මතෙව්
14 ඒ කාලයේදී දේශාධිපතිව සිටි හෙරොද්ට යේසුස් ගැන බොහෝ දේවල් ආරංචි විය.+ 2 ඔහු තම සේවකයන්ට මෙසේ කීවේය. “මේ මරණයෙන් නැඟිට සිටින යොහන් බව්තීස්ත විය යුතුයි. ඔහුට මේ වගේ බලවත් ක්‍රියා කළ හැක්කේ ඒ නිසයි.”+ 3 ඔහු එසේ කීමට හේතු වූ සිද්ධිය මෙයයි. හෙරොද්ට ෆිලිප් නම් සහෝදරයෙක් සිටි අතර ෆිලිප්ගේ භාර්යාව වූයේ හෙරෝදියස්ය. හෙරොද් යොහන්ව අත්අඩංගුවට ගෙන ඔහුව බැඳ, සිරගෙයි දමා තිබුණේ ඇය නිසයි.+ 4 එසේ කළේ, “ඇයව ඔබේ භාර්යාව ලෙස තබාගැනීම නීත්‍යනුකූල නැහැ”+ කියා යොහන් හෙරොද්ට පැවසූ නිසයි. 5 යොහන්ව මරන්න ඔහුට වුවමනාවක් තිබුණත් සෙනඟ යොහන්ව අනාගතවක්තෘවරයෙකු ලෙස සැලකූ නිසා+ ඔහු එසේ කිරීමට බිය විය. 6 හෙරොද්ගේ උපන් දිනය+ සමරද්දී හෙරෝදියස්ගේ දුව නටමින් හෙරොද්ව කොතරම් සතුටු කළාද කිවහොත්, 7 ඇය ඉල්ලන ඕනෑම දෙයක් ඇයට දීමට ඔහු දිවුරා පොරොන්දු විය.+ 8 එවිට ඇය තම මවගේ පෙලඹවීම මත, “මට යොහන් බව්තීස්තගේ හිස තැටියක තබා දෙන්න” කියා ඉල්ලුවාය.+ 9 ඒ ගැන හෙරොද් රජ බොහෝ සෙයින් දුක් වුවත් තමා කළ දිවුරුම නිසාත් තමා සමඟ ඉඳගෙන සිටි අය නිසාත් ඒ දේ කරන මෙන් ඔහු අණ කළේය.+ 10 ඔහු මිනිසුන් යවා සිරභාරයේ සිටි යොහන්ගේ හිස ගසා දැමීමට අණ කළේය. 11 ඉන්පසුව යොහන්ගේ හිස තැටියක තබා තරුණියට දෙන ලදි. තරුණියද එය රැගෙන තම මව වෙතට ගොස් ඇයට දුන්නාය.+ 12 පසුව යොහන්ගේ ගෝලයෝ ඇවිත් ඔහුගේ මළ සිරුර රැගෙන ගොස් තැන්පත් කළෝය.+ ඉන්පසු ඔවුහු ඇවිත් ඒ ගැන යේසුස්ට දැන්වූහ. 13 එය ඇසූ යේසුස් එතැනින් පිටත් වී, ඔරුවකින් පාළු තැනකට ගියේය.+ නමුත් ඒ ගැන දැනගත් සමූහයෝ නුවරවල්වලින් පිටත් වී ඔහු ගිය ස්ථානයට පයින්ම ගියෝය.
14 යේසුස් ඔරුවෙන් ගොඩ බැස්ස විට මහත් සමූහයක් සිටිනවා දුටුවේය. ඔහුට ඔවුන් ගැන අනුකම්පාවක් ඇති වූ+ නිසා ඔවුන් අතරේ සිටි රෝගීන්ව සුව කළේය.+ 15 සවස් වූ විට ඔහුගේ ගෝලයෝ ඇවිත්, “දැන් හුඟක් පරක්කු වෙලා. මේ තැනත් හරිම පාළුයි. ඉතින් ගම්වලට ගොස් තමන්ට අවශ්‍ය කෑම මිල දී ගන්න කියා සමූහයන්ට කිව්වොත් හොඳයි”+ කියා ඔහුට කීවෝය. 16 නමුත් යේසුස්, “ඔවුන් යන්න අවශ්‍ය නැහැ. ඔබ ඔවුන්ට කන්න යමක් දෙන්න”+ කියා ඔවුන්ට කීවේය. 17 එවිට ඔවුහු, “රොටි පහකුත් මසුන් දෙදෙනෙකුත් හැර වෙන කිසිවක් අපි ළඟ නැහැ”+ කියා ඔහුට පැවසූහ. 18 එවිට ඔහු, “ඒවා මා අසලට ගෙනෙන්න” කියා ඔවුන්ට කීවේය. 19 ඊළඟට ඔහු සමූහයන්ට තණබිම මත ඉඳගන්න කියා පැවසුවේය. පසුව ඔහු රොටි පහත් මසුන් දෙදෙනාත් ගෙන ස්වර්ගය දෙසට තම හිස ඔසවා යාච්ඤා කර+ රොටි කඩා ගෝලයන්ට දුන්නේය. ගෝලයෝ ඒවා සමූහයන් අතරේ බෙදා දුන්නෝය.+ 20 සෑමදෙනාම කා තෘප්තියට පැමිණියහ. පසුව ගෝලයෝ ඉතුරු වූ කෑමවලින් කූඩ දොළහක් පුරවාගත්හ.+ 21 ස්ත්‍රීන් හා කුඩා දරුවන් හැර කෑම කෑ පුරුෂයෝ පන්දහසක් පමණ වූහ.+ 22 ඉන්පසු ඔහු වහාම සමූහයන්ව පිටත් කර යවා,+ තමන්ට කලින් ඔරුවෙන් එගොඩට යන මෙන් තම ගෝලයන්ට අණ කළේය.
23 සමූහයන් පිටත්ව ගිය පසු යේසුස් යාච්ඤා කිරීම සඳහා+ තනිව කන්දකට නැංගේය. සවස් වී තිබුණත් ඔහු එහි තනිව සිටියේය. 24 ඒ වන විට ඔරුව තිබුණේ ඉවුරේ සිට යාර සිය ගණනක් ඈතිනි. තද හුළඟක් හැමූ නිසා රළ පෙළ වේගයෙන් ඔරුවට හැපෙමින්+ තිබිණ. එහෙයින් ඔරුව පදවමින් සිටි ඔවුහු දැඩි අසීරුතාවකට මුහුණ දෙමින් සිටියෝය. 25 රාත්‍රියේ හතරවෙනි යාමයේදී* යේසුස් ජලය මත ඇවිදගෙන+ ඔවුන් වෙතට ආවේය. 26 ගෝලයෝ ඔහු ජලය මත ඇවිදිනවා දැක කැලඹී, “ඒ අවතාරයක්”+ යයි කියමින් බියෙන් කෑගැසූහ. 27 එසැණින්ම යේසුස්, “භය වෙන්න එපා. මේ මමයි.+ ධෛර්යවත් වන්න” කියා ඔවුන්ට පැවසුවේය. 28 එවිට පේතෘස්, “ස්වාමීනි, ඒ ඔබ නම් වතුර මත ඇවිදගෙන ඔබ ළඟට එන්න කියා මට පවසන්න” යයි ඔහුට පැවසුවේය. 29 යේසුස්ද, “එන්න” කියා කීවේය. එවිට පේතෘස් ඔරුවෙන් බැස,+ වතුර මත ඇවිදගෙන යේසුස් වෙතට ආවේය. 30 නමුත් එසේ ඇවිදගෙන යන අතරේ ඔහු කුණාටුව දැක භය වූ නිසා ගිලෙන්න පටන්ගත්තේය. “ස්වාමීනි, මාව බේරගන්න” කියා ඔහු කෑගැසුවේය. 31 යේසුස් විගස තම අත දිගු කර ඔහුව අල්ලාගත්තේය. එවිට යේසුස්, “ඔබේ විශ්වාසය දුර්වල වුණේ ඇයි? ඔබ තුළ සැකයක් ඇති වෙන්න ඉඩ දුන්නේ ඇයි”+ කියා ඔහුගෙන් ඇසුවේය. 32 ඔවුන් දෙදෙනා ඔරුවට නැඟුණු විට කුණාටුව නතර විය. 33 එවිට ඔරුවේ සිටි අය ඔහු ඉදිරියේ දණින් වැටී, “සැබවින්ම ඔබ නම් දෙවිගේ පුත්‍රයායි”+ කියා කීවෝය. 34 ඔවුහු එගොඩ වී ගෙනසරෙත් තැනිතලාවට ගොඩ බැස්සෝය.+
35 එහි විසූ ජනයා ඔහුව හඳුනාගෙන අවට ප්‍රදේශවලට ඒ බව දන්වා යැවූහ. එවිට ජනයා අසනීපව සිටි සියල්ලන්ව ඔහු වෙතට ගෙනාවෝය.+ 36 ඔවුහුද ඔහුගේ පිට වස්ත්‍රයේ වාටිය පමණක්වත් අල්ලන්න+ ඉඩ දෙන මෙන් ඔහුගෙන් බැගෑපත්ව ඉල්ලා සිටියහ. එය ඇල්ලූ සියල්ලෝම සම්පූර්ණයෙන් සුවය ලැබූහ.