ඔබගේ නමස්කාර ස්ථානයට ඔබ ගෞරව කරන්නෙහි ද?
“සුවිශේෂයේ ඉතා ළදරු අවදියේ පටන්, ක්‍රිස්තියානින් හට දිව්‍ය නමස්කාරයේ තමන්ගේ ම ස්ථාපිත හා නිශ්චිත ස්ථානයක් තිබිණි.”—විලියම් කේව් විසින් රචිත, “ප්‍රිමිටිව් ක්‍රිස්ටියැනිටි.”
දෙවියන් වහන්සේගේ ජනයා නමස්කාරය සඳහා එක්රැස් වීමේ ප්‍රීතිය සෑම විට ම අත්දැක තිබේ. මෙය පළමු සියවසේ දී සැබෑවක් වූවාක් මෙන් ම අද දිනත් සැබෑවක් වෙයි. ලූෂන්, ජස්ටින් මාටර්, සහ ටර්ටූලියන්, වැනි මුල් ලේඛකයන් සහ දේවධර්මාධරයන් සියලු දෙනා ම, නමස්කාරය සඳහා ක්‍රිස්තියානින් නිති පතා එකට රැස් වූ විශේෂ ස්ථාන තිබූ බවට එකඟ වෙති.
ක්‍රිස්තියානි කණ්ඩායම් විසින් පවත්වන ලද නිති පතා රැස්වීම්වලට යොමු දැක්වීම් ගණනාවක් කරමින්, බයිබලය එම කරුණ ම ස්ථාපිත කරයි. මෙම කණ්ඩායම් හැඳින්වූයේ සභාවන් වශයෙනි. බයිබලයේ ප්රාරම්භක භාෂාවෙන් “සභාව” යන වචනය විශේෂ අරමුණකට හෝ ක්‍රියාවක් සඳහා එකට රැස්වූ ජන කණ්ඩායමකට ඇඟවීම් කරන හෙයින් මෙය යෝග්‍ය විය.
ක්‍රිස්තියානි නමස්කාරයේ මුල් ස්ථාන
පළමු සියවසේ ක්‍රිස්තියානින් එකට රැස්වූ විට, ඔවුන් කළේ කුමක් ද? එවන් රැස්වීම් ගණනාවක් ගැන විස්තර කරන බයිබලය, ඉගැන්වීම වැදගත් අංගයක් වූ බව පෙන්වයි. (ක්‍රියා 2:42; 11:26; 1 කොරින්ති 14:19, 26) කථාවන් ද, දිරිගැන්වීමෙන් යුත් අත්දැකීම් විස්තර කිරීම ද, යෙරුසලමේ පාලක මණ්ඩලයෙන් හෝ ප්රේරිතයෙකුගෙන් ලැබූ ලිපි ප්‍රවේසමෙන් යුතු ව සලකා බැලීම සමඟින් අධ්‍යාපනික වැඩසටහන් සඳහා විධිවිධාන යොදවා තිබිණි.
අන්තියෝකියේ සිටි ක්‍රිස්තියානි කණ්ඩායමකට එවැනි ලිපියක් කියවනු ලැබුවායින් පසු, යුදස් සහ සීලස් “බොහෝ වචනවලින් සහෝදරයන්ට අවවාදකර, ඔවුන් ස්ථිරකළෝය” යයි ක්‍රියා 15:22-35 [NW] හි අපට කියවීමට තිබේ. තවත් වාර්තාවක් පවසන පරිදි, පාවුල් සහ බාර්ණබස් අන්තියෝකියට ළඟා වූ විට, “සභාව රැස්කරවා, දෙවියන්වහන්සේ තමුන් ලවා කෙරෙවූ සියල්ල . . . දැන්වූවෝය.” යෙහෝවඃ වහන්සේට යාච්ඤා කිරීම ද ක්‍රිස්තියානි රැස්වීම්වල වැදගත් අංගයක් විය.—ක්‍රියා 14:27.
පළමු සියවසේ සභාවන් නමස්කාරය සඳහා එක් රැස්වූ ස්ථාන අද දින ක්‍රිස්තියානි ලෝකයේ පල්ලි බොහොමයක් මෙන් විසිතුරු ගොඩනැගිලි නොවී ය. බොහෝ දුරට, මුල් ක්‍රිස්තියානින් හමු වූයේ පුද්ගලික නිවෙස්වල ය. (රෝම 16:5; 1 කොරින්ති 16:19; කොලොස්සි 4:15; පිලෙමොන් 2) බොහෝ විට, නිවෙස්වල උඩුමහල් කාමරය භාවිතා විණි. ස්වාමීන් වහන්සේගේ සන්ධ්‍යා භෝජනය පවත්වනු ලැබුවේ උඩුමහල් කාමරයක ය. පෙන්තකොස්ත දවසේ දී ගෝලයන් 120 ශුද්ධාත්මයෙන් ආලේප කරනු ලැබුවේ උඩුමහල් කාමරයක ය.—ලූක් 22:11, 12, 19, 20; ක්‍රියා 1:13, 14; 2:1-4; 20:7, 9.
අද දින, යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවෝ ප්‍රේරිතයන් විසින් පිහිටුවන ලද රටාව අනුගමනය කරති. ඔවුහු රාජ්‍යය ශාලා යනුවෙන් හඳුන්වනු ලබන රැස්වීම් ස්ථාන යොදා ගනිති. එහි දී, ඔවුන් ව දෙවියන් වහන්සේගේ රාජ්‍යය පිළිබඳ ශුභාරංචියේ දේශනාකරුවන් ලෙස පුහුණු කරනු ලැබේ. (මතෙව් 24:14) රාජ්‍යය ශාලාවේ දී, ඔවුහු ශුද්ධ ලියවිලි අධ්‍යයනය කරති, යාච්ඤා කරති, එකිනෙකා ව දිරිගන්වති. මෙය බයිබලයේ හෙබ්‍රෙව් 10:24, 25 හි සඳහන් අවවාදයට අනුකූල ය: “ප්‍රේමයටද යහපත් ක්‍රියාවලටද පොලඹවන පිණිස එකිනෙකා ගැන සිතේ තබා ගනිමු. සමහරුන්ගේ පුරුද්ද ලෙස අපේම රැස්වීම අත් නෑර, ඒ දවස ළංවන බව නුඹලාට පෙනෙන ප්‍රකාරයට වඩ වඩා එකිනෙකාට අවවාදකරමු.”
අපගේ නමස්කාර ස්ථානය නිසි අයුරින් භාවිතා කිරීම
“දෙවියන්වහන්සේ වියවුල්කමේ නොව සමාදානයේ දෙවියන් වහන්සේය” සහ, “සියල්ල ඔබිනාලෙසද පිළිවෙළින්ද කරනු ලැබේවා” යන ප්‍රේරිත පාවුල්ගේ වචන ඔබට මතක ද? ඔබ මෙම පාඨයන්හි පසුබිම සලකා බලන්නේ නම්, පාවුල් සාකච්ඡා කරමින් සිටියේ ක්‍රිස්තියානි රැස්වීම් පැවැත්විය යුතු ආකාරය සම්බන්ධ ව බව ඔබ සොයා ගන්නවා ඇත. ප්‍රේරිතවරුන්ගේ සමයේ දී මෙන්, රැස්වීම් පිළිවෙළකටත් මනා සංවිධානාත්මක ව තිබෙන බවටත් අද දින ක්‍රිස්තියානිහු සහතික වෙත්.—1 කොරින්ති 14:26-40.
වර්ෂ 1969 ඔක්තෝබර් 15දා ද වොච්ටවර් කලාපය මෙසේ සඳහන් කළේ ය: “රාජ්‍යය ශාලාවේ පවතින ආත්මික වාතාවරණය, සැබෑ නමස්කාරයේ සහ බයිබල් උපදෙස් සම්බන්ධ ව සැබෑ උනන්දුවකින් නික්මෙන, අව්‍යාජ එකකි. තව ද, ශාලාව තුළ තිබෙන ආලෝකය, ස්වාභාවික වටපිටාව, පැමිණ සිටින අයට සුහද හා මිත්‍රශීලී වීමට දිරි දෙන අතර, අද්භූත ලෙස පනවන ලද උදාරත්වයකින් බාධාවට පත්වන්නේ නැත.” ඇත්ත වශයෙන් ම, රාජ්‍යය ශාලාව භාවිතා කිරීමේ දී ගෞරවය හා උදාර ලීලාව සෑම විට ම තිබෙන බවට ප්‍රවේසමෙන් සැලකිල්ල දක්වනු ලැබේ.
ක්‍රිස්තියානි ලෝකය, මෙම පැත්තෙන් ගෞරවයේ ඉතා මහත් ඌනතාවයක් පිළිබිඹු කොට තිබේ. ඇතැම් ආගමික සංවිධාන තමන්ගේ නමස්කාර ස්ථාන විනෝදාස්වාදය සඳහා සමාජ මධ්‍යස්ථාන වශයෙන් යොදා ගෙන තිබේ. සජීවී ආගමික රොක් සංගීත සංදර්ශන, බර ඉසිලීම සඳහා කාමර, බිලියඩ් මේස, ළදරු සුරැකුම් මධ්‍යස්ථාන සහ ගෘහස්ත සිනමා ශාලා ඔවුනට තිබේ. එක් පල්ලියක ඔවුන්ගේ වැඩසටහනේ කොටසක් වශයෙන් මල්ලවපොර තරඟයක් පැවැත්වූයේ ය. මෙය ප්‍රේරිතයන් විසින් තබන ලද රටාවට අනුකූල යයි සිතීම බොහෝ සෙයින් උගහට ය.
පළමු සියවසේ යම් සභාවක් අනිසි ලෙස ක්‍රියා කළා නම්, එය නිවැරදි කරනු ලැබීම යෝග්‍ය ව තිබිණි. නිදසුනක් වශයෙන්, කොරින්තියේ ක්‍රිස්තියානි සභාවේ ඇතැම්හු ස්වාමීන් වහන්සේගේ සන්ධ්‍යා භෝජනය කෑමට හා බීමට අවස්ථාවක් ලෙස යොදා ගනිමින් සිටියහ. ඔවුන් තමන්ගේ රාත්‍රි කෑම ගෙන ඇවිත් රැස්වීමට පෙර හෝ ඒ අතරතුර අනුභව කළ අතර, සමහරු පමණට වැඩියෙන් කෑම හා බීම ගනිමින් සිටියහ. සැබවින් ම මෙය නම් සුදුසු දෙයක් නොවී ය. ප්‍රේරිත පාවුල් ඔවුන්ට මෙසේ ලීවේ ය: “කිමෙක්ද? කන්ටත් බොන්ටත් නුඹලාට ගෙවල් නැද්ද?”—1 කොරින්ති 11:20-29.
පාවුල්ගේ උපදෙසට අනුකූල වෙමින්, යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවෝ, තමන්ගේ පුද්ගලික කාරණා රාජ්‍යය ශාලාවේ දී නොව, නිවසේ දී හෝ වෙනත් ස්ථානයක දී කර ගැනීමට යත්න දරති. එක ම අවස්ථාවක දී මිත්‍රයන් ගණනාවක් දැක ගැනිමට අපගේ නිති පතා රැස්වීම් අපට පහසු ප්‍රස්තාවක් උදා කරන බව ඇත්ත ය. කෙසේ වුවද, රාජ්‍යය ශාලාව කැප කොට තිබෙන්නේ යෙහෝවඃ වහන්සේට ය, එමනිසා එය සම්පූර්ණයෙන් ම යොදා ගැනෙන්නේ උන් වහන්සේගේ නමස්කාරය උදෙසා ය. ලෞකික ව්‍යාපාර ලුහුබැඳීමට හෝ පුද්ගලික මුදල් ගණුදෙනුවලට හෝ එහි පැමිණීමෙන් අපි වාසි නොගනිමු.
එපමණක් නොව, විවේකය සඳහා වැඩසටහන්වලට, මුදල් ඉපයීමේ ක්‍රියාවලට, හෝ දරුවන් බලා ගැනීම වැනි සමාජ සේවාවන්වලට සභාව විසින් රාජ්‍යය ශාලා භාවිතා නොකෙරේ. යමෙකුට එවැනි පුද්ගලික හා ව්‍යාපාරික කාරණා බලා කියා ගැනීමට වෙනත් ස්ථාන තිබේ.
එක් රාජ්‍යය ශාලාවක වැඩිමහල්ලෝ, සභා සාමාජිකයන් රැස්වීම්වල දී තාවකාලික ව ඉල්ලා ගත් දේ ලබා ගැනීමේ හා ඒවා ආපසු ලබා දීමේ පුරුද්දක නිරත ව සිටි බව දුටහ. තව ද, ඔවුහු රාජ්‍යය ශාලාවේ දී පුරුද්දක් වශයෙන් වීඩියෝ චිත්‍රපට හුවමාරු කර ගනිමින් සිටියහ. මෙම ක්‍රියාව ස්වභාවයෙන් වාණිජමය එකක් නොවුවද, හැකි සෑම වේලාවක දී ම මෙම කාරණා ගැන නිවෙස්වල දී බලා කියා ගැනීමේ ප්‍රඥාව දැකීමට වැඩිමහල්ලෝ ඔවුන් හට උපකාර කළහ.
වැරදි හැඟීමක් දිය හැකි තත්ත්වයන්ගෙන් වැළකී සිටීමට සහ රාජ්‍යය ශාලාව නිසි අයුරින් භාවිතා කරනු ලබන බවට සහතික වීමට, එක් එක් අයට තමන්ගෙන් ම මෙසේ ඇසිය හැක: ‘මා රාජ්‍යය ශාලාවේ දී කරමින් සිටින, නමුත් නිවසේ දී බලා කියා ගත හැකි යම් පුද්ගලික කාරණා තිබේ ද?’ නිදසුනක් වශයෙන්, විනෝද ගමන් හා වෙනත් ආශ්‍රයන් සංවිධානය කිරීමේ දී, එවැනි විධිවිධානයන් නිවසේ දී සාකච්ඡා කිරීම වඩාත් හොඳ නොවනු ඇත් ද? අපට දුරකථනය භාවිතා කළ හැකි ද නැතහොත් අප හමුවීමට බලාපොරොත්තු වන අයගේ නිවෙස්වලට ගොස් හමුවිය හැකි ද? පාවුල්ගේ වදන් ගැන අපට මෙසේ කීමට හැකි ය: ‘එවැනි කාරණා හැසිරවීමට ඇත්තෙන් ම අපට ගෙවල් තිබෙනවා නොවේ ද?’
යෙහෝවඃ වහන්සේට නමස්කාර කිරීමට නියමිත වේලාවක් හා ස්ථානයක්
දේශනාකාරයා 3:1 හි බයිබලය මෙසේ සඳහන් කරයි: “සෑම දේටම ප්‍රස්තාවක්ද අහසින් යට තිබෙන සෑම කාරණවලට [නියමිත NW] කාලයක්ද ඇත.” අප රාජ්‍යය ශාලාවේ රැස්වීම්වලට පැමිණෙන විට, ක්‍රිස්තියානි දේව සේවයට සම්බන්ධ ක්‍රියාකාරකම්වල අපට අප ව ම මුළුමනින් ම යොදවා ගත හැක. එය යෙහෝවඃ වහන්සේට නමස්කාර කිරීමට නියමිත කාලයයි.
ක්‍රිස්තියානි සභාව ඇතුළත පක්ෂ ග්‍රාහී බව පෙන්වීමට එරෙහි ව යේසුස් වහන්සේගේ අර්ධ සහෝදර යාකොබ් උපදෙස් දුන්නේ ය. (යාකොබ් 2:1-9) අපගේ රාජ්‍යය ශාලාවේ දී මෙම උපදෙස් අදාළ කිරීමට අපට හැක්කේ කෙසේ ද? යම් යම් උත්සවයන් සඳහා ලිඛිත ආරාධනා පැහැදිලි ව පෙනෙන පරිදි එහි දී අතිනතට යවන විට පක්ෂ ග්‍රාහී බවේ පෙනුමක් දිය හැක. එක් සභාවක, එවැනි ආරාධනා, පැමිණ සිටින අයගේ පොත් මලුවල හෝ බයිබල් තුළ බහා තැබීමේ පුරුද්දක් තිබිණි. එම ආරාධනා පත් තැපෑලෙන් යවනවාට හෝ එක් එක් නිවසට ගෙන ගොස් බෙදා දෙනවාට වඩා එය බොහෝ පහසු බව ඇත්ත ය. කෙසේ වුවද, එම ආරාධනාවක් නොලබන අය, වෙනත් අය හට එම ආරාධනා පත් බෙදා දී ඇති බව දැන ගත් විට, ඔවුන්ට කෙසේ හැඟී යයි ද? මෙය පක්ෂ ග්‍රාහී බවේ පෙනුමක් දිය හැකි ද?
ඇත්ත වශයෙන් ම, කිසිවෙකුට රාජ්‍යය ශාලාවේ දී කිසි ම පුද්ගලික පණිවුඩයක් හෝ පාර්සලයක් තවත් කෙනෙකුට දෙන්නට නොහැකි යයි පවසන දැඩි නීතියක් තිබීම අවශ්‍ය නැත; එමෙන් ම රාජ්‍යය ශාලාවේ දී එදිනෙදා සිදුවීම් ගැන කථා බහ කිරීම, යමෙකුට ඔබගේ නිවසට ආරාධනා කිරීම, හෝ යමෙකුට ඔබ සමඟ විවේකයක් ගත කිරීමට ආරාධනා කිරීම වැරදි දෙයක් නොවේ. එහෙත් මේවා අනියම් වශයෙන් සිදු විය යුතු අතර, කළ යුත්තේ නුවණක්කාර ව හා ප්‍රසිද්ධියක් නැති ව විනීත ආකාරයකිනි. පුද්ගලික විධිවිධානයන්, අප රාජ්‍යය ශාලාවේ එකට රැස්වීමේ සැබෑ අරමුණ එනම් ආත්මික ව ඥානාභිවෘද්ධිය ලැබීමෙන් කිසිවිටෙකත් අප ව බාධාවට පත් නොකළ යුතු ය.—මතෙව් 6:33; පිලිප්පි 1:10.
ආදර්ශය තබන පුරුෂයෝ
වැඩිමහල්ලෝ සහ උපස්ථායක සේවකයෝ රාජ්‍යය ශාලාව උදෙසා ගෞරවය දැක්වීමේ ලා ජ්වලිත ලෙස ආදර්ශය තබති. සාමාන්‍යයෙන්, රාජ්‍යය ශාලාවේ පැවැත්ම සම්බන්ධයෙන් කාරණා කටයුතු සම්බන්ධීකරණය කිරීමට පත් කරන ලද වැඩිමහල්ලන් හා උපස්ථායක සේවකයන් එක්කෙනෙකු හෝ දෙදෙනෙකු සිටිති. එක් සභාවකට වඩා වැඩි ගණනක් එක ම රාජ්‍යය ශාලාවක් භාවිතා කරන අවස්ථාවල, වැඩිමහල්ලන්ගේ කමිටුවක් මෙම කාරණා අධීක්ෂණය කරති.
එවැනි යුතුකම් ගැන වග බලා ගැනීමට යම් යම් අය ව විශේෂයෙන් පත් කොට ඇති අතරේ දී, උපස්ථායක සේවකයන් හා වැඩිමහල්ලන් සියලු දෙනා ම ශාලාව සම්බන්ධයෙන් අව්‍යාජ උනන්දුවක් විදහා දැක්විය යුතු ය. රාජ්‍යය ශාලාව යෙහෝවඃ වහන්සේට කැප කොට තිබෙන බවත්, උන් වහන්සේගේ නමස්කාරය උදෙසා භාවිතා වන බවත් ඔවුහු වටහා ගනිති.
අලුත් වැඩියා කිරීම සම්බන්ධ ව අවශ්‍යතාවයක් පවතින විට වැඩිමහල්ලන් එය කල් නොදැමිය යුතු ය. (2 ලේකම් 24:5, 13; 29:3; 34:8; නෙහෙමියා 10:39; 13:11) ඇතැම් සභාවල, අවශ්‍ය කරන යම් අලුත්වැඩියා කටයුතුවලට සැනෙකින් අවධානය යොමු කිරීම සඳහා නිති පතා රාජ්‍යය ශාලාව පරීක්ෂා කරනු ලැබේ. අවශ්‍ය දේවල් ළඟ ම තිබෙන බවටත් ඒවා පාවිච්චි කළ හැකි බවටත් සහතික වීමට යම් බඩු ලයිස්තු පත්, පවත්වා ගෙන යනු ලැබේ. යම් තොග බඩු, ආවුද, සහ පිරිසිදු කිරීමේ උපකරණ ගබඩා කිරීමට යම් නියමිත තැනක් වෙන් කොට තිබේ නම්, ඒවා පිළිවෙළකට තිබෙන බවට සහතික වීම සඳහා වැඩිමහල්ලන් සහ උපස්ථායක සේවකයන් සියල්ලන් ම ඒවායේ තත්ත්වය ගැන උනන්දුවක් දැක්විය යුතු ය. හිස් පෙටිට් ශාලාවේ ගොඩගැසී තිබේ නම්, ඒවා විගස ඉවත් කර දැමීමට උනන්දු වීමට පොත් පත් සහ සඟරා කවුන්ටරවල සේවය කරන අයට හැකි ය.
රාජ්‍යය ශාලාව කෙරෙහි ජ්වලිතයක් විදහා පාන්නට සභාවේ සිටින සෙසු අයට උපකාර කිරීමට, ආදර්ශයක් තැබීමෙන් වැඩිමහල්ලන්ට හා උපස්ථායකයන්ට හැකි වෙයි. (හෙබ්‍රෙව් 13:7) ශාලාව පිරිසිදු කිරීමට හවුල් වීමෙන් හා එහි සාමාන්‍ය පෙනුම ගැන අව්‍යාජ උනන්දුවක් දැක්වීමෙන් නිසි ගෞරවය පෙන්වීමට සියල්ලන්ට ම හැක.
යේසුස් වහන්සේ මතෙව් 18:20 හි මෙසේ පැවසූ සේක: “දෙදෙනෙක් හෝ තුන්දෙනෙක් හෝ මාගේ නාමයෙන් යම් තැනක රැස්ව සිටිත් නම් මම එතැන ඔවුන් මැද සිටිමි.” එසේ ය, අප යෙහෝවඃ වහන්සේට නමස්කාර කිරීමට එකට රැස්වන විට, අප කරන දෙය ගැන යේසුස් වහන්සේ උනන්දු වන සේක. පුද්ගලික නිවෙස්වල පැවැත්වෙන ඕනෑ ම රැස්වීමක් සහ සමුළු හෝ එක්රැස් වීම් වැනි විශාල රැස්වීම් මීට ඇතුළත් වෙයි.
මිලියන ගණනක් යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් හට, තමන්ගේ නිති පතා නමස්කාර ස්ථානය වන රාජ්‍යය ශාලාවට වඩා තම හදවතට ළං වී තිබෙන වෙන කිසිදු ස්ථානයක් නැත. ඔවුහු එම ස්ථානයට නිසි ගෞරවය පෙන්වති. එය රැක බලා ගැනීමේ දී ඔවුහු කඩිසර ස්වභාවයක් පෙන්නුම් කරන අතර, එය හැම විට ම නිසි ලෙස භාවිතා කිරීමට ඔවුහු යත්න දරති. යෙහෝවඃ වහන්සේ ම දෙන මෙම අවවාදය ඔබ ද අනුගමනය කරාවා: “නුඹ [සැබෑ NW] දෙවියන්වහන්සේගේ ගෘහයට යන විට නුඹේ පාද බලාගනින්න.”—දේශනාකාරයා 5:1.