යෝවෙල්
1 යෙහෝවා දෙවි පෙතුයෙල්ගේ පුත් යෝවෙල් මාර්ගයෙන් දුන් පණිවිඩය මෙයයි.+
2 “වැඩිමහල්ලෙනි, දේශයේ සියලු වැසියෙනි, මා පැවසීමට යන මේ දේ සිතට ගන්න.+ මෙවැනි දෙයක් ඔබේ ජීවිත කාලයේදී හෝ ඔබේ මුතුන්මිත්තන්ගේ කාලයේදී හෝ සිදු වී ඇද්ද?+ 3 මා පවසන දේ ගැන ඔබේ පුත්‍රයන්ට දන්වන්න. පසුව ඔවුන් තම පුත්‍රයන්ටත් එම පුත්‍රයන් ඊළඟ පරම්පරාවටත් ඒ ගැන දැන්විය යුතුය.+ 4 දළඹුවා කා, කෙතේ ඉතුරු කළ දේ පළඟැටියා කා දැමුවේය.+ පළඟැටියා ඉතුරු කළ දේ පිලවා කා දැමුවේය. පිලවා ඉතුරු කළ දේ කැරපොත්තා කා දැමුවේය.+
5 “බේබද්දෙනි, අවදි වන්න.+ හඬා වැලපෙන්න.+ වයින් බීමට ලොල් වූ සියල්ලෙනි,+ මොරගසන්න. මන්ද ඔබට නැවත අලුත් වයින් බොන්න ලැබෙන්නේ නැත.+ 6 ගණන් කිරීමටවත් නොහැකි තරම් විශාල වූ බලවත් ජාතියක් මගේ දේශය ආක්‍රමණය කර ඇත.+ උන්ගේ දත් සහ හකු සිංහයෙකුගේ මෙන් ශක්තිමත්ය.+ 7 උන් මගේ මිදිවැල වැනසුවෝය.+ මගේ අත්තික්කා ගසද කඳ දක්වාම උන් කා දැමුවෝය.+ මිදිවැලෙත් අත්තික්කා ගසෙත් පොතු ඉරා බිමටම විසි කර ඇත.+ ඒවායේ අතු දැන් සුදු පාටය. 8 එහෙයින් දැන් ඔබ සියල්ලෝම වැලපෙන්න. විවාහ බස් දුන් පුරුෂයා මිය ගිය කන්‍යාවක මෙන් ගෝණි රෙදි ඇඳගෙන වැලපෙන්න.+
9 “යෙහෝවා දෙවිගේ ගෘහයට දැන් ධාන්‍ය පූජාවත්+ පාන පූජාවත්+ ගෙන එන්නේ නැත. යෙහෝවා දෙවිට සේවය කරන පූජකයන්+ හඬා වැලපෙන්නේ ඒ නිසාය.+ 10 කෙත නැති නාස්ති වී ගොස් ඇත.+ පොළොව හඬා වැලපෙයි.+ මන්ද ධාන්‍ය කරල් මුළුමනින්ම විනාශ වී ඇත. වයින් සෑදීම නතර වී ඇත.+ තෙල්ද සිඳී ගොසින්ය.+ 11 තිරිඟු අස්වැන්න හා බාර්ලි අස්වැන්න දෙස බලා ගොවියෝ ලැජ්ජාවට පත් වෙති.+ මිදිවතු වවන්නෝ හඬා වැලපෙන්නෝය. මන්ද කෙත්වතුවල කිසි පලදාවක් නැත.+ 12 මිදිවැල මැලවී, අත්තික්කා ගස වියළී ගොස් ඇත. දෙළුම්, ඇපල්, තාල ගස් ඇතුළු කෙතේ සියලු ගස් වියළී ගොස් ඇත.+ දැන් සියලුදෙනාගේ සතුට ගිලිහී ගොසින්ය.+
13 “පූජකයෙනි, ගෝණි රෙදි ඇඳගෙන පපුවට ගසාගෙන දුක් වෙන්න.+ පූජාසනයේ වැඩකටයුතු කරන සේවකයෙනි,+ හඬා වැලපෙන්න. මාගේ දෙවිගේ සේවකයෙනි, රාත්‍රිය පුරාම ගෝණි රෙදි ඇඳගෙන සිටින්න. මන්ද ඔබේ දෙවිගේ ගෘහයේ ඔප්පු කිරීමට දැන් ධාන්‍ය පූජාවත්+ පාන පූජාවත් නැත.+ 14 එහෙයින් දැන් ජනයාව රැස් කර ඔවුන්ට නිරාහාරව සිටින්නයයි පවසන්න.+ විශේෂ රැස්වීමකට ඔවුන්ව කැඳවන්න.+ වැඩිමහල්ලන්වද දේශයේ සියලු වැසියන්වද ඔබේ දෙවි වන යෙහෝවාගේ ගෘහයට කැඳවා+ යෙහෝවා දෙවිගේ උපකාරය පතා යාච්ඤා කරන්න.+
15 “යෙහෝවා දෙවිගේ දවස ළඟය!+ එය ඉතා භයානක දවසකි.+ සියලු බලැති දෙවි මහත් විනාශයක් සිදු කරන එම දවස නිසැකවම පැමිණෙන්නේය. 16 අපේ ඇස් පනාපිටම ආහාර සියල්ල විනාශ වී ඇත. අපේ දෙවිගේ ගෘහය තුළ ප්‍රීති ප්‍රමෝදයෙන් ඉපිල යන සෙනඟගේ හඬ තවත් නොඇසෙයි.+ 17 වියළි අත්තික්කා ගෙඩි කුණු වී ඇත. ගබඩා කාමර ගරාවැටී ඇත. ධාන්‍ය වියළී ගොස් ඇති නිසා අටුකොටු කඩා දමා ඇත. 18 සතුන් විඳින දුක බලන්න! ගොදුරුබිම් නැති බැවින් ගව රංචු ඉබාගාතේ යති.+ මිනිසුන් කළ වැරදිවලට බැටළුවෝ පවා වන්දි ගෙවති.
19 “යෙහෝවා දෙවියනි, මා උපකාරය පතන්නේ ඔබගෙන්ය.+ පාළුකරයේ තණබිම් සියල්ල වියළී ගොස් ඇත. ගස් කොළන්ද ගින්නට දැවී ගොසින්ය.+ 20 වනසත්තු පවා ඔබගෙන් පිහිට පතන්නෝය.+ මන්ද උන්ට බීමට දිය බිඳක්වත් නැත.+ පාළුකරයේ තණබිම් සියල්ල ගින්නට දැවී ගොස් ඇත.”