යොහන්
8 යේසුස් එතැනින් පිටත් වී ඔලීව කන්දට ගියේය. 2 ඊළඟ දින උදෑසනින්ම ඔහු නැවතත් දේවමාලිගාවට පැමිණියේය. විශාල සෙනඟක් ඔහු වටා එක් රොක් වූ අතර ඔහු ඉඳගෙන ඔවුන්ට උගන්වන්න පටන්ගත්තේය. 3 එවිට නීතිය පිටපත් කරන්නෝ සහ පරිසිවරු අනාචාරයේ යෙදී හසු වූ ස්ත්‍රියකව සියලුදෙනා ඉදිරියට ගෙනැවිත්, 4 යේසුස්ට මෙසේ කීවෝය. “ගුරුතුමනි, මේ ස්ත්‍රිය අනාචාරයේ යෙදිලා අපට හසු වුණා. 5 මෙවැනි ස්ත්රීන්ට ගල් ගසා මරා දමන්න කියා මෝසෙස් මගින් අපට දුන් නීතියේ නියම කර තිබෙනවා. ඒ ගැන ඔබට කියන්න තිබෙන්නේ කුමක්ද?” 6 ඔවුන් එසේ ඇසුවේ ඔහුගේ යම් වරදක් අල්ලාගෙන ඔහුට විරුද්ධව චෝදනා එල්ල කිරීමේ අදහසිනි. නමුත් යේසුස් බිමට නැමී, තම අතින් වැලිවල යමක් ලියන්න පටන්ගත්තේය. 7 ඔවුන් ඔහුගෙන් දිගින් දිගටම මේ ගැන අසද්දී ඔහු නැඟිට, “ඇයට මුල්ම ගල් පහර ගැසිය යුත්තේ ඔබ අතර සිටින අයගෙන් කිසිම පාපයක් නොකළ තැනැත්තායි” කියා ඔවුන්ට කීවේය. 8 ඉන්පසු ඔහු නැවතත් බිමට නැමී, පොළොව මත ලියන්න පටන්ගත්තේය. 9 යේසුස් පැවසූ දේ අසාගෙන සිටි ඔවුහු, වැඩිමහල්ලන්ගෙන් පටන්ගෙන එක් එක් කෙනා බැගින් එතැනින් පිටත්ව ගියෝය. අවසානයේදී එතැන ඉතුරු වූයේ ඔහු සහ ඔවුන් ඉදිරියේ සිටි ස්ත්‍රිය පමණි. 10 යේසුස් කෙළින් වී, “කොහේද ඔවුන් ගියේ? ඔබට දඬුවමක් නියම කරන්න කිසිම කෙනෙක් සිටියේ නැද්ද” කියා ඇගෙන් ඇසුවේය. 11 “මහත්මයාණෙනි, කිසිවෙක් මට මොකුත් කළේ නැහැ” කියා ඇය පැවසුවාය. එවිට යේසුස් ඇයට මෙසේ කීවේය. “මමත් ඔබට කිසි දඬුවමක් නියම කරන්නේ නැහැ. ඔබට දැන් යන්න පුළුවන්. මෙතැන් පටන් තවත් පව් කරන්න එපා.”
12 යේසුස් නැවතත් ඔවුන්ට මෙසේ පැවසුවේය. “ලෝකයේ ආලෝකය මමයි.+ මාව අනුගමනය කරන තැනැත්තාට අන්ධකාරයේ ගමන් කරන්න සිදු වන්නේ නැහැ.+ මන්ද ඔහුට ජීවනයට මඟ පෙන්වන ආලෝකය ලැබෙයි.” 13 එවිට පරිසිවරු, “ඔබට තිබෙන්නේ ඔබේ සාක්ෂිය විතරයි. ඒ නිසා ඔබ දෙන සාක්ෂිය පිළිගන්න බැහැ” කියා කීවෝය. 14 යේසුස් ඊට මෙසේ පිළිතුරු දුන්නේය. “මට මගේ සාක්ෂිය පමණක් තිබුණත් ඒ සාක්ෂිය+ සැබෑවක් ලෙස ඔබ පිළිගත යුතුයි. මන්ද මම කොහෙන් ආවාද කියාත් මම යන්නේ කොතැනටද කියාත් මම හොඳින් දන්නවා.+ නමුත් මම ආවේ කොහෙන්ද කියාවත් යන්නේ කොතැනටද කියාවත් ඔබ දන්නේ නැහැ. 15 ඔබ විනිශ්චය කරන්නේ මිනිසුන්ගේ මිම්මෙනුයි.+ මම කිසිම කෙනෙකුව විනිශ්චය කරන්නේ නැහැ.+ 16 මා විනිශ්චය කළොත් මගේ විනිශ්චය සාධාරණයි. මන්ද මම එසේ කරන්නේ තනිව නොව මාව එවූ පියාණන් සමඟයි.+ 17 ඔබේම නීතියේ, ‘මිනිසුන් දෙදෙනෙකුගේ සාක්ෂිය අවශ්‍යයි’+ කියා සඳහන් වී තිබෙනවා. 18 මට මගේ සාක්ෂිය තිබෙනවා වගේම මාව එවූ පියාණන්ද මා ගැන සාක්ෂි දරනවා.”+ 19 එහෙයින් ඔවුහු, “ඔබේ පියා සිටින්නේ කොහේද” කියා ඔහුගෙන් අසන්න පටන්ගත්හ. යේසුස් පිළිතුරු දෙමින්, “ඔබ මාවත් මගේ පියාණන්වත් හඳුනන්නේ නැහැ.+ ඔබ මාව හඳුනාගෙන සිටියා නම් මගේ පියාණන්වත් ඔබ හඳුනාගන්නවා”+ කියා පැවසුවේය. 20 දේවමාලිගාවේ උගන්වමින් සිටි ඔහු, ඒ දේවල් පැවසුවේ භාණ්ඩාගාරයේ+ මුදල් බඳුන් තබා ඇති ස්ථානයේදීය. ඔහුගේ නියමිත වේලාව+ ඒ වන තුරු පැමිණ නොතිබූ නිසා කිසි කෙනෙක් ඔහුව අල්ලාගත්තේ නැත.+
21 එහෙයින් ඔහු නැවතත් ඔවුන්ට මෙසේ කීවේය. “මම පිටත් වී යනවා. ඔබ මාව සෙව්වත්+ මා යන තැනට ඔබට එන්න බැහැ. ඔබ තවමත් පව්කාරයන් වන නිසා ඔබට මිය යන්න සිදු වෙයි.”+ 22 එහෙයින් යුදෙව්වරු, “‘මා යන තැනට ඔබට එන්න බැහැ’+ කියා ඔහු පවසන්නේ ඇයි? ඔහු දිවි නසාගන්නද යන්නේ” කියා ඇසූහ. 23 ඔහු ඔවුන්ට මෙසේ කීවේය. “ඔබ ඇවිත් සිටින්නේ පොළොවෙන්. මම ඇවිත් සිටින්නේ ඉහළින්.+ ඔබ අයිති මේ ලෝකයටයි.+ මම මේ ලෝකයට අයිති නැහැ.+ 24 ඔබට මිය යන්න සිදු වන බව මා ඔබට කිව්වේ ඒ නිසයි.+ ඔබ තවමත් පව්කාරයන්. එන්න සිටින තැනැත්තා මා බව ඔබ විශ්වාස කරන්නේ නැත්නම් පව්කාරයන් ලෙස ඔබට මිය යන්න සිදු වෙනවා.”+ 25 එහෙයින් ඔවුහු, “ඔබ කවුද” කියා ඔහුගෙන් ඇසූහ. යේසුස් ඔවුන්ට මෙසේ කීවේය. “ඔබ සමඟ මෙසේ කතා කිරීමේ ඇති පලේ කුමක්ද? 26 ඔබ ගැන කියන්න බොහෝ දේවල් තිබෙනවා. මට විනිශ්චය කරන්න සිදු වන බොහෝ දේවලුත් තිබෙනවා. ඇත්තෙන්ම මම ඔබට පවසමින් සිටින්නේ මාව එවූ තැනැත්තා මට පැවසූ දේවලුයි.+ ඔහු සැබෑ කෙනෙක්.” 27 නමුත් යේසුස් ඔවුන්ට කතා කරමින් සිටියේ පියාණන් ගැන බව ඔවුන්ට වැටහුණේ නැත. 28 එහෙයින් යේසුස් මෙසේ කීවේය. “ඔබ මනුෂ්‍ය පුත්‍රයාව+ එල්ලා තබන දවසේදී+ එන්න සිටි තැනැත්තා මා බව තේරුම්ගනියි.+ ඒ වගේම මම මගේම කැමැත්තට අනුව කිසිම දෙයක් කළේ නැති බවත්+ පියාණන් මට ඉගැන්වූ ආකාරයටම මම ඔබට දේවල් කියා දුන් බවත්+ ඔබට වැටහෙයි. 29 මාව එවූ තැනැත්තා මා සමඟ නිරතුරුවම සිටියි. මගේ එකම ආශාව ඔහුට ප්‍රසන්න දේවල් කිරීමයි.+ ඒ නිසා ඔහු මාව අත්හරින්නේ නැහැ.” 30 ඔහු ඒ දේවල් පැවසූ විට බොහෝදෙනෙක් ඔහු කෙරෙහි විශ්වාසය තැබූහ.+
31 යේසුස් තමාව විශ්වාස කළ යුදෙව්වන්ට තවදුරටත් මෙසේ පැවසුවේය. “ඔබ මා උගන්වන දේවල් පිළිපදිනවා නම්+ ඇත්තෙන්ම ඔබ මගේ ගෝලයෝ වෙනවා. 32 ඔබට සත්‍යය ගැන අවබෝධයක් ලැබෙයි.+ ඒ සත්‍යය ඔබට නිදහස ලබා දෙනවා.”+ 33 එවිට සෙසු අය මෙසේ පිළිතුරු දුන්නෝය. “අපි ආබ්‍රහම්ගේ දරුවෝ.+ අපි කවදාවත් කාටවත් දාසයන් වුණේ නැහැ.+ ‘ඔබට නිදහස ලැබෙනවා’ කියා ඔබ කියන්නේ ඇයි?” 34 යේසුස් ඔවුන්ට මෙසේ කීවේය. “ඇත්තෙන්ම මම ඔබට කියන්නේ, පව් කරන සෑම කෙනෙක්ම පාපයට දාසයෙක් වන බවයි.+ 35 සාමාන්‍යයෙන් දාසයෙක් තමා වැඩ කරන නිවසෙහි හැමදාම රැඳී සිටින්නේ නැහැ. නමුත් ඒ නිවසේ පුත්‍රයා එසේ නොවෙයි. ඔහු හැමදාටම නිවසෙහි රැඳී සිටියි.+ 36 ඒ නිසා පුත්‍රයා ඔබව නිදහස් කළොත් ඔබට සැබෑ නිදහසක් ලැබෙයි.+ 37 ඔබ ආබ්‍රහම්ගේ දරුවන් බව මම දන්නවා. නමුත් මා උගන්වන දේවල් ඔබ පිළිගන්න අකමැති නිසා ඔබ උත්සාහ කරන්නේ මාව මරා දමන්නයි.+ 38 මම ඔබට කියා දෙන්නේ+ මගේ පියාණන් සමඟ මා සිටින විටදී මා දුටු දේවලුයි.+ ඔබ කරන්නෙත් ඔබේ පියාගෙන් ඇසූ දේවලුයි.” 39 ඔවුහු පිළිතුරු දෙමින්, “අපේ පියා ආබ්‍රහම්”+ කියා ඔහුට කීවෝය. එවිට යේසුස් ඔවුන්ට මෙසේ කීවේය. “ඔබ ආබ්‍රහම්ගේ දරුවන් නම්+ ආබ්‍රහම් ක්‍රියා කළා වගේ ක්‍රියා කරන්න. 40 ඒ වෙනුවට ඔබ උත්සාහ කරන්නේ දෙවිගෙන් ඇසූ සත්‍යය ගැන ඔබට කියා දුන් මිනිසෙකු වන මාව+ මරා දමන්නයි. ආබ්‍රහම් කිසිදාක එලෙස ක්‍රියා කළේ නැහැ.+ 41 ඔබ කරන්නේ ඔබේ නියම පියා කරන ක්‍රියායි.” එවිට ඔවුහු, “අපි අවජාතක දරුවෝ නොවෙයි. අපට සිටින්නේ එක පියෙක්.+ ඒ අපේ දෙවි පියාණෝයි” කියා ඔහුට කීවෝය.
42 යේසුස් ඔවුන්ට මෙසේ කීවේය. “ඔබේ පියා දෙවි නම් ඔබ අනිවාර්යයෙන්ම මට ප්‍රේම කරනවා.+ මන්ද මම මෙහි ඇවිත් සිටින්නේ දෙවිගෙන් පැමිණි කෙනෙක් හැටියටයි.+ මම ආවේ මගේම කැමැත්ත නිසා නොවෙයි. ඒ තැනැත්තා මාව එවූ නිසයි.+ 43 මා කියන දේ ඔබට නොතේරෙන්නේ මා කියා දෙන දේවල් ඔබ පිළිගන්න අකමැති නිසයි.+ 44 ඔබේ පියා යක්ෂයායි.+ ඔබ කැමති වන්නේ ඔබේ පියාගේ ආශාවන් ඉටු කිරීමටයි.+ ඒ තැනැත්තා නොමඟ ගිය දා සිට මිනී මරුවෙක්.+ ඔහු වංචාවෙන් පිරී ඇති නිසා ඔහු සත්‍යයට ඇලී සිටියේ නැහැ. ඔහු තුළ බලපවත්වන්නේ බොරුවයි. ඒ නිසා ඔහු පවසන්නේ බොරු පමණයි. මන්ද ඔහු බොරුකාරයෙක්. බොරුවේ පියායි.+ 45 ඒත් මා සත්‍යය පවසන නිසා ඔබ මාව විශ්වාස කරන්නේ නැහැ.+ 46 මා පව් කර තිබෙන බව ඔප්පු කරන්න පුළුවන් ඔබෙන් කාටද?+ මා සත්‍යය කතා කරනවා නම් ඔබ මාව විශ්වාස නොකරන්නේ ඇයි? 47 දෙවිට පක්ෂව සිටින තැනැත්තා දෙවි පවසන දේවලට සවන් දෙයි.+ ඔබ සවන් නොදෙන්නේ ඔබ දෙවිට පක්ෂව කටයුතු නොකරන නිසයි.”+
48 එවිට යුදෙව්වරු, “ඔබ සමරිතානුවරයෙක්+ කියාත් ඔබට භූතයෙක් වැහී තිබෙනවා+ කියාත් අපි කියන්නේ නිකමටද” කියා ඔහුට පැවසූහ. 49 යේසුස් මෙසේ පිළිතුරු දුන්නේය. “මට භූතයෙක් වැහිලා නැහැ. මම මගේ පියාණන්ට ගෞරව කරනවා.+ නමුත් ඔබ මට අගෞරව කරනවා. 50 මම මගේම ගෞරවය සොයන්නේ නැහැ.+ නමුත් මට ගෞරවය ලබා දීමට මහත් ආශාවෙන් කෙනෙක් බලා සිටිනවා. ඒ ගැන තීරණයක් දෙන්නේ ඔහුයි.+ 51 ඇත්තෙන්ම මම ඔබට කියන්නේ, කෙනෙක් මා පවසන දේවල් පිළිපදිනවා නම් ඔහු කවදාවත් මරණය අද්දකින්නේ නැති බවයි.”+ 52 යුදෙව්වරු ඔහුට මෙසේ කීවෝය. “ඔබට භූතයෙකු වැහී සිටින බව දැන් නම් අපට හොඳටම පැහැදිලියි.+ ආබ්‍රහම් විතරක් නොවෙයි,+ සෑම අනාගතවක්තෘවරයෙක්ම මිය ගියා.+ නමුත් ඔබ කියන්නේ, ‘කෙනෙක් ඔබ පවසන දේවල් පිළිපදිනවා නම් ඔහු කවදාවත් මිය යන්නේ නැහැ’+ කියායි. 53 දැන් මිය ගොස් සිටින අපේ පියා වූ ආබ්‍රහම්ට වඩා ඔබ උතුම් කෙනෙක්ද?+ සෑම අනාගතවක්තෘවරයෙක්ම මිය ගියා.+ ඔබ කවුරුන් කියාද ඔබ සිතාගෙන සිටින්නේ?” 54 යේසුස් මෙසේ පිළිතුරු දුන්නේය. “මම මටම ගෞරවය ලබාගන්න උත්සාහ කරනවා නම් ඒ ගෞරවයෙන් ඇති වැඩක් නැහැ. මාව ගෞරවයට පත් කරන්නේ මගේ පියාණන්,+ ඒ කියන්නේ ඔබ ඔබේ දෙවි කියා හඳුන්වන තැනැත්තායි. 55 ඔබ එසේ පැවසුවත් ඔබ ඔහුව හඳුනාගෙන නැහැ.+ නමුත් මම ඔහුව හොඳින් හඳුනාගෙන සිටිනවා.+ මා ඔහුව හඳුනාගෙන නැහැයි කියා පැවසුවොත් මම ඔබ වගේ බොරුකාරයෙක් වෙනවා. නමුත් මම ඔහුව හඳුනාගෙන සිටිනවා. ඒ වගේම ඔහු පවසන දේවලුත් මම පිළිපදිමින් සිටිනවා.+ 56 ඔබේ පියා වූ ආබ්‍රහම්, මා කරන දේවල් දැක බලා ගැනීමට මහත් ආශාවකින් බලා සිටි කෙනෙක්.+ ඇත්තටම ඔහු ඒ දේවල් දැක්කා හා සමානයි. එයින් ඔහු මොන තරම් ප්‍රීතියක් ලැබුවාද!”+ 57 එවිට යුදෙව්වරු, “තවම අවුරුදු පනහක්වත් නැති ඔබ ආබ්‍රහම්ව දැක්කා කියා කියන්නේ කොහොමද” කියා ඔහුගෙන් ඇසූහ. 58 යේසුස් ඔවුන්ට මෙසේ පැවසුවේය. “මම ඇත්තෙන්ම ඔබට කියන්නේ, ආබ්‍රහම් ජීවත් වෙන්නත් කලින් මම ජීවත්ව සිටි බවයි.”+ 59 එවිට ඔවුහු ඔහුට ගල් ගසන්න ගල් අතට ගත්තෝය.+ නමුත් යේසුස් සැඟවී දේවමාලිගාවෙන් පිටතට ගියේය.