දානියෙල්
9 ඒ දාරියුස් පාලනය කරපු පළවෙනි අවුරුද්දයි.+ මේදිය ජාතික අහෂ්වේරොෂ්ගේ පුතා වුණ දාරියුස් කල්දිවරුන්ගේ රාජ්‍යයේ රජකමට පත් වුණා.+ 2 දාරියුස් රජගේ පළවෙනි අවුරුද්දේදී දානියෙල් වන මම ලියවිලි* සෝදිසි කරලා බලලා යෙරුසලම කොච්චර කාලයක් පාළුවට යන්න ඉඩහැරලා+ තියෙනවාද කියලා තේරුම්ගත්තා. යෙහෝවා දෙවියන් අනාගතවක්තෘ යෙරෙමියාට හෙළි කරලා තිබුණු විදිහට ඒ කාලය අවුරුදු 70ක්.+ 3 ඒක තේරුම්ගත්තාම මම නිරාහාරව ඉඳලා+ ගෝණි රෙදි ඇඳගෙන, අළු දාගෙන සැබෑ දෙවි වන යෙහෝවාට කන්නලව් කළා. 4 මම මගේ දෙවි වන යෙහෝවාට අපි කරපු වැරදි ගැන කියලා මෙහෙම යාච්ඤා කළා.
“යෙහෝවා, සැබෑ දෙවියන් ඔබයි. ඔබ ඉතා ශ්‍රේෂ්ඨ වගේම ගරුබිය ලබන්න වටින දෙවි කෙනෙක්. ඔබට ආදරේ කරන, ඔබේ ආඥාවලට කීකරු වෙන අයට+ ඔබත් නොසැලෙන ආදරයක්* පෙන්නනවා.+ ඔබ එයාලා එක්ක ඇති කරගත්ත ගිවිසුම කවදාවත් කඩ කරන්නේ නැහැ. 5 අපි ඔබට විරුද්ධව පව් කළා. කැරලිගැහුවා.+ ඔබේ ආඥාවලට අකීකරු වුණා. ඔබේ තීන්දුවලට විරුද්ධ වෙලා දුෂ්ට විදිහට වැඩ කළා. 6 ඔබේ සේවකයන් වුණ අනාගතවක්තෘවරු ඔබේ නාමයෙන් අපේ රජවරුන්ට, අධිපතීන්ට, මුතුන්මිත්තන්ට වගේම දේශයේ හිටපු හැමෝටම කතා කළා. ඒත් අපි එයාලට ඇහුම්කන් දුන්නේ නැහැ.+ 7 යෙහෝවා දෙවියනි, ඔබ ධර්මිෂ්ඨ දෙවි කෙනෙක්. ඒත් අපි ඔබට විශ්වාසවන්තව වැඩ කළේ නැහැ. ඔබ යූදා දේශයේ, යෙරුසලමේ සහ මුළු ඊශ්‍රායෙල් දේශයේම මිනිස්සුන්ව පන්නලා දාලා අවට ජාතීන්ගේ සහ දුර ඈත ජාතීන්ගේ අතට එයාලව භාර දුන්නේ ඒ නිසයි. අද අපි නින්දා විඳින්නේ ඒ නිසයි.+
8 “යෙහෝවා දෙවියනි, අපි ඔබට විරුද්ධව පව් කළා. අපේ රජවරුන්, අධිපතීන්, මුතුන්මිත්තන් පවා ඔබට විරුද්ධව වැරදි කළා. අපි මෙහෙම නින්දා විඳින්නේ ඒ නිසයි. 9 යෙහෝවා අපේ දෙවියනි, ඔබ සමාව දෙන්න කැමති, දයාවන්ත දෙවි කෙනෙක්.+ ඒත් අපි ඔබට විරුද්ධව කැරලිගැහුවා.+ 10 යෙහෝවා අපේ දෙවියනි, අපි ඔබ කියපු දේවලට ඇහුම්කන් දුන්නේ නැහැ. ඔබේ සේවකයන් වුණ අනාගතවක්තෘවරුන් මාර්ගයෙන් ඔබ දීපු නීතිවලට අපි අකීකරු වුණා.+ 11 මුළු ඊශ්‍රායෙල් ජාතියම ඔබේ නීතිය ගාණකටවත් ගත්තේ නැහැ. අපි ඔබට සවන් දෙන්නේ නැතුව ඔබව අත්හැරලා ගියා. ඒ නිසා ඔබේ සේවකයා වුණ මෝසෙස්ට ඔබ දීපු නීතියේ+ සඳහන් වෙලා තිබුණු හැම ශාපයක්ම අපි පිටට එන්න ඔබ ඉඩහැරියා. දිවුරුමකින් ස්ථිර කරපු ඒ හැම දෙයක්ම අපි පිටට ආවේ සැබෑ දෙවියන් වන ඔබට විරුද්ධව අපි පව් කරපු නිසයි. 12 ඔබ අපිටයි, අපේ පාලකයන්ටයි අනතුරු අඟවපු විදිහටම+ අපිට විරුද්ධව ලොකු විනාශයක් ගෙනාවා. යෙරුසලමේ සිද්ධ වුණ ඒ විනාශය තරම් දරුණු විනාශයක් අහසින් යට වෙන කිසිම තැනක වෙලා නැහැ.