යෙරෙමියා
7 යෙහෝවා දෙවි යෙරෙමියාට මෙසේ පැවසීය. 2 “යෙහෝවා දෙවි වන මාගේ ගෘහයේ දොරටුව අසල සිට ඔබ මේ පණිවිඩය ප්රකාශ කරන්න.+ ‘යෙහෝවා දෙවිට නමස්කාර කිරීමට මේ දොරටුවලින් ඇතුල් වන යූදා වැසියෙනි, යෙහෝවා දෙවි පවසන දේට සවන් දෙන්න. 3 ස්වර්ගයේ සේනාවල අධිපතිද ඊශ්රායෙල්හි දෙවිද වන යෙහෝවා මෙසේ පවසන්නේය. “ඔබේ ගතිපැවතුම්ද හැසිරීම් රටාවද වෙනස් කරගන්න. එවිට මම ඔබට මේ දේශයේ දිගටම ජීවත් වීමට ඉඩහරින්නෙමි.+ 4 නමුත්, ‘යෙහෝවා දෙවිගේ මාලිගාව අපට ආරක්ෂාවක්! යෙහෝවා දෙවිගේ මාලිගාව අපට ආරක්ෂාවක්! යෙහෝවා දෙවිගේ මාලිගාව අපට ආරක්ෂාවක්’ කියා පැවසුවද ඒ වදන් කෙරෙහි විශ්වාසය නොතබන්න. ඒ සියල්ල රැවටිලිකාර අදහස්ය.+ 5 ඔබේ ගතිපැවතුම් හා හැසිරීම් රටාව නිවැරදි කරගන්න. දෙදෙනෙකු අතර ඇති නඩුවක් විභාග කරන විට සාධාරණය ඉටු කරන්න.+ 6 විදේශිකයාටවත් පියා නැති දරුවාටවත් වැන්දඹුවටවත් පීඩා නොකරන්න.+ මේ දේශයේ සිටින අහිංසකයන්ගේ ලේ වැගිරවීමෙන් වළකින්න.+ ඔබ පිටට විපත්ති නොපැමිණෙන පිණිස වෙනත් දෙවිවරුන්ට නමස්කාර නොකරන්න.+ 7 ඔබ එලෙස ක්රියා කළොත් ඔබට මේ දේශයේ දිගටම ජීවත් වීමට හැකි වන්නේය. එසේය, ඔබේ මුතුන්මිත්තන්ට මා දුන් මේ දේශයේ ඔබ සදහටම ජීවත් වනු ඇත.”’”+
8 “රැවටිලිකාර වදන් කෙරෙහි ඔබ විශ්වාසය තබා ඇතත් ඉන් කිසි ප්රයෝජනයක් ඔබට ලැබෙන්නේ නැත.+ 9 ඔබ සොරකම් කරමින්,+ මිනී මරමින්,+ අනාචාරයේ යෙදෙමින්+ සිටින්නහුය. දිවුරුම් දී ඔබ පවසන්නේ බොරුය.+ ඔබ බාල් දෙවියාට සුවඳ දුම් ඔප්පු කරමින්+ කලින් නොදැන සිටි දෙවිවරුන්ට පවා නමස්කාර කරන්නහුය.+ 10 ඔබ එවැනි පිළිකුල්සහගත දේවල් කරන අතරතුර මාගේ නාමය දරන මේ ගෘහයට පැමිණ,+ ‘අපිට ආරක්ෂාව ලැබෙනවා’ කියා මා ඉදිරියේ පවසන්නේ කෙසේද? 11 මාගේ නාමය දරන මේ ගෘහය+ ඔබ සලකන්නේ කොල්ලකාරයන්ගේ ගුහාවක් ලෙසද?+ ඔබ කරන සෑම දෙයක්ම මට හොඳින් පෙනේ” කියා යෙහෝවා දෙවි පවසන්නේය.+
12 “‘මාගේ නාමය දැරීමට ෂීලෝ නගරයේ+ මා මුලින්ම තෝරාගත් ස්ථානයට+ යන්න. මාගේ සෙනඟ වන ඊශ්රායෙල් ජාතිය කළ දුෂ්ටකම් නිසා මා ඒ ස්ථානයට කළ දේ ගොස් බලන්න.+ 13 ඔබ දිගින් දිගටම කරන දුෂ්ට ක්රියා නිසා මම නැවත නැවතත් ඔබට ඒ ගැන කතා කළෙමි. හිමිදිරි උදෑසන සිට ඔබට ඒ ගැන පැවසුවෙමි.+ නමුත් ඔබ මට ඇහුම්කන් දුන්නේ නැත.+ මම ඔබට දිගින් දිගටම හඬගැසුවෙමි. නමුත් ඔබ මට සවන් දුන්නේ නැත.+ මේ දේ පවසන මා යෙහෝවා දෙවිය. 14 මම ෂීලෝ නුවරට කළ දේම මාගේ නාමය දරන මේ ගෘහයටත් කරන්නෙමි.+ මේ ගෘහය ඔබට ආරක්ෂාවක් වෙයි කියා ඔබ සිතුවද+ ෂීලෝ නුවරට සිදු වූ දේ අනිවාර්යයෙන්ම මෙයටත් සිදු වන්නේය.+ ඔබටත් ඔබේ මුතුන්මිත්තන්ටත් මා දුන් ඒ ස්ථානය විනාශ වී යන්නේය. 15 මම එෆ්රායිම්ගේ මුළු පෙළපතම+ එසේය, ඔබේ සහෝදරයන් වූ ඔවුන්ව පන්නා දැමුවාක් මෙන් ඔබවද මා ඉදිරියෙන් පන්නා දමන්නෙමි.’+
16 “ඔබ මේ සෙනඟ වෙනුවෙන් යාච්ඤා කරන්නවත් කන්නලව් කරන්නවත් ඔවුන් වෙනුවෙන් මැදිහත් වෙන්නවත් එපා.+ ඔබ එසේ කළත් මම ඔබට ඇහුම්කන් නොදෙන්නෙමි.+ 17 යූදාහි නගරවලත් යෙරුසලමේ මාවත්වලත් සෙනඟ කරන දේවල් ඔබට පෙනෙන්නේ නැද්ද?+ 18 ‘අහස් දේවතාවියට’+ පූජා ඔප්පු කිරීම සඳහා රොටි සෑදීමට මව්වරු පිටි අනති. පුත්රයෝ දර අහුලති. පියවරු ගිනි අවුළති. මාගේ සිතට වේදනාවක් ඇති කරන බව දැන දැනත්+ ඔවුහු වෙනත් දෙවිවරුන්ට පාන පූජා ඔප්පු කරති.+ 19 නමුත් ඇත්තටම එයින් හානියක් සිදු වන්නේ මටද?+ නැත. එහි ප්රතිඵල අද්දකින්නේ ඔවුන්මය. අන්තිමට ලැජ්ජාවට පත් වන්නෙත් ඔවුන්මය.+ මේ දේවල් පවසන මා යෙහෝවා දෙවිය. 20 එබැවින් මාගේ උදහස මේ ස්ථානය පිට වගුරුවන්නෙමි.+ එහි මිනිසුන්, සතුන්, ගස් කොළං+ සහ එහි පලදාව පිට මාගේ උදහස වගුරුවන්නෙමි. එය නිවා දැමීමට කිසිවෙකුට හැකි වන්නේ නැත.+ මේ දේ පවසන මා විශ්වයේ පාලකයා වන යෙහෝවා දෙවිය.
21 “ඊශ්රායෙල්හි දෙවිද ස්වර්ගයේ සේනාවල අධිපතිද වන යෙහෝවා දෙවි වන මම මෙසේ පවසන්නෙමි. ‘ඔබේ දවන පූජා සමඟ අනිකුත් පූජාද ඔප්පු කර ඒවායේ මස් අනුභව කරන්න.+ 22 මම ඔබේ මුතුන්මිත්තන්ව ඊජිප්තු දේශයෙන් නිදහස් කරගෙන ආ දවසේදී දවන පූජා හා අනිකුත් පූජා සම්බන්ධව කිසිවක් ඔවුන්ට අණ කළේ නැත.+ ඒ ගැන මම කතා කළේවත් නැත. 23 නමුත් මම ඔවුන්ට මෙම ආඥාව දුන්නෙමි. “මාගේ හඬට කීකරු වන්න.+ ඔබ එසේ කළොත් මම ඔබේ දෙවි වන්නෙමි.+ ඔබව මාගේ සෙනඟ ලෙස පිළිගන්නෙමි. මම ඔබට දෙන සියලු ආඥා පිළිපදින්න.+ ඔබ එසේ කළොත් ඔබේ ජීවිතය සාර්ථක වන්නේය.”’+ 24 නමුත් ඔවුහු මා පැවසූ දේ ගණනකටවත් ගත්තේ නැත. මට සවන් දුන්නේ නැත.+ ඒ වෙනුවට ඔවුන් ක්රියා කළේ ඔවුන්ගේ දුෂ්ට සිතුවිලිවලට අනුවය. ඔවුහු මුරණ්ඩු ලෙස හැසිරුණෝය.