල් යෙහෝවා දෙවිට ගරුබිය දක්වන්න ඔවුන් ඉගෙනගත යුතුයි.”+
14 පසුව යෙහෝවා දෙවි මෝසෙස්ට මෙසේ පැවසීය. “ඔබ තව වැඩි කලක් ජීවත් වන්නේ නැත.+ එහෙයින් යොෂුවාව නායකයා ලෙස පත් කළ යුතුයි. ඔහුව රැගෙන සම්මුඛ වීමේ කූඩාරමට එන්න.”+ මේ අනුව මෝසෙස් යොෂුවා සමඟ ගොස් සම්මුඛ වීමේ කූඩාරම අසල සිටගත්තේය.+ 15 එවිට යෙහෝවා දෙවිගේ තේජස වලා ටැඹක් සේ කූඩාරම අසල දක්නට ලැබිණ. ඒ වලා ටැඹ දක්නට තිබුණේ කූඩාරමට ඇතුල් වන ස්ථානයෙහිමය.+
16 ඒ අවස්ථාවේදී යෙහෝවා දෙවි මෝසෙස්ට මෙසේ පැවසීය. “තව කෙටි කලකින් ඔබේ මුතුන්මිත්තන් මෙන් ඔබත් මිය යනු ඇත.+ ඔබේ මරණයෙන් පසු මේ ජාතිය අනිවාර්යයෙන්ම මාව අත්හැර+ මා සමඟ ඇති කළ ගිවිසුමද කඩ කරන්නෝය.+ ඔවුහු තමන් යන දේශයේ ජීවත් වන මිනිසුන් අදහන බොරු දෙවිවරුන්ව අදහමින් සියල්ලන් ඉදිරියේ ඉතා පිළිකුල්සහගත දේවල් කරන්නෝය.+ 17 එවිට මාගේ උදහස ඔවුන්ට විරුද්ධව ඇවිළෙයි.+ මම ඔවුන්ව අත්හැර+ ඔවුන්ගෙන් ඈත්ව සිටින්නෙමි.+ බොහෝ ආපදා හා විපත්වලට මුහුණ දෙන ඔවුහු විනාශ වී යනු ඇත.+ එවිට, ‘අප මේ විපත්වලට මුහුණ දෙන්නේ අපගේ දෙවි අපව අත්හැරිය නිසයි’+ කියා ඔවුහු පවසන්නෝය. 18 ඒ කාලයේදී ඔවුන් වෙනත් දෙවිවරුන්+ පසුපස ගොස් බොහෝ දුෂ්ටකම් කරන නිසා මම ඔවුන්ට කිසි ලෙසකින්වත් පිහිට නොවන්නෙමි.
19 “දැන් මා කියන මේ ගීතය ලියාගෙන+ ඊශ්‍රායෙල්වරුන්ට උගන්වන්න.+ ඔවුන්ට එය කටපාඩම් කරන්න කියා පවසන්න. එවිට මේ ගීතය ඊශ්‍රායෙල්වරුන්ට විරුද්ධව සාක්ෂි දෙයි.+ 20 ඔවුන්ගේ මුතුන්මිත්තන්ට මා පොරොන්දු වූ+ ලෙස කිරියෙන් හා පැණියෙන් ඉතිරී යන ඒ දේශයට+ මම සැබවින්ම ඔවුන්ව ගෙන යන්නෙමි. ඔවුහුද හොඳින් කා බී+ තෘප්තිමත් ජීවිතයක් ගත කරන්නෝය.+ නමුත් තෘප්තියට පත් වූ පසු ඔවුහු මාව අමතක කර වෙනත් දෙවිවරුන් පසුපස යන්නෝය.+ මා සමඟ ඇති කරගත් ගිවිසුම කඩ කර මට අගෞරව කරනු ඇත.+ 21 මම තවමත් ඔවුන්ට පොරොන්දු වූ දේශයට ඔවුන්ව රැගෙන ගියේ නැත. නමුත් මේ වන විටත් ඔවුන් තුළ නුසුදුසු ආකල්ප+ වර්ධනය වන ආකාරය මට පෙනේ. ඒ නිසා ඔවුනුත් ඔවුන්ගේ දරුදැරියනුත් මේ ගීතයේ වචන අමතක නොකළ යුතුයි. අකීකරුකම හේතුවෙන් ඔවුන් බොහෝ දුක් පීඩා හා විපත්වලට මුහුණ දෙන විට+ මේ ගීතයේ වචන ඔවුන්ට මතක් වනු ඇත.”
22 මෝසෙස් ඒ ගීතය ඊශ්‍රායෙල්වරුන්ට කියා දීමේ අදහසින් එහි පද මාලාව ලියාගත්තේය.+
23 ඉන්පසුව දෙවි නූන්ගේ පුත් යොෂුවාව+ නායකයා ලෙස පත් කර ඔහුට මෙසේ පැවසීය. “ධෛර්යවත් වන්න. එඩිතරව සිටින්න.+ මා ඊශ්‍රායෙල්වරුන්ට දෙන්න පොරොන්දු වූ දේශයට ඔවුන්ව ගෙන යන්නේ ඔබයි.+ මම නිතරම ඔබ සමඟ සිටින්නෙමි.”
24 මෝසෙස් දෙවිගේ නීතිය සම්පූර්ණයෙන්ම ලියා අවසන් කළ පසු,+ 25 යෙහෝවා දෙවිගේ ගිවිසුම් පෙට්ටිය උසුලාගෙන යන ලෙවීවරුන්ට මෙසේ අණ කළේය.+ 26 “නීතිය සඳහන් මෙම ලියවිල්ල ගෙන+ යෙහෝවා දෙවිගේ ගිවිසුම් පෙට්ටිය ළඟින්ම තබන්න.+ එය ඔබට විරුද්ධව සාක්ෂියක් වෙයි.+ 27 ඔබ නම් ඉතා මුරණ්ඩු+ කැරලිකාර+ සෙනඟක්! එය මම හොඳින්ම අවබෝධ කරගෙන තිබෙනවා. මා ජීවත්ව සිටින කාලයේදීත් ඔබ යෙහෝවා දෙවිට විරුද්ධව කැරලිගසනවා නම්+ මගේ මරණයෙන් පසු ඊටත් වඩා කොයි තරම් කැරලිගසයිද? 28 දැන් ඔබේ ගෝත්‍රවල ප්‍රධානීන් සහ සියලුම අධිපතීන් මා ළඟට රැස් කරන්න.+ මම මේ ගීතයේ සියලු වචන ඔවුන්ට කියා දෙන්නම්. මා පවසන දේට ස්වර්ගයේ හා පොළොවේ වාසය කරන සියලුදෙනාම සාක්ෂිකරුවන් වෙයි.+ 29 මා මිය ගියායින් පසු ඔබ ස්ථිර වශයෙන්ම මා ඔබට දුන් මඟ පෙන්වීම් නොසලකාහැර පිළිකුල්සහගත දේවල් කරයි කියා මම දන්නවා.+ ඒ නිසා ඉදිරි අනාගතයේදී බොහෝ දරුණු විපත්වලට+ මුහුණ දෙන්න ඔබට සිදු වෙයි. එසේ සිදු වන්නේ ඔබ යෙහෝවා දෙවිව උදහස් කර ඔහුට අප්‍රසන්න දේවල් නිතරම කරන නිසයි.”+
30 එවිට මෝසෙස් මෙම ගීතයේ සම්පූර්ණ පද මාලාව මුළු ඊශ්‍රායෙල් සමූහයට ඇසෙන්න කියෙව්වේය. එම ගීතයේ පද මාලාව මතු දැක්වේ.+