+ 13 මෝසෙස්ගේ නීතියේ ලියලා තියෙන විදිහටම අපි විපත්වලට මුහුණ දුන්නා.+ යෙහෝවා අපේ දෙවියනි, ඒ හැම දෙයක්ම වුණාට පස්සෙත් අපි යටහත්පහත් වෙලා ඔබේ ආදරේ ආයෙත් ලබාගන්න කිසිම උත්සාහයක් ගත්තේ නැහැ. මොකද අපේ වැරදි හදාගන්නවත්+ ඔබ කොච්චර විශ්වාසවන්තද කියලා* තේරුම් අරන් ඒ අනුව වැඩ කරන්නවත් අපි පෙලඹුණේ නැහැ.
14 “යෙහෝවා දෙවියනි, ඔබ අපි දිහා බලාගෙන හිටියා. සුදුසු කාලය ආවාම ඔබ අපිට දඬුවම් කළා. මොකද යෙහෝවා අපේ දෙවියනි, ඔබ කරන හැම දෙයක්ම ධර්මිෂ්ඨයි. ඒත් අපි ඔබට සවන් දුන්නේ නැහැ.+
15 “යෙහෝවා අපේ දෙවියනි, ඔබේ මහත් බලය පාවිච්චි කරලා+ ඔබේ සෙනඟව ඔබ ඊජිප්තු දේශයෙන් එළියට ගෙනාවා. ඒ සිද්ධිය නිසා ඔබේ නාමය අදටත් ප්‍රසිද්ධයි.+ ඒත් අපි ඔබට විරුද්ධව පව් කළා. අපි වැඩ කළේ දුෂ්ට විදිහටයි. 16 යෙහෝවා දෙවියනි, ඔබේ නුවර වන යෙරුසලම සහ ඔබේ සෙනඟ අවට ජාතීන්ගේ නින්දා අපහාසවලට මුහුණ දෙන්නේ+ අපියි, අපේ මුතුන්මිත්තනුයි කරපු වැරදි නිසයි. දෙවියනි, ඔබ හැමදාම වැඩ කළේ ධර්මිෂ්ඨ විදිහටයි.+ අනේ දෙවියනි, ඒ නිසා ඔබේ ශුද්ධ කන්ද වන යෙරුසලමට විරුද්ධව ඇවිළිලා තියෙන ඔබේ මහත් උදහස නිවාගන්න. 17 අපේ දෙවියනි, දැන් ඔබේ සේවකයා වන මගේ යාච්ඤාවට සවන් දෙන්න. මං බැගෑපත්ව කරන මේ ඉල්ලීම ඉටු කරන්න. පාළුවට ගිහින් තියෙන+ ඔබේ ශුද්ධස්ථානය+ දිහා ආයෙත් සතුටින් බලන්න. අනේ යෙහෝවා දෙවියනි, ඔබේ නාමය වෙනුවෙන් එහෙම කරන්න. 18 මගේ දෙවියනි, අනේ ඇහුම්කන් දෙන්න. ඔබේ නාමය වෙනුවෙන් ඉදි කරපු අපේ නුවර පාළුවට ගිහින් තියෙන විදිහ දිහා බලන්න. අපි ඔබෙන් මේ ඉල්ලීම කරන්නේ අපි ධර්මිෂ්ඨ විදිහට වැඩ කරලා තියෙන නිසා නෙමෙයි. ඔබ හරිම දයාවන්ත කෙනෙක් නිසයි.+ 19 අනේ යෙහෝවා දෙවියනි, අපිට සවන් දෙන්න. අනේ යෙහෝවා දෙවියනි, අපිට සමාව දෙන්න.+ අනේ යෙහෝවා දෙවියනි, අපි දිහා බලන්න. මගේ දෙවියනි, ප්‍රමාද වෙන්නේ නැතුව ඔබේ නාමය ගැන හිතලා අපිට උදව් කරන්න. මොකද මේ සෙනඟයි, මේ නුවරයි ඔබේ නාමය දරනවා.”+
20 ඒ විදිහට මම මගේ වැරදි ගැනයි, මගේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන්ගේ වැරදි ගැනයි, මගේ දෙවියන්ගේ ශුද්ධ කන්ද+ ගැනයි යෙහෝවා දෙවියන් ඉදිරියේ කන්නලව් කරකර හිටියා. 21 මං එහෙම යාච්ඤා කරකර ඉද්දී මනුස්සයෙක් මං ළඟට ආවා. ඒ මං කලින් දර්ශනයෙන් දැක්ක+ ගාබ්‍රියෙල්.+ ඔහු මං ළඟට ආවේ හැන්දෑවේ තෑගි පූජා ඔප්පු කරන වෙලාවේ. ඒ වෙලාවේ මං හිටියේ ගොඩක් දුර්වල වෙලා. හරිම මහන්සියෙන්. 22 ඔහු ආවේ ඉස්සරහට වෙන්න යන දේවල් ගැන මට තේරුම් කරලා දෙන්නයි. ඔහු මෙහෙම කිව්වා.
“දානියෙල්, මං ආවේ ඉස්සරහට වෙන්න යන දේවල් තවත් හොඳින් තේරුම්ගන්න ඔයාට උදව් කරන්න. 23 ඔයා යාච්ඤා කරන්න පටන්ගත්ත ගමන්ම මට දෙවියන්ගෙන් පණිවිඩයක් ලැබුණා. මං ආවේ ඒ ගැන ඔයාට කියන්නයි. මොකද දෙවියන්ට ඔයාව ගොඩක් වටිනවා.+ ඉතින් දැන් මං කියන්න යන දේ හොඳට අහගෙන ඉඳලා දර්ශනය තේරුම්ගන්න.
24 “ඔයාගේ සෙනඟ සහ ඔයාගේ ශුද්ධ නුවර වෙනුවෙන්+ සති* 70ක් නියම කරලා තියෙනවා. ඒ කාලය නියම කරලා තියෙන්නේ අපරාධය නැති කරන්න, පාපය ඉවත් කරන්න,+ වරදට සමාව ලබාගන්න+ සහ ධර්මිෂ්ඨකම සදහටම පිහිටුවන්නයි.+ දර්ශනය සහ අනාවැකිය ස්ථිර කරන්නත්+ අතිශුද්ධස්ථානය කැප කරන්නත් ඒ කාලය වෙන් කරලා තියෙනවා. 25 යෙරුසලම කලින් තත්වයට ගෙනල්ලා ඒක ආයෙත් ගොඩනඟන්න+ නියෝගයක් නිකුත් කරන අවස්ථාවේ ඉඳලා නායකයා+ වන මෙසියස්*+ එන කල් සති 7ක් සහ සති 62ක්+ ගත වෙනවා කියලා තේරුම්ගන්න. නුවර කලින් තිබුණු විදිහටම ආයෙත් ගොඩනඟනවා. ප්‍රධාන මංසන්ධියක් සහ ඒක වටේට අගලක් ඇතුව නුවර ගොඩනඟන්නේ දුෂ්කර කාලයකදියි.
26 “සති 62 ඉවර වුණාට පස්සේ මෙසියස්ව මරලා දානවා.+ ඔහුට කිසිම දෙයක් ඉතුරු වෙන්නේ නැහැ.+
“පාලකයෙක් එයාගේ හමුදාව එක්ක ඇවිත් නුවරයි, ශුද්ධස්ථානයයි විනාශ කරනවා.+ ඒ විනාශය හරියට ජලගැල්මකින් වෙන විනාශය වගේ. අවසානය එන කල්ම යුද්ධ තියෙනවා. දෙවියන් නියම කරලා තියෙන විදිහටම ඒක විනාශ වෙලා පාළුවට යනවා.+
27 “ඔහු* වැඩිදෙනෙක්ගේ ප්‍රයෝජනය වෙනුවෙන් සතියක් යන කල් ගිවිසුමට බැඳිලා ඉන්නවා. සතිය මැදදී ඔහු සත්ව පූජා සහ තෑගි පූජා ඔප්පු කරන එක නවත්තනවා.+
“විනාශය කරන කෙනා පිළිකුල් දේවල්වල පියාපත මත එනවා.+ සම්පූර්ණ විනාශයක් වෙන කල් පාළුවට ගිහින් තියෙන දේට දෙවියන් නියම කරලා තියෙන දේ ඒ විදිහටම වෙනවා.”