+ එබැවින් ඔවුහු ක්රමක්රමයෙන් පිරිහීමට පටන්ගත්තෝය.+ 25 ඔබේ මුතුන්මිත්තන් ඊජිප්තු දේශයෙන් පිටත්ව ආ දවසේ සිට අද දක්වාම සිදු වුණේ එයයි.+ එබැවින් හිමිදිරි උදෑසනින්ම මාගේ සේවකයන් වන අනාගතවක්තෘවරුන්ව මම ඔබ වෙතට සැමදා එව්වෙමි.+ 26 නමුත් කිසි කෙනෙක් මා පැවසූ දේ සැලකිල්ලට ගත්තේ නැත. මට සවන් දුන්නේ නැත.+ ඔවුහු දිගින් දිගටම ඔවුන්ගේ සිත් දැඩි කරගත්තෝය.+ ඔවුහු තම මුතුන්මිත්තන්ටත් වඩා මුරණ්ඩු ලෙස හැසිරුණෝය.+
27 “ඔබ මේ සියල්ල ඔවුන්ට පවසන්න.+ නමුත් ඔවුහු ඔබට සවන් දෙන්නේ නැත. ඔවුන්ට හඬගසන්න. නමුත් ඔවුන්ගෙන් ඔබට පිළිතුරක් ලැබෙන්නේ නැත.+ 28 එවිට ඔබ ඔවුන්ට මෙසේ පවසන්න. ‘මේ දේශයේ සෙනඟ ඔවුන්ගේ දෙවි වූ යෙහෝවාගේ හඬට අකීකරු වුණෝය.+ ඔහු ඔවුන්ව නිවැරදි කළ විට ඔවුහු එය පිළි නොගත්තෝය.+ විශ්වාසවන්ත කිසිවෙක් දේශයේ නැත. කිසිවෙක් විශ්වාසවන්තකම ගැන කතා කරන්නේවත් නැත.’”+
29 “යෙහෝවා දෙවි මේ පරම්පරාව ප්රතික්ෂේප කර ඇත.+ ඔහු ඔවුන් සමඟ උදහස් වී ඔවුන්ව අත්හැර දැමුවේය.+ එබැවින් දිගට වවා තිබෙන ඔබේ හිසකෙස් කපා ඉවත් කරන්න.+ පාළු හෙල් මත සිට විලාප ගීයක් ගයන්න.+ 30 යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. ‘යූදා සෙනඟ මට විරුද්ධව දුෂ්ටකම් කර තිබේ. ඔවුහු මාගේ නාමය දරන මේ ගෘහය තුළ පිළිකුල්සහගත රූප තබා එය අපවිත්ර කර ඇත.+ 31 තම දූදරුවන්ව ගින්නෙන් දැවීම සඳහා+ ඔවුහු බෙන්හින්නොම්* නිම්නයේ+ පිහිටි තෝෆෙත් නම් ස්ථානයේ පූජාසන ගොඩනැඟුවෝය.+ එවැනි දෙයක් කරන ලෙස මම ඔවුන්ට අණ කළේ නැත. එවැනි දෙයක් කිරීමේ අදහසක්වත් මාගේ සිතට පහළ වුණේ නැත.’+
32 “එබැවින් යෙහෝවා දෙවි තවදුරටත් මෙසේ පවසන්නේය. ‘ඒ ස්ථානය තෝෆෙත් කියාවත් බෙන්හින්නොම් නිම්නය කියාවත් හඳුන්වන්නේ නැති කාලයක් ඉදිරියේදී පැමිණෙනු ඇත. ඒ වෙනුවට ඒ කාලයේදී එය හඳුන්වන්නේ මිනී මරන නිම්නය කියායි.+ තැන්පත් කිරීමට ඉඩ නැති වන තරමටම තෝෆෙත්හි මළ මිනි ගොඩගසනු ලබන්නේය.+ 33 සෙනඟගේ මළ කඳන් පක්ෂීන්ගේ හා වනසතුන්ගේ ආහාර වන්නේය. උන්ව බියගැන්වීමට කිසිවෙක් එහි ඉතුරු වන්නේ නැත.+ 34 යූදාහි නගරවලින් හා යෙරුසලමේ වීථිවලින් ප්රීති ඝෝෂාවද මනාලයාගේ හා මනාලියගේ හඬද තවදුරටත් නොඇසෙනු ඇත.+ ඒ දේ සිදු වීමට සලස්වන්නේ මමය. ඒ දේශය මුළුමනින්ම පාළු තැනක් බවට පත් වනු ඇත.’”+