ලූක්
21 යේසුස් අවට බැලූ විට ධනවතුන් තම පරිත්‍යාග මුදල් බඳුන්වලට දමනවා දුටුවේය.+ 2 මේ අතර එක්තරා දිලිඳු වැන්දඹුවක්ද ඇවිත් ඉතා සුළු වටිනාකමක් ඇති කුඩා කාසි දෙකක් එහි දමනවා+ දුටු ඔහු, 3 මෙසේ කීවේය. “ඇත්තෙන්ම මා ඔබට කියන්නේ, මේ වැන්දඹුව දුප්පත් වුණත් ඇය අන් සියලුදෙනාටම වඩා වැඩියෙන් දැමූ බවයි.+ 4 මන්ද සියලුදෙනාම පරිත්‍යාග කළේ තමන්ට වැඩිපුර තිබුණු දෙයිනුයි. නමුත් ඇයට අගහිඟකම් තිබුණත් තම ජීවිතය ගෙන යෑමට තිබුණු සියල්ලම ඇය දැම්මා.”+
5 පසු අවස්ථාවකදී දේවමාලිගාව මිල අධික ගල්වලින් හා දෙවිට පිදූ විවිධ දේවලින් අලංකාරවත් කර තිබූ අන්දම ගැන සමහරු කතා කරමින් සිටියෝය.+ 6 එවිට ඔහු, “ඔබ දකින මේ දේවල් සියල්ල නැති වී යන කාලයක් ඉදිරියට එයි. එදාට මෙහි තිබෙන සෑම ගලක්ම බිමට හෙළනු ලබනවා”+ කියා පැවසුවේය. 7 එවිට ඔවුහු ඔහුගෙන් මෙසේ ප්‍රශ්න කළෝය. “ගුරුතුමනි, ඔබ පැවසූ ඒ දේ ඇත්තටම සිදු වන්නේ කවදාද? ඒ වගේම මේ සියල්ල සිදු වීමට නියමිත කාලය දැනගන්න කුමක් හෝ ලකුණක් තිබෙනවාද?”+ 8 ඔහු මෙසේ කීවේය. “කිසිම දෙයකින් නොමඟ යන්න එපා.+ මන්ද ‘මම ක්‍රිස්තුස්’ කියාත් ‘නියමිත කාලය ඇවිල්ලා’+ කියාත් පවසමින් බොහෝදෙනෙක් මගේ නාමයෙන් එයි. ඔවුන් පසුපස යන්න එපා. 9 ඒ වගේම ඔබට යුද්ධ කෝලහල ගැන අසන්න ලැබෙයි. ඒ වුණත් භය වෙන්න එපා.+ මන්ද ඒ දේවල් මුලින්ම සිදු විය යුතුයි. නමුත් අවසානය ඒ අවස්ථාවේදීම පැමිණෙන්නේ නැති බව මතක තබාගන්න.”
10 ඔහු ඔවුන්ට මෙසේද කීවේය. “ජාතියක් තවත් ජාතියකට විරුද්ධවත්+ රාජ්‍යයක් තවත් රාජ්‍යයකට විරුද්ධවත්+ යුද්ධ කරයි. 11 මහත් භූමිකම්පාත් ඇති වෙයි. ඒ වගේම එක් තැනක් පාසා තවත් තැනක වසංගතද ආහාර හිඟකම්ද ඇති වෙයි.+ මිනිස්සු බිහිසුණු දේවල් දකින අතර ඔවුන් අහසෙහි* සිදු වන පුදුමාකාර ලකුණුද දකියි.+
12 “නමුත් ඒ සියල්ලට කලින් මිනිසුන් ඔබව අල්ලාගෙන සිනගෝගවලටත් සිරගෙවල්වලටත් භාර දී ඔබට පීඩා කරයි.+ ඔබ මගේ නාමය දරන නිසා ඔබව රජුන් සහ ආණ්ඩුකාරයන් ඉදිරියට ඇදගෙන යනු ලබයි.+ 13 එයින් ඔබට සාක්ෂි දරන්න ප්‍රස්තාවක් උදා වෙයි.+ 14 ඔබ නිදොස් බව ඔප්පු කර පෙන්වන්නේ කෙසේද කියා සිතමින් කරදර වෙන්න එපා.+ 15 මන්ද ඒ අවස්ථාවේදී මම ඔබට ප්‍රඥාවන්තව කතා කරන්න හැකියාව ලබා දෙනවා. ඒ නිසා ඔබ පවසන දේවලට විරුද්ධව දේවල් කියන්න ඔබට විරුද්ධව නැඟී සිටින අයට කොහොමටවත් බැරි වෙයි.+ 16 ඔබේ දෙමාපියන්,+ සහෝදරයන්, නෑදෑයන් හා මිතුරන් පවා ඔබව පාවා දෙයි. ඔවුන් ඔබෙන් සමහරදෙනෙකුව මරණයටත් පත් කරයි.+ 17 ඔබ මගේ නාමය දරන නිසා සියලුදෙනා ඔබට වෛර කරයි.+ 18 ඒ වුණත් ඔබේ එක කෙස්ගසකටවත්+ හානියක් සිදු වන්නේ නැහැ. 19 ඔබ විඳදරාගෙන සිටියොත් ඔබට ගැලවීම ලැබෙයි.+
20 “සේනාවන් ඇවිත් යෙරුසලම වටා කඳවුරු බැඳගෙන සිටින ආකාරය+ ඔබ දකින විට යෙරුසලමේ විනාශය ළඟා වී ඇති බව ඔබ දැනගත යුතුයි.+ 21 යුදයේ සිටින අය කඳුවලට පලා යා යුතුයි. යෙරුසලම තුළ සිටින අය නුවරින් ඉවත් විය යුතු අතර ගම්බද පළාත්වල සිටින අය නුවරට ඇතුල් වීමෙන් වැළකී සිටිය යුතුයි.+ 22 මන්ද ලියා තිබෙන සියල්ල ඉටු වීම සඳහා ඒ දවස්වලදී දෙවි තම විනිශ්චය ක්‍රියාත්මක කරයි.+ 23 ඒ දවස්වලදී ගැබිනි මව්වරුන්ටත් කිරි දෙන මව්වරුන්ටත් මහත් දුෂ්කරතා ඇති වෙයි!+ දැඩි අසීරුතාවලට මුහුණ දෙන්න සිදු වන දේශයේ වැසියන්ට දෙවිගෙන්ද දඬුවම් ලැබෙයි. 24 ඔවුන් කඩු පහර කා මැරී වැටෙයි. ඔවුන්ව සෑම ජාතියක් වෙතටම වහලුන් ලෙස ගෙන යනු ලබයි.+ යෙරුසලම වෙනත් ජාතීන් විසින් පාගා දමනු ලබයි. එම ජාතීන් සඳහා නියමිත වූ කාලය+ නිම වන තුරු ඒ දේ දිගටම සිදු වෙයි.
25 “මේ අතර ඉර,+ සඳ හා තාරකාවල ලකුණු දකින්න ලැබෙයි. මුහුද+ කැලඹී+ එයින් මහත් ඝෝෂාවක් හටගන්නා නිසා පොළොවේ ජාතීන් ගැලවීමට කිසි මඟක් නොදකිමින් දැඩි වේදනා අද්දකියි. 26 ඒ අතරතුර ලොවට සිදු වෙන්න යන දේවල් ගැන මිනිසුන් නිතරම කල්පනා කරමින් සිටින නිසාත්+ ඔවුන්ට දැනෙන බිය නිසාත් ඔවුන් ක්ලාන්ත වී ඇද වැටෙයි.+ මන්ද අහසේ තිබෙන සියලු බලයන් සොලවනු ලබයි.+ 27 එවිට මනුෂ්‍ය පුත්‍රයා+ බලයෙන්ද මහත් තේජසකින්ද වලාකුළක එන ආකාරය දැකගන්න ඔවුන්ට හැකි වෙයි.+ 28 නමුත් ඒ දේ සිදු වෙන්න පටන්ගන්නා විට ඔබ ධෛර්යය උපදවාගෙන නැඟිටින්න. ඔබේ හිස් ඔසවන්න. මන්ද ඔබේ ගැලවීම ළඟයි.”
29 යේසුස් ඊළඟට ඔවුන්ට මෙම උපමාව විස්තර කළේය. “අත්තික්කා ගස ගැනත් අනිකුත් ගස් ගැනත් කල්පනා කර බලන්න.+ 30 එම ගස්වල දලු ලියලා ඇති විට ගිම්හානය ළඟ බව ඔබ දන්නවා.+ 31 එලෙසම ඔබ මේ දේවල් සිදු වෙනවා දකින විට දෙවිගේ රාජ්‍යය ළඟ බව දැනගන්න.+ 32 ඇත්තෙන්ම මා ඔබට කියන්නේ, සියල්ල සිදු වන තුරු මේ පරම්පරාව පහව යන්නේ නැති බවයි.+ 33 අහස පොළොව පහව ගියත්+ මා පැවසූ වචන පහව යන්නේ නැහැ.+
34 “ඔබ ගැන හොඳ අවධානයකින් සිටින්න. එසේ නොකළොත් අධික+ කෑමෙන් හා බීමෙන් නැතහොත් එදිනෙදා ජීවිතයේ ඇති වන කරදර නිසා+ ඔබේ සිත් බර විය හැකියි. එවිට හදිස්සියේම ඔබ නොසිතූ මොහොතක ඒ දවසට මුහුණ දෙන්න ඔබට සිදු වෙයි.+ 35 එවිට එම දවස ඔබට උගුලක් වෙයි.+ පොළොව පුරා ජීවත් වන සෑම කෙනෙකුටම ඒ දවසට මුහුණ දෙන්න සිදු වෙයි.+ 36 එමනිසා අවදිව සිටින්න.+ නිතරම දෙවිට කන්නලව් කරමින් සිටින්න.+ එවිට අනිවාර්යයෙන්ම පැමිණෙන ඒ සියල්ලෙන් ගැලවී මනුෂ්‍ය පුත්‍රයා ඉදිරියෙහි පෙනී සිටීමට ඔබට හැකි වෙයි.”+
37 එලෙස ඔහු දිවා කාලයේදී දේවමාලිගාවේ ඉගැන්වූවේය.+ රාත්‍රි කාලයේදී ඔලීව කන්ද කියා හැඳින්වූ කන්දෙහි පිහිටි එක්තරා ස්ථානයක ඔහු නවාතැන් ගත්තේය.+ 38 සියලුම ජනයා+ ඔහුට සවන් දීම සඳහා දේවමාලිගාවට උදෑසනින්ම ආවෝය.