ක්‍රියා
22 “සහෝදරයෙනි,+ පියවරුනි, මට සවන් දෙන්න. මම කැමතියි සිදු වී ඇති දේවල් ඔබට විස්තර කරන්න.”+ 2 (ඔහු හෙබ්‍රෙව් බසින්+ කතා කරනවා ඔවුන්ට ඇසුණු විට දැඩි නිශ්ශබ්දතාවක් ඇති විය. ඔහු පැවසුවේ මෙසේය.) 3 “මම යුදෙව්වෙක්.+ මම සිලීසියා ප්‍රදේශයේ ටාසස් නම් නුවරේ උපන් කෙනෙක්.+ මම අධ්‍යාපනය ලැබුවේ මේ නුවරේ ගමාලියෙල්ගේ පාමුල ඉඳගෙනයි.+ අපේ මුතුන්මිත්තන්ගෙන් පැවතෙන නීතිය අකුරටම පිළිපදින්න මට ඉගැන්නුවා.+ ඒ නිසා අද මෙහි සිටින ඔබ සියලුදෙනාටම වගේ මටත් දෙවි ගැන දැවෙන උද්යෝගයක් තිබුණා.+ 4 ඉතින් මම මේ, ‘මාර්ගය’ අනුගමනය කරන ස්ත්‍රීන් හා පුරුෂයන් සියලුදෙනාටම පීඩා කළා. ඔවුන්ව දම්වැල්වලින් බැඳ සිරගෙට දැම්මා.+ මට අවශ්‍ය වුණේ සියලුදෙනාවම නැති කර දමන්නයි.+ 5 මා කළ දේවලට සාක්ෂි ඔබට උත්තම පූජකයාගෙනුත් වැඩිමහල්ලන් සියලුදෙනාගෙනුත්+ ලබාගන්න පුළුවන්. දමස්කයේ සිටි ඔවුන්ගේ සෙසු සහෝදරයන්ට පෙන්නන්න මම ඔවුන්ගෙන් ලිපි කිහිපයකුත් ඉල්ලගත්තා.+ ඒ ලිපි ඉල්ලගත්තේ දමස්කයේ සිටි අයව අල්ලාගැනීමට අවශ්‍ය අවසරය ලබාගන්නයි. මට අවශ්‍ය වුණේ ඔවුන්ව දම්වැල්වලින් බැඳ යෙරුසලමට ගෙනැවිත් ඔවුන්ට දඬුවම් දීමටයි.
6 “පසුව මම ඒ සඳහා දමස්කයට ළඟා වෙමින් සිටියා. ඒ සිද්ධිය වන විට ඉර මුදුන් වී තිබුණා. එකවරම අහසෙන් පැමිණි ප්‍රබල ආලෝකයක් මා වටා විහිදී ගියා.+ 7 ඒ මොහොතේම මම බිම ඇද වැටුණා. එවිට, ‘සාවුල්, සාවුල්, ඔබ මට පීඩා කරන්නේ ඇයි’+ කියා පවසන හඬක් මට ඇසුණා. 8 ‘ස්වාමීනි, ඔබ කවුද’ කියා මම ඇසූ විට ඒ හඬ මට පැවසුවේ මෙයයි. ‘මම නාසරෙත් නුවරේ යේසුස්. ඔබ පීඩා කරන්නේ මටයි.’+ 9 මා සමඟ පැමිණි මිනිසුන්+ ඒ ආලෝකය දැක්කත් මට කතා කළ ඒ හඬ ඔවුන්ට ඇහුණේ නැහැ.+ 10 ‘ස්වාමීනි, මා කළ යුත්තේ කුමක්ද’+ කියා මම ඇසුවා. එවිට ස්වාමීන් මට පැවසුවේ මෙයයි. ‘දැන් නැඟිට දමස්කයට යන්න. ඔබට කරන්න තිබෙන දේවල් ගැන එහිදී ඔබට දැනගන්න ලැබෙයි.’+ 11 ඒ ආලෝකය කොතරම් දීප්තිමත්ව බැබළුණාද කියනවා නම් මට වෙන කිසි දෙයක් පෙනුණේ නැහැ. මා සමඟ සිටි අය මගේ අතින් අල්ලගෙන තමයි මාව දමස්කයට ගෙනාවේ.+
12 “නීතිය හොඳින් පිළිපැද්ද ඉතා භක්තිවන්ත මිනිසෙක් වූ අනනියස් එහි සිටියා. ඔහු එහි සිටි සියලුදෙනා අතර හොඳ නමක් දිනාගෙන තිබුණු කෙනෙක්.+ 13 ඔහු මා ළඟට ඇවිත්, ‘මගේ සහෝදර සාවුල්, දැන් ඔබේ පෙනීම ඔබට නැවත ලැබෙයි’+ කියා මට කිව්වා. ඒ මොහොතේම මට පෙනීම ලැබුණු නිසා ඔහුව දැකගන්න මට හැකි වුණා. 14 ඉන්පසු ඔහු මට මෙහෙම කිව්වා. ‘අපේ මුතුන්මිත්තන්ගේ දෙවි+ ඔහුගේ කැමැත්ත ගැන දැනුම් දෙන්න ඔබව තෝරාගෙන තිබෙනවා.+ ඒ වගේම ධර්මිෂ්ඨ තැනැත්තාව+ දකින්නත්+ ඔහුගේ කටහඬ අසන්නත්+ ඔබව තෝරාගෙන තිබෙනවා. 15 එසේ කළේ ඔබ ඔහු වෙනුවෙන් සාක්ෂිකරුවෙක් වන නිසයි. ඒ නිසා ඔබ ඇසූ දුටු දේ ගැන සියලු මිනිසුන්ට දැනුම් දිය යුතුයි.+ 16 ඉතින්, ඔබ තවත් ප්‍රමාද වන්නේ ඇයි? නැඟිට, බව්තීස්ම වී+ යේසුස්ගේ නම කියා කන්නලව් කරන්න.+ ඔබේ පව්වලට සමාව ලබාගෙන පවිත්‍ර වෙන්න.’+
17 “ඉන්පසු මා නැවත යෙරුසලමට ගියා.+ දවසක් මම දේවමාලිගාවේ යාච්ඤා කරමින් සිටියදී දර්ශනයක් දැක්කා.+ 18 මම දැක්කේ ස්වාමීන්වයි. ඔහු මට මෙසේ පැවසුවා. ‘ඉක්මනින් යෙරුසලමෙන් පිට වෙන්න. මන්ද මා ගැන ඔබ සාක්ෂි දැරුවත් ඔවුන් එය පිළිගන්නේ නැහැ.’+ 19 එවිට මම මෙහෙම කිව්වා. ‘ස්වාමීනි, මා සිනගෝගයක් සිනගෝගයක් පාසා ගොස් ඔබ කෙරෙහි විශ්වාසය තැබූ අයව+ සිරගත කළ බවත්+ ඔවුන්ට හොඳටම තැළූ බවත් ඒ අය හොඳින්ම දන්නවා. 20 ඒ වගේම ඔබේ සාක්ෂිකරු වූ ස්තේපන්ගේ ලේ+ වැගිරවූ විට මමත් එතැනට වී ඔහුව මරා දමන්න හවුල් වූ අයගේ වස්ත්‍ර ආරක්ෂා කරගෙන සිටියා. ඔවුන් කළ දේට මම සහයෝගය දුන්නා.’+ 21 ඒ වුණත් ස්වාමීන් මට පැවසුවේ මෙයයි. ‘මම ඔබව දුර බැහැර සිටින ජාතීන් වෙතට යවනවා.+ ඒ නිසා දැන් යන්න සූදානම් වෙන්න.’”
22 ඒ වන තුරු ඔහුට සවන් දෙමින් සිටි සමූහයා මහත් හඬකින් මෙසේ කියන්න පටන්ගත්තෝය. “මේ වගේ මිනිසෙක් තවත් ජීවත් වෙන්න සුදුසු නැහැ. ඔහුව මරා දමන්න!”+ 23 ඔවුහු කෑගසමින්ද තමන්ගේ පිට වස්ත්‍ර ගලවා විසි කරමින්ද දූවිලි ඉහළට විසි කරමින්ද සිටියෝය.+ 24 මේ අතර පාවුල්ව හමුදා කඳවුරට ගෙන යන ලෙස අණ කළ හමුදාපති, ඔහුට කසයෙන් තළා ඔහු ගැන විභාග කළ යුතු බව කීවේය. ඔහුට අවශ්‍ය වූයේ සෙනඟ පාවුල්ට විරුද්ධව එලෙස කෑගසමින්+ සිටියේ ඇයි කියා දැනගැනීමටය. 25 පාවුල්ට කසයෙන් පහර දීමට ඔවුන් ඔහුගේ දෑත් ඔසවා ඔහුව බැඳ දැමූ විට ඔහු තමන් අසල සිටි හමුදා නිලධාරියාට මෙසේ පැවසුවේය. “වරදකරුවෙක් හැටියට ඔප්පු කර නැති රෝම පුරවැසියෙකුට+ මෙහෙම කසයෙන් තළන්න ඔබට නීතියෙන් අවසර තිබෙනවාද?” 26 එය ඇසූ හමුදා නිලධාරියා හමුදාපති වෙතට ගොස්, “මේ මිනිසා රෝම පුරවැසියෙක්. ඒ නිසා අපි දැන් මොනවද කරන්නේ” කියා ඇසුවේය. 27 හමුදාපති ඔහු ළඟට ඇවිත්, “මට කියන්න, ඔබ රෝම පුරවැසියෙක්ද”+ කියා ඔහුගෙන් ඇසුවේය. ඔහු, “ඔව්” කියා පිළිතුරු දුන්නේය. 28 එවිට හමුදාපති, “මම නම් මගේ පුරවැසිකම ලබාගත්තේ විශාල මුදලක් ගෙවලයි” කියා පැවසුවේය. එවිට පාවුල්, “මම උපන් දා ඉඳලම රෝම පුරවැසියෙක්”+ කියා පිළිතුරු දුන්නේය.
29 ඒ දේ ඇසූ වහාම ඔහුට වධ හිංසා දී ඔහුගෙන් ප්‍රශ්න ඇසීමට සූදානම්ව සිටි පිරිස ඔහුගෙන් ඉවත් වී ගියෝය. රෝම පුරවැසියෙකු වූ+ ඔහුව දම්වැල්වලින් බැඳ තැබූ නිසා හමුදාපති තුළද බියක් ඇති විය.
30 යුදෙව්වරුන් ඔහුට විරුද්ධව එල්ල කරමින් සිටියේ කවර අන්දමේ චෝදනාවක්ද කියා නිසි ලෙස දැනගැනීමට හමුදාපතිට අවශ්‍ය විය. ඒ නිසා ඔහු ඊළඟ දිනයේදී පාවුල්ගේ දම්වැල් ඉවත් කර, නායක පූජකයන්ට හා මුළු මන්ත්‍රණ සභාවට රැස් වෙන්න කියා අණ කළේය. ඔවුන් රැස් වූ විට ඔහු පාවුල්ව ඔවුන් ඉදිරියට ගෙනාවේය.+