94 දුෂ්ටයන්ට දඬුවම් දීමට අයිතිය ඇති යෙහෝවා දෙවියනි,+
යුක්තිය ඉටු කරන දෙවියනි, ඔබේ ආලෝකය විහිදුවන්න.+
2 පොළොව විනිශ්චය කරන තැනැත්තාණෙනි, නැඟී සිට+
උඩඟු අයට දඬුවම් කරන්න.+
3 යෙහෝවා දෙවියනි, තව කොපමණ කාලයක් දුෂ්ටයන් සතුටින් සිටිනු ඇද්ද?+
අනේ දෙවියනි, තව කොපමණ කල් ඔවුන් මෙසේ සතුටු වනු ඇද්ද?+
4 ඔවුහු දිගින් දිගටම කතා කරති. තොරතෝංචියක් නැතුව දොඩවති.+
නපුරු ක්‍රියා කරන්නෝ තමන් ගැනම උජාරුවෙන් කතා කරති.+
5 යෙහෝවා දෙවියනි, ඔබේ සෙනඟව ඔවුහු පොඩි කර දමති.+
ඔබේ උරුමය වන ඔවුන්ට දිගින් දිගටම හිරිහැර කරති.+
6 වැන්දඹුවන්වද විදේශිකයන්වද මරා දමති.+
පියා නැති දරුවන්වද මරණයට පත් කරති.+
7 “යෙහෝවා දෙවිට මේ දේවල් පෙනෙන්නේ නැහැ.+
යාකොබ්ගේ දෙවි මේ දේවල් ගැන දන්නේ නැහැ” කියා ඔවුහු පවසති.+
8 මාගේ සෙනඟ අතරේ සිටින අඥානයෙනි, තේරුම්ගන්න.+
අනුවණයෙනි, කවදා ඔබ මේ දේ වටහාගනු ඇද්ද?+
9 කන් සෑදූ තැනැත්තාට මේ දේවල් ඇසෙන්නේ නැද්ද?+
දෑස් සෑදූ තැනැත්තාට මේ දේවල් පෙනෙන්නේ නැද්ද?+
10 ජාතීන්ව හික්මවන,+ මිනිසුන්ට දැනුම ලබා දෙන තැනැත්තාට
ඔවුන්ව නිවැරදි කළ නොහැකිද?+
11 මිනිසුන්ගේ සිතුවිලි යෙහෝවා දෙවි දන්නේය. ඒවා කොතරම් නිරර්ථකද කියාත් ඔහු දන්නේය.+
12 යෙහෝවා දෙවියනි, ඔබෙන් හික්මවීම් ලබන තැනැත්තා සන්තෝෂවත්ය.+
ඔබේ නීතිය ගැන ඔබ උගන්වන තැනැත්තා සන්තෝෂවත්ය.+
13 ඔබ දුෂ්ටයන්ව ඇද දැමීමට වළක් හාරන තෙක්,+
පැමිණෙන විපත්තිවලට සන්සුන්ව මුහුණ දීමට ඔහුට හැකි වන පිණිස ඔබ එසේ කරන්නෙහිය.+
14 යෙහෝවා දෙවි ඔහුගේ සෙනඟව අත් නොහරින්නේය.+
තම උරුමය වූ ඔවුන්ව ඉවත නොදමන්නේය.+
15 ධර්මිෂ්ඨ ලෙස තීන්දු දෙන කාලයක් නැවත පැමිණෙන්නේය.+
අවංක සිත් ඇති සියල්ලෝ ඒවා පිළිගන්නෝය.
16 මා වෙනුවෙන් අපරාධකරුවන්ට විරුද්ධව නැඟී සිටින්නේ කවුද?+
නපුරු ක්‍රියා කරන්නන්ට විරුද්ධ වීමට මාගේ පැත්තේ සිටින්නේ කවුද?+
17 යෙහෝවා දෙවි මට උපකාර නොකළේ නම්+
මේ වන විටත් මා සදහටම නිහඬ වී හමාරය.+
18 “මාගේ පය ලිස්සන්න ආසන්නයි” කියා මා සිතුවත්+
යෙහෝවා දෙවියනි, ඔබේ ඉමහත් ප්‍රේමය නිසා ඔබ මට වැටෙන්න ඉඩ නොදුන්නෙහිය.+
19 මාගේ සිත නොසන්සුන් වූ විට+
ඔබේ ඉමහත් ප්‍රේමය මට සැනසීමක් විය.+
20 දුෂ්ට අරමුණක් ඇතුව නීති පනවන+
දූෂිත පාලකයන්ට ඔබ සමඟ මිත්‍රත්වයක් ඇති කරගත හැකිද?+
21 ඔවුහු ධර්මිෂ්ඨයාට දරුණු ලෙස පහර දෙන්නෝය.+
නිර්දෝෂ තැනැත්තෙකුගේ ලේ වැගිරවීමේ අරමුණ ඇතුව ඔහුව දුෂ්ටයෙකු ලෙස තීන්දු කරන්නෝය.+
22 නමුත් මාගේ දෙවි වූ යෙහෝවා මට උස් බලකොටුවක් මෙනි.+
ආරක්ෂාව සලසා දෙන පර්වතයක් මෙනි.+
23 ඔවුන් කළ නපුරු දේවල් දෙවි ආපසු ඔවුන් පිටටම පමුණුවන්නේය.+
ඔවුන් අන් අයට ගෙනා විපත්ති ඔවුන්ටම අද්දකින්න සලස්වා දෙවි ඔවුන්ව නිහඬ කරන්නේය.+
එසේය, අපේ දෙවි යෙහෝවා ඔවුන්ව නිහඬ කරන්නේය.+