ලූක්
5 දිනක් යේසුස් ගෙනසරෙත් විල අසල සිටියදී,+ විශාල සමූහයක් දෙවිගේ වචනයට සවන් දෙමින් ඔහු වටා එක් රොක්ව සිටියෝය. 2 විල අසල ඔරු දෙකක් නවතා තිබෙනවා ඔහු දුටුවේය. මසුන් අල්ලන්නෝ ඒවායින් බැස, තම දැල් සෝදමින් සිටියහ.+ 3 යේසුස් ඒ ඔරුවලින් එකක් වූ සීමොන්ගේ ඔරුවට නැඟ, ඔරුව ගොඩින් තරමක් ඈතට ගෙන යන මෙන් ඔහුගෙන් ඉල්ලුවේය. සීමොන් එසේ කළ විට ඔහු ඔරුවේ ඉඳගෙන සමූහයන්ට උගන්වන්න පටන්ගත්තේය.+ 4 ඔහු උගන්වා අවසන් වූ පසු, “දැන් දියඹට ගොස් දැල් හෙළන්න”+ කියා සීමොන්ට කීවේය. 5 සීමොන් මෙසේ පිළිතුරු දුන්නේය. “ගුරුතුමනි, රෑ තිස්සේම මාළු අල්ලන්න ගිය අපට එක මාළුවෙක්වත් අල්ලගන්න බැරි වුණා.+ ඒත් ඔබ කියන නිසා මම දැල් හෙළන්නම්.” 6 ඔවුන් එසේ කළ විට දැල් ඉරෙන තරමටම මසුන් රාශියක් අල්ලාගැනීමට ඔවුන්ට හැකි විය. 7 එමනිසා ඔවුහු උපකාර පතමින් අනික් ඔරුවේ සිටි තම හවුල්කරුවන්ට සංඥා කළෝය.+ ඔවුන් ඇවිත් ඔරු දෙකම මසුන්ගෙන් පුරවාගත් විට ඔරු දෙකම මසුන්ගේ බරට ගිලෙන්න පටන්ගත්තේය. 8 එය දුටු සීමොන් පේතෘස්,+ යේසුස් ඉදිරියේ වැටී, “ස්වාමීනි, මම පව්කාරයෙක්. ඔබ ළඟ සිටින්න තරම්වත් මම වටින කෙනෙක් නෙවෙයි”+ කියා පැවසුවේය. 9 මන්ද දැලට හසු වූ මසුන් ප්‍රමාණය දුටු ඔහුටත් ඔහු සමඟ සිටි සියලුදෙනාටත් එය අදහාගත නොහැකි විය. 10 සීමොන්ගේ උදව්වට පැමිණි සෙබදීගේ පුත්‍රයන් වූ+ යාකොබ් සහ යොහන්ද පුදුම වූහ. නමුත් යේසුස් සීමොන්ට මෙසේ පැවසුවේය. “භය වෙන්න එපා. මෙතැන් පටන් ඔබ අල්ලන්නේ මිනිසුන්වයි.”+ 11 එවිට ඔවුහු ඔරු ගොඩට ඇද දමා සෑම දෙයක්ම අත්හැර ඔහු අනුව ගියහ.+
12 තවත් අවස්ථාවක ඔහු එක්තරා නුවරකට ගියේය. එහි මුළු ශරීරය පුරාම ලාදුරු රෝගය පැතිර තිබූ මිනිසෙක් සිටියේය. ඔහු යේසුස්ව දුටු විගස දණින් වැටී, “ස්වාමීනි, ඔබ කැමති නම් මාව පවිත්‍ර කරන්න ඔබට පුළුවන්”+ කියා ඉතා බැගෑපත්ව පැවසුවේය. 13 එහෙයින් ඔහු තම අත දිගු කර ඔහුව ස්පර්ශ කරමින්, “මා කැමතියි. පවිත්‍ර වෙන්න” කියා කීවේය. ඒ මොහොතේදීම ලාදුරු රෝගය සුව වී, ඔහු පවිත්‍ර විය.+ 14 සිදු වූ දේ ගැන කාටවත් නොකියන්න කියා ඔහු ඒ මිනිසාට පවසා,+ “දැන් ඔබ පූජකයා ඉදිරියට යන්න.+ මෝසෙස් අණ කළ විදිහට ඔබ පවිත්‍ර වී ඇති බව පෙන්වීමට පූජාවක් ඔප්පු කරන්න.+ ඔබ සුව වී ඇති බවට මෙය පූජකයන්ට සාක්ෂියක් වෙයි”+ කියා කීවේය. 15 නමුත් සිදු වූ දේ අස්සක් මුල්ලක් නෑර සෑම තැනම පැතිර ගියේය. එහෙයින් ඔහුට සවන් දීමටත් තම ලෙඩ සුව කරගැනීමටත් විශාල සමූහයක් ඔහු වෙතට එක් රොක් වූහ.+ 16 මේ අතරතුර ඔහු නිතරම පාළු ස්ථානවලට ගොස් යාච්ඤා කිරීම සඳහා කාලය වැය කළේය.+
17 දවසක් ඔහු උගන්වමින් සිටියදී ගලීලයේ සහ යුදයේ සියලු ගම්වලින්ද යෙරුසලමෙන්ද පැමිණි පරිසිවරු* සහ නීතිය උගන්වන පිරිසක් ඇවිත් ඔහු අසල ඉඳගෙන සිටියහ. යෙහෝවා දෙවිගේ බලය ඔහු තුළ ක්‍රියාත්මක වූ නිසා ඔහු ජනයාව සුව කරමින් සිටියේය.+ 18 එවිට අංශභාග රෝගියෙකුව ඇඳක තබා උසුලාගෙන ආ එක්තරා පිරිසක් ඔහුව ඇතුළට ගෙන යන්නත් යේසුස් ඉදිරියෙහි තබන්නත් මඟක් සොයමින් සිටියහ.+ 19 නමුත් විශාල සමූහයක් රැස්ව සිටි නිසා ඔහුව ඇතුළට ගෙන ඒමට ඔවුන්ට මඟක් තිබුණේ නැත. එහෙයින් ඔවුහු යේසුස් සිටි නිවසේ වහලට නැග්ගෝය. ඉන්පසු ඔවුහු වහලේ සෙවිලි ඉවත් කර කුඩා ඇඳේ සිටි රෝගියාව යේසුස් ඉදිරියෙහි සිටි අය අතරට පහත් කළෝය.+ 20 ඔහු ඔවුන්ගේ විශ්වාසය දැක, “දැන් ඔබේ පව්වලට සමාව ලැබිලා”+ කියා ඒ මිනිසාට පැවසුවේය. 21 එවිට නීතිය පිටපත් කරන්නෝ සහ පරිසිවරු, “බලන්න, මොහු දෙවිට අපහාස කරනවා.+ කවුද මේ පුද්ගලයා? දෙවිට මිස පව්වලට සමාව දෙන්න පුළුවන් වෙන කාටද”+ කියා පවසමින් තම තමන් අතරේ කතා කරන්න පටන්ගත්තෝය. 22 ඔවුන් සාකච්ඡා කළ දේවල් තේරුම්ගත් යේසුස් ඔවුන්ට මෙසේ පිළිතුරු දුන්නේය. “ඔබ මොනවාද මේ කියන්නේ?+ 23 වඩාත් පහසු ‘ඔබේ පව්වලට සමාව ලැබී තිබෙනවා’ කියා කීමද? නැත්නම් ‘නැඟිට ඇවිදින්න’ කියා කීමද?+ 24 පොළොවේදී පව්වලට සමාව දෙන්න මනුෂ්‍ය පුත්‍රයාට අධිකාරියක් තිබෙනවා. ඒ බව ඔබත් දැනගන්නවාට මා කැමතියි. . . .” ඉන්පසු ඔහු අංශභාග රෝගියාට, “නැඟිට, ඔබේ කුඩා ඇඳත් රැගෙන ගෙදර යන්න”+ කියා කීවේය. 25 ඒ මිනිසා එකවරම තමා එතෙක් වැතිර සිටි ඇඳෙන් නැඟිට සියලුදෙනා ඉදිරියෙහි සිටගත්තේය. පසුව ඔහු දෙවිට ප්‍රශංසා කරමින් ඇඳ රැගෙන තම නිවස බලා ගියේය.+ 26 ප්‍රීතියෙන් ඉපිල ගිය+ සියලුදෙනාද දෙවිට ප්‍රශංසා කරන්න පටන්ගත්හ. ඔවුන් තුළ යම් බියක්ද ඇති වූ අතර, “අද නම් අපි දැක්කේ මොන තරම් පුදුම දේවල්ද”+ කියා පැවසූහ.
27 ඒ දේවල් සිදු වූ පසු යේසුස් එතැනින් පිටත්ව යද්දී ලෙවී නම් බදු එකතු කරන්නෙකු බදු එකතු කරන කාර්යාලයේ ඉඳගෙන සිටිනවා දුටුවේය. “මගේ අනුගාමිකයෙක් වන්න”+ කියා යේසුස් ඔහුට කීවේය. 28 ඔහු සියල්ල අත්හැර+ යේසුස් අනුව ගියේය. 29 ඉන්පසු ඔහු යේසුස් වෙනුවෙන් තම නිවසේදී විශාල භෝජන සංග්‍රහයක් පිළියෙල කළේය. කෑමට ආරාධනා කළ අය අතර බදු එකතු කරන්නන් විශාල පිරිසක් සිටියෝය.+ 30 එය දුටු පරිසිවරු සහ ඔවුන්ගේම නිකායට අයත්ව සිටි නීතිය පිටපත් කරන්නෝ යේසුස්ගේ ගෝලයන්ට මෙසේ චෝදනා කළෝය. “ඔබ බදු එකතු කරන්නන් හා පව්කාරයන් සමඟ එකම මේසයේ ඉඳගෙන කන්නෙත් බොන්නෙත් ඇයි?”+ 31 ඊට පිළිතුරු වශයෙන් යේසුස් ඔවුන්ට මෙසේ කීවේය. “රෝගීන්ට මිස+ නිරෝගී අයට වෛද්‍යවරයෙකුගෙන් වැඩක් නැහැ.+ 32 මා ආවේ පව්කාරයන්ට පසුතැවිලි වෙන්න උපකාර කරන්න+ මිස ධර්මිෂ්ඨයන්ට උපකාර කරන්න නොවෙයි.”
33 ඉන්පසු ඔවුහු ඔහුට මෙසේ පැවසූහ. “යොහන්ගේ ගෝලයන් නිතරම පාහේ දෙවිට කන්නලව් කරමින් නිරාහාරව සිටිනවා. පරිසිවරුන්ගේ ගෝලයනුත් එහෙම කරනවා. නමුත් ඔබේ ගෝලයන් කමින් බොමින් සිටිනවා.”+ 34 එවිට යේසුස් ඔවුන්ට මෙසේ කීවේය. “මනාලයා තමන් සමඟ සිටින විට මනාලයාගේ මිතුරන්ට නිරාහාරව සිටින්න කියා කියන්න පුළුවන්ද?+ 35 නමුත් මනාලයාව+ ඔවුන්ගෙන් වෙන් කරනු ලබන දවස් පැමිණෙනවා.+ එවිට ඔවුන් නිරාහාරව සිටියි.”+
36 ඔහු ඔවුන්ට උපමාවක් කීවේය. “කිසි කෙනෙක් අලුත් රෙදි කැබැල්ලක් තබා පරණ වස්ත්‍රයක ඉරුණු තැනක් මහන්නේ නැහැ. එසේ කළොත් ඇල්ලූ අලුත් රෙදි කැබැල්ල වස්ත්‍රයෙන් ඇදී ඉරුම තවත් වැඩි වෙයි. එහෙම වෙන්නේ අලුත් රෙදි කැබැල්ල පරණ වස්ත්‍රයට සමාන නොවන නිසයි.+ 37 ඒ වගේම කිසි කෙනෙක් අලුත් වයින් පරණ සම් භාජනවලට දමන්නේ නැහැ. එසේ කළොත් අලුත් වයින් නිසා සම් භාජන පැළී යයි.+ වයිනුත් ඉහිරී නාස්ති වෙයි.+ 38 අලුත් වයින් දැමිය යුත්තේ අලුත් සම් භාජනවලටයි. 39 යම් කෙනෙක් පරණ වයින්වලට පුරුදු වී සිටිනවා නම් අලුත් වයින්වලට ඔහු කැමති වන්නේ නැහැ. ‘පරණ වයින් හොඳයි’+ කියා පවසමින් ඔහු එයින් සෑහීමට පත් වෙයි.”