මතෙව්
22 ඔවුන්ට තවත් කාරණා පැවසීම සඳහා යේසුස් නැවතත් උපමා යොදාගනිමින් මෙසේ කීවේය.+ 2 “තම පුත්‍රයාගේ විවාහය වෙනුවෙන් උත්සවයක්+ පිළියෙල කළ රජෙකුට ස්වර්ග රාජ්‍යය සමාන කළ හැකියි. 3 විවාහ උත්සවය+ සඳහා ආරාධනා කළ අයව කැඳවාගෙන ඒමට ඔහු තම දාසයන්ව යැව්වත් ඒ ආරාධිතයන් එන්න කැමති වුණේ නැහැ.+ 4 නැවත වරක් ඔහු තවත් දාසයන් කිහිපදෙනෙකුව යවා,+ ‘“මෙන්න! දහවල් භෝජනය පිළියෙල කර තිබෙනවා.+ මගේ ගවයන්වත් තර කළ සතුන්වත් මරා, සියල්ල සූදානම් කර තිබෙනවා. විවාහ උත්සවයට එන්න” කියා ආරාධිතයන්ට කියන්න’+ කියා පැවසුවා. 5 නමුත් ආරාධිතයන් එය නොසලකා, කෙනෙක් තමාගේම කෙතටත් තව කෙනෙක් තමාගේ ව්‍යාපාරික කටයුතු සඳහාත් ගියා.+ 6 නමුත් අනික් අය එම දාසයන්ව අල්ලාගෙන ඔවුන්ට අගෞරවනීය ලෙස සලකා ඔවුන්ව මරා දැමුවා.+
7 “රජ උදහස් වී, තමාගේ සේනාව යවා ඒ මිනී මරුවන්ව විනාශ කර ඔවුන්ගේ නුවර ගිනිබත් කළා.+ 8 ඉන්පසු ඔහු තම දාසයන්ව කැඳවා, ‘විවාහ උත්සවය සූදානම් කර තිබෙනවා. නමුත් ආරාධිතයන් ඊට හවුල් වීමට වටින අය නම් නොවෙයි.+ 9 ඒ නිසා නුවරින් පිට විහිදී ඇති මාවත්වලට ගොස් ඔබට හමු වන සියල්ලන්ටම විවාහ උත්සවයට ආරාධනා කරන්න’+ කියා පැවසුවා. 10 ඒ අනුව එම දාසයන් මාවත්වලට ගොස් තමුන්ට හමු වූ සියල්ලන්ව එනම්, දුෂ්ට හා යහපත් යන දෙපිරිසම+ එකට රැස් කළා. කෑමට ඉඳගෙන සිටි අයගෙන් විවාහ උත්සව ශාලාව පිරී ගියා.+
11 “අමුත්තන්ව බැලීමට රජ පැමිණි විට උත්සවයට සුදුසු නැති වස්ත්‍රයක් ඇඳගෙන සිටි+ මිනිසෙකුව ඔහු දුටුවා. 12 එහෙයින් ඔහු ඒ මිනිසාට කතා කරමින්, ‘ඔබ උත්සවයට සුදුසු වස්ත්‍රයක්+ අඳින්නේ නැතුව මෙතැනට ඇතුල් වුණේ කොහොමද’ කියා ඇසුවා. එයට කිසි පිළිතුරක් දීමට ඒ මිනිසාට හැකි වුණේ නැහැ. 13 එවිට රජ තම සේවකයන්ව කැඳවා, ‘මොහුගේ අත් පා බැඳ, පිටතට ඇද දමා අන්ධකාරයට දමන්න. එහිදී ඔහුට හඬමින්ද දත්මිටි කමින්ද කල් ගෙවන්න සිදු වෙයි’+ කියා ඔවුන්ට පැවසුවා.
14 “ආරාධිතයන් නම් බොහෝයි. නමුත් තෝරාගන්නේ ස්වල්පදෙනෙක්වයි.”+
15 එවිට පරිසිවරු ගොස් ඔහු පවසන දෙයකින් ඔහුව අසු කරගන්නේ කෙසේද කියා සාකච්ඡා කළහ.+ 16 ඒ අනුව ඔවුහු තම ගෝලයන්වද හෙරොද්ට පක්ෂව සිටි අයවද+ යේසුස් ළඟට යවා මෙසේ කියන්න කියා ඔවුන්ට පැවසූහ. “ගුරුතුමනි, ඔබ සත්‍යය කතා කරන බවත් දෙවි පෙන්වා දෙන මාර්ගය උගන්වන්නේ සත්‍ය කාරණා පදනම් කරගෙන බවත් අපි දන්නවා. ඔබ මිනිසුන්ගේ බාහිර පෙනුම දෙස බලන්නේ නැති නිසා+ ඔබ කිසිවෙකුටවත් විශේෂ සැලකිල්ලක් නොදක්වන බවත් අපි දන්නවා. 17 ඒ නිසා ඔබ මේ ගැන සිතන්නේ කුමක්ද? සීසර්ට බදු ගෙවිය යුතුද නැද්ද+ කියා අපට කියන්න.” 18 නමුත් යේසුස් ඔවුන්ගේ දුෂ්ට අදහස තේරුම්ගෙන මෙසේ කීවේය. “ඔබ මොන තරම් කුහකයෝද? ඔබ මගේ වරදක් අල්ලාගන්න උත්සාහ කරන්නේ ඇයි?+ 19 බදු ගෙවීමට භාවිත කරන කාසියක් මට දෙන්න.” ඔවුහු ඔහුට ඩිනාරි කාසියක්* දුන්නෝය. 20 එවිට ඔහු, “මෙහි තිබෙන රූපයත් නමත් කාගේද”+ කියා ඔවුන්ගෙන් ඇසුවේය. 21 “සීසර්ගේ” කියා ඔවුහු පිළිතුරු දුන්නෝය. එවිට ඔහු, “එසේනම් සීසර්ට අයිති දේ සීසර්ට දෙන්න. දෙවිට අයිති දේ දෙවිට දෙන්න”+ කියා ඔවුන්ට පැවසුවේය. 22 එය ඇසූ ඔවුහු මවිතයට පත් වී ඔහුව අත්හැර ගියහ.+
23 මිය ගිය අය නැවත නැඟිටින්නේ නැති බව කියන සද්දුසිවරුන් පිරිසක් එදිනම ඔහු ළඟට ඇවිත් ඔහුගෙන් මෙසේ ඇසූහ.+ 24 “ගුරුතුමනි, ‘මිනිසෙකු දරුවන් නැතුව මිය ගියොත් ඔහුගේ සහෝදරයෙක් ඔහුගේ බිරිඳව විවාහ කරගෙන තම සහෝදරයාගේ නමින් දරුවන් බිහි කළ යුතුයි’+ කියා මෝසෙස් පැවසුවා. 25 අප අතර සහෝදරයන් හත්දෙනෙක් සිටියා. පළමුවෙනියා විවාහ වූ පසුව මිය ගියා. ඔහුට දරුවන් නොසිටි නිසා ඔහුගේ බිරිඳව ඔහුගේ සහෝදරයාට විවාහ කර දුන්නා.+ 26 දෙවෙනියාත් තුන්වෙනියාත් දරුවන් නැතුව මිය ගියා. එයාකාරයට හත්දෙනාම ඇයව විවාහ කරගත්තත් ඔවුන් සියලුදෙනාම දරුවන් නැතුව මිය ගියා.+ 27 පසුව ස්ත්‍රියත් මිය ගියා. 28 ඒ හත්දෙනාම ඇයව විවාහ කරගත් නිසා නැවත නැඟිටීමේදී ඇය බිරිඳ වෙන්නේ ඒ හත්දෙනා අතරින් කුමන කෙනාගේද?”+
29 යේසුස් ඔවුන්ට මෙසේ පිළිතුරු දුන්නේය. “ශුද්ධ ලියවිල්ල ගැනවත් දෙවිගේ බලය ක්‍රියා කරන ආකාරය ගැනවත් හරි අවබෝධයක් නැති ඔබ, මේ ගැන ලබා තිබෙන්නේ වැරදි වැටහීමක්.+ 30 මන්ද නැවත නැඟිටීමේදී මිනිසුන් විවාහ වෙන්නේවත් ස්ත්‍රීන්ව විවාහ කර දෙන්නේවත් නැහැ.+ නමුත් ඔවුන් ස්වර්ගයේ සිටින දේවදූතයන් හා සමාන වෙනවා. 31 මිය ගිය අය නැවත නැඟිටින ආකාරය ගැන දෙවි විසින් ඔබට කී මේ දේ ඔබ කියවා නැද්ද?+ එනම්, 32 ‘ආබ්‍රහම්ගේ, ඊසාක්ගේ සහ යාකොබ්ගේ දෙවි මමය.’+ දෙවි මිය ගිය අයගේ නොව ජීවත් වන අයගේ දෙවියි.”+ 33 එය ඇසූ විට සමූහයෝ ඔහු ඉගැන්වූ දේ ගැන විස්මයට පත් වූහ.+
34 ඔහු සද්දුසිවරුන්ව නිශ්ශබ්ද කළ බව පරිසිවරුන්ට ආරංචි වූ විට ඔවුහු එක කණ්ඩායමක් ලෙස එකතු වී ඔහු වෙතට පැමිණියෝය. 35 ඔවුන් අතරින් නීතිය ගැන මනා දැනුමක් ඇති කෙනෙක්+ යේසුස්ගේ දැනුම පරීක්ෂා කරමින් මෙසේ ඇසුවේය. 36 “ගුරුතුමනි, නීතියේ උතුම්ම ආඥාව කුමක්ද?”+ 37 එවිට යේසුස් ඔහුට මෙසේ කීවේය. “‘ඔබේ දෙවි වන යෙහෝවාට ඔබේ මුළු හදවතින්ම ප්‍රේම කරන්න. ඔහු වෙනුවෙන් ඔබේ මුළු ජීවිතයම කැප කරන්න. නිතරම ඔබේ මනසේ මුල් තැන හිමි විය යුත්තේ ඔහුටයි.’*+ 38 උතුම්ම සහ පළමුවෙනි ආඥාව එයයි. 39 දෙවෙනි ආඥාවත් ඒ හා සමානව වැදගත්. එනම්, ‘ඔබට මෙන් ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්න.’+ 40 මුළු නීතියත් සියලු අනාවැකිත් රඳා පවතින්නේ ඒ ආඥා දෙක මතයි.”+
41 පරිසිවරුන් එකට රැස්ව සිටියදී යේසුස්,+ 42 “ඔබ ක්‍රිස්තුස් ගැන සිතන්නේ කුමක්ද? ඔහු කාගේ පුත්‍රයාද” කියා ඔවුන්ගෙන් ඇසුවේය. ඔවුහුද, “දාවිත්ගේ පුත්‍රයා”+ කියා පිළිතුරු දුන්නෝය. 43 එවිට ඔහු ඔවුන්ට මෙසේ කීවේය. “එසේනම් දාවිත් දෙවිගේ මඟ පෙන්වීමෙන්+ ඔහුට ‘ස්වාමීන්’ කියා පැවසුවේ ඇයි? 44 මන්ද දාවිත් එක් අවස්ථාවක, ‘යෙහෝවා දෙවි මාගේ ස්වාමීන්ට මෙසේ කීවේය. “මාගේ දකුණු පැත්තේ ඉඳගන්න. මා ඔබේ සතුරන්ව ඔබේ පාද යට දමන තුරු එසේ සිටින්න”’+ කියා පැවසුවා. 45 දාවිත් ඔහුට ‘ස්වාමීන්’ යයි කියනවා නම් ඔහු දාවිත්ගේ පුත්‍රයා වන්නේ කොහොමද?”+ 46 කිසිවෙකුට වචනයකින්වත් ඔහුට පිළිතුරු දෙන්න නොහැකි විය. එදා පටන් ඔහුගෙන් තවත් ප්‍රශ්න අසන්න කිසිවෙකුට ධෛර්යයක් නොතිබිණ.+