මතෙව්
9 එහෙයින් ඔහු ඔරුවට නැඟී, එගොඩ වී තම නුවරට ගියේය.+ 2 එවිට පිරිසක් අංශභාග රෝගියෙකුව ඇඳක තබා+ ඔහු වෙතට ගෙනාවෝය. යේසුස් ඔවුන්ගේ විශ්වාසය දැක අංශභාග රෝගියාට, “පුතේ, ධෛර්යවත් වන්න. දැන් ඔබේ පව්වලට සමාව ලැබී තිබෙනවා”+ කියා කීවේය. 3 සෙනඟ අතර සිටි නීතිය පිටපත් කරන්නන් කිහිපදෙනෙක්, “මොහු දෙවිට අපහාස කරනවා”+ කියා තමන්ටම කියාගත්හ. 4 ඔවුන් සිතූ දේ තේරුම්ගත් යේසුස්+ ඔවුන්ට මෙසේ කීවේය. “ඔබ එවැනි දුෂ්ට දෙයක් ගැන සිතන්නේ ඇයි?+ 5 වඩාත් පහසු ඔබේ පව්වලට සමාව ලැබී තිබෙනවා කියා කීමද? නැත්නම් නැඟිට ඇවිදින්න කියා කීමද?+ 6 පොළොවේ පව්වලට සමාව දෙන්න මනුෂ්‍ය පුත්‍රයාට අධිකාරියක් තිබෙනවා.+ ඒ බව ඔබත් දැනගන්නවාට මා කැමතියි. . . .” ඉන්පසු ඔහු අංශභාග රෝගියාට, “නැඟිට, ඔබේ ඇඳත් රැගෙන ගෙදර යන්න”+ කියා කීවේය. 7 එවිට ඔහු නැඟිට තම නිවස බලා ගියේය. 8 මෙය දුටු සමූහයා පුදුම වී, එවැනි බලයක් මිනිසෙකුට දුන්+ දෙවිට ප්‍රශංසා කළෝය.+
9 ඊළඟට යේසුස් එතැනින් පිටත්ව යද්දී, මතෙව් නම් මිනිසෙකු බදු එකතු කිරීමේ කාර්යාලයේ ඉඳගෙන සිටිනවා දැක, “මගේ අනුගාමිකයෙක් වන්න”+ කියා ඔහුට කීවේය. එවිට ඔහු නැඟිට, ඔහු අනුව ගියේය.+ 10 පසුව යේසුස් මතෙව්ගේ නිවසෙහි කෑමට ඉඳගෙන සිටියදී+ බදු එකතු කරන්නන්ද පව්කාරයන්ද බොහෝදෙනෙක් ඇවිත් යේසුස් සහ ඔහුගේ ගෝලයන් සමඟ ඉඳගත්හ. 11 නමුත් පරිසිවරු එය දැක, “ඔබේ ගුරුතුමා බදු එකතු කරන්නන් හා පව්කාරයන් සමඟ එකට ඉඳගෙන කෑම කන්නේ ඇයි”+ කියා යේසුස්ගේ ගෝලයන්ගෙන් ඇසූහ. 12 එවිට යේසුස් මෙසේ කීවේය. “රෝගීන්ට මිස නිරෝගීන්ට වෛද්‍යවරයෙකුගෙන් පලක් නැහැ.+ 13 එසේනම් ගොස්, ‘මට වටින්නේ දයාව මිස පූජාව නොවෙයි’+ යන කියමනේ නියම අර්ථය තේරුම්ගන්න. මන්ද මා ආවේ පව්කාරයන්ට උපකාර කරන්න මිස ධර්මිෂ්ඨයන්ට උපකාර කරන්න නොවෙයි.”
14 එවිට යොහන්ගේ ගෝලයෝ ඔහු වෙතට ඇවිත්, “අපත් පරිසිවරුනුත් සිරිතක් ලෙස නිරාහාරව සිටිනවා. නමුත් ඔබේ ගෝලයන් නිරාහාරව නොසිටින්නේ ඇයි”+ කියා ඇසූහ. 15 එවිට යේසුස් ඔවුන්ට මෙසේ කීවේය. “මනාලයා+ තමන් සමඟ සිටින විට මනාලයාගේ මිතුරන්ට ශෝක වෙන්න හේතුවක් තිබෙනවාද? නමුත් මනාලයාව ඔවුන්ගෙන් වෙන් කරනු ලබන දවස්+ පැමිණෙනවා. එවිට ඔවුන් නිරාහාරව සිටියි.+ 16 කිසි කෙනෙක් අලුත් රෙදි කැබැල්ලක් තබා පරණ වස්ත්‍රයක ඉරුණු තැනක් මහන්නේ නැහැ. මන්ද එසේ කළොත් එම රෙදි කැබැල්ල වඩා ශක්තිමත් නිසා එය ඇදී යෑමෙන් ඉරුම තවත් වැඩි වෙයි.+ 17 ඒ වගේම කිසි කෙනෙක් අලුත් වයින් පරණ සම් භාජනවලට දමන්නෙත් නැහැ. එසේ කළොත් ඒ සම් භාජන පැළී, වයින් ඉහිරී සම් භාජන නාස්ති වී යයි.+ අලුත් වයින් දමන්නේ අලුත් සම් භාජනවලටයි. එවිට ඒ දෙකම ආරක්ෂා වෙයි.”+
18 ඔහු ඔවුන්ට ඒ දේවල් කියමින් සිටියදී එක්තරා ප්‍රධානියෙක්+ ඇවිත් ඔහු ඉදිරියේ දණින් වැටී,+ “මේ වන විටත් මගේ දුව මිය ගිහින් ඇති.+ නමුත් ඔබ ඇවිත් ඇය පිට අත තැබුවොත් ඇය ජීවත් වෙයි”+ කියා පැවසුවේය.
19 එවිට යේසුස් නැඟිට ඔහු සමඟ ගියේය. ඔහුගේ ගෝලයෝද ඔහු පසුපස ගියෝය. 20 ඒ අතරවාරයේදී අවුරුදු දොළහක් පුරා ලේ ගැලීමක්+ නිසා දුක් විඳිමින් සිටි ස්ත්‍රියක් පිටුපසින් ඇවිත් ඔහුගේ වස්ත්‍රයේ වාටිය ඇල්ලුවාය.+ 21 එසේ කළේ, “ඔහුගේ වස්ත්‍රය විතරක් ඇල්ලුවත් ඇති. එයින් මාව සුව වෙයි”+ කියා ඇය නිරතුරුවම සිතූ නිසාය. 22 එවිට යේසුස් හැරී ඇයව දැක, “දුවේ, භය වෙන්න එපා. ඔබට සුවය ලැබුණේ ඔබ තුළ තිබූ විශ්වාසය නිසයි”+ කියා කීවේය. ඒ පැයේදීම ඒ ස්ත්‍රියට සුවය ලැබිණ.+
23 ඔහු ප්‍රධානියාගේ නිවසට+ ඇතුල් වූ විට නළාකාරයන්වද වියවුල් වී හඬා වැලපෙමින් සිටි සමූහයාවද+ දුටුවේය. 24 එවිට යේසුස්, “සියලුදෙනාම එළියට යන්න. දැරිය මිය ගිහින් නැහැ. ඇය නිදාගෙනයි සිටින්නේ”+ කියා කීවේය. එවිට ඔවුහු උපහාසාත්මක ලෙස ඔහුට සිනාසුණෝය.+ 25 සමූහයාව එතැනින් පිට කරනු ලැබූ විගස ඔහු නිවස ඇතුළට ගොස් ඇගේ අත ඇල්ලුවේය.+ එවිට දැරිය නැඟිට්ටාය.+ 26 මෙම සිද්ධිය පිළිබඳ පුවත ඒ මුළු පළාත පුරාම පැතිර ගියේය.
27 යේසුස් එතැනින් පිටත්ව යද්දී අන්ධ මිනිස්සු දෙදෙනෙක්,+ “දාවිත්ගේ පුත්‍රය, අපට අනුකම්පා කරන්න”+ කියා කෑගසමින් ඔහු පසුපස ආවෝය. 28 ඔහු ගෙට ඇතුල් වූ විට ඒ අන්ධ මිනිස්සු ඔහු ළඟටම ආවෝය. යේසුස්, “මට මේ දේ කළ හැකි බව ඔබට විශ්වාසද”+ කියා ඔවුන්ගෙන් ඇසුවේය. “ඔව්, ස්වාමීනි” කියා ඔවුහු පිළිතුරු දුන්නෝය. 29 එවිට ඔහු ඔවුන්ගේ ඇස් ස්පර්ශ කරමින්,+ “ඔබේ විශ්වාසය නිසා ඔබ බලාපොරොත්තු වූ දේ ඉටු වෙයි” කියා කීවේය. 30 එවිට ඔවුන්ට පෙනීම ලැබිණ. “මේ ගැන කාටවත් කියන්න එපා”+ කියා යේසුස් ඔවුන්ට තදින් අණ කළේය. 31 නමුත් එතැනින් පිටත්ව ගිය ඔවුහු, යේසුස් කළ දේ ගැන ඒ මුළු පළාත පුරාම ප්‍රසිද්ධ කළහ.+
32 ඔවුන් එතැනින් පිටත්ව යද්දී භූතයෙකු ආවේශ වූ ගොළු මිනිසෙකුව+ යේසුස් වෙතට ගෙනෙන ලදි. 33 භූතයාව දුරු කළ පසු ගොළු මිනිසා කතා කළේය.+ පුදුමයට පත් සමූහයා,+ “කිසිම දවසක ඊශ්‍රායෙලයේ මේ වගේ දෙයක් නම් දැක තිබුණේ නැහැ” කියා කීවෝය. 34 නමුත් පරිසිවරු මෙසේ කියන්න පටන්ගත්තෝය. “ඔහු භූතයන් දුරු කරන්නේ භූතයන්ගේ පාලකයා ඔහුට උදව් කරන නිසයි.”+
35 යේසුස් ඔවුන්ගේ සිනගෝගවල උගන්වමින්ද රාජ්‍යයේ ශුභාරංචිය දේශනා කරමින්ද සියලු ආකාර රෝග සහ ආබාධ සුව කරමින්ද+ සියලු නුවරවලද ගම්වලද සංචාරය කළේය. 36 ඔහු සමූහයන් දුටු විට ඔවුන් එඬේරෙකු නැති බැටළුවන් මෙන්+ දරුණු ලෙස හිරිහැර විඳිමින් විසිර ගොස් සිටින අය බව තේරුම්ගත්තේය. ඒ නිසා ඔහුට ඔවුන් කෙරෙහි අනුකම්පාවක් ඇති විය.+ 37 එහෙයින් ඔහු තම ගෝලයන්ට මෙසේ කීවේය. “අස්වැන්න නම් විශාලයි. නමුත් වැඩකරුවන් සිටින්නේ ස්වල්පදෙනෙකු පමණයි.+ 38 එමනිසා අස්වැන්න නෙළීමට+ වැඩකරුවන්ව එවන්න කියා අස්වැන්නේ ස්වාමියාට කන්නලව් කරන්න.”