යෙරෙමියා
16 යෙහෝවා දෙවි මට මෙසේද පැවසුවේය. 2 “ඔබ මේ දේශයේදී විවාහ නොවන්න. දරුදැරියන් හදා වඩා නොගන්න.+ 3 මේ දේශයේ උපදින දරුදැරියන් ගැනද ඔවුන්ව බිහි කරන මව්වරුන් ගැනද ඔවුන්ව ජනිත කරන පියවරුන් ගැනද යෙහෝවා දෙවි වන මම මෙසේ පවසමි.+ 4 ‘ඔවුහු මාරාන්තික රෝගවලින් මිය යන්නෝය.+ කිසිවෙක් ඔවුන් ගැන වැලපෙන්නේවත්+ ඔවුන්ව තැන්පත් කරන්නේවත්+ නැත. ඔවුන්ගේ මළ කඳන් පොළොව මතුපිටම කුණු වී පොහොර වී යනු ඇත.+ ඔවුහු කඩුවටද සාගතයටද ගොදුරු වී මිය යනු ඇත.+ ඔවුන්ගේ මළ කඳන් ආකාශයේ පක්ෂීන්ටද පොළොවේ මෘගයන්ටද ආහාරයක් වන්නේය.’+
5 “‘ඔබ මළ ගෙවල්වලට ගොස් එහි සංග්‍රහයන් භුක්ති නොවිඳින්න. ඔවුන් ගැන හඬා වැලපෙමින් ශෝක නොවන්න.’+ මේ වදන් පවසන්නේ යෙහෝවා දෙවි වන මමය.
“යෙහෝවා දෙවි වන මම මෙසේද පවසමි. ‘මම තවදුරටත් ඔවුන්ට සමාදානයෙන් ජීවත් වීමට ඉඩ දෙන්නේ නැත. ඔවුන්ට ප්‍රේමයෙන්* හා දයාවෙන් සලකන්නේද නැත.+ 6 ඔවුන්ගේ ලොකු කුඩා සෑම කෙනෙක්ම මේ දේශයේදී නිසැකවම මරණයට පත් වනු ඇත. ජනයා ඔවුන්ව තැන්පත් කරන්නේවත්+ ඔවුන් වෙනුවෙන් පපුවට ගසාගනිමින් හඬා වැලපෙන්නේවත් ශරීර කපාගන්නේවත්+ හිස් බූ ගාගන්නේවත්+ නැත. 7 මිය ගිය අය වෙනුවෙන් වැලපෙන කෙනෙකුව සනසවන පිණිස කිසිවෙක් ආහාර වේලක්වත් නොදෙනු ඇත.+ තම පියා හෝ මව හෝ මිය ගිය නිසා වැලපෙන කෙනෙකුව සැනසීමට පානයක්වත් දෙන්නේ නැත.+ 8 භෝජන සංග්‍රහයක් දෙන නිවසකට ගොස් ඔබ ඔවුන් සමඟ කෑමට හිඳ නොගන්න.’+
9 “‘මේ දේශයෙන් ප්‍රීති ඝෝෂාවද මනාලයාගේ හා මනාලියගේ හඬද ඔබේ ජීවිත කාලයේදී තවදුරටත් ඔබට නොඇසීමට මම සලස්වමි.’+ මේ දේවල් පවසන මා ස්වර්ගයේ සේනාවල අධිපතිද ඊශ්‍රායෙල්හි දෙවිද වන යෙහෝවාය.
10 “මම ඔබට පැවසූ මේ සෑම දෙයක්ම ඔබ සෙනඟට පවසන විට ඔවුහු ඔබෙන් මෙසේ අසනු ඇත. ‘මෙවැනි මහත් විපතක් යෙහෝවා දෙවි අපට විරුද්ධව ගෙනෙන බව ඔබ පවසන්නේ ඇයි? අප කළ වරද කුමක්ද? අපේ දෙවි වන යෙහෝවාට විරුද්ධව අප කළ පාපය කුමක්ද?’+ 11 එවිට ඔබ ඔවුන්ට මෙසේ කියන්න. ‘යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “ඔබේ මුතුන්මිත්තෝ මාව අත්හැර+ වෙනත් දෙවිවරුන්ට නමස්කාර කරමින් ඔවුන් ඉදිරියේ වැඳ වැටුණෝය.+ ඔවුහු මාගේ නීති රීති පිළිපැද්දේ නැත. ඔවුහු මාව අත්හැර ගියෝය.+ 12 ඔබේ මුතුන්මිත්තන්ටත් වඩා අන්ත ලෙස ඔබ ක්‍රියා කරන්නහුය.+ ඔබ මට අකීකරු වී+ ඔබේ දුෂ්ට සිතුවිලිවලට අනුව මුරණ්ඩු ලෙස ක්‍රියා කරන්නහුය.+ 13 එබැවින් ඔබවත් ඔබේ මුතුන්මිත්තන්වත් නොදැන සිටි දේශයකට+ මම ඔබව පන්නා දමන්නෙමි.+ මා ඔබට කිසි කරුණාවක් නොපෙන්වන නිසා එහිදී ඔබට රෑ දාවල් දෙකේම වෙනත් දෙවිවරුන්ට දාසකම් කිරීමට සිදු වනු ඇත.”’+
14 “යෙහෝවා දෙවි වන මම මෙසේ පවසමි. ‘මතු දවස්වලදී+ ඊශ්‍රායෙල් සෙනඟ ජීවමාන යෙහෝවා දෙවි වන මාගේ නමින් දිවුරන විට මම ඊජිප්තු දේශයෙන් සෙනඟව පිටතට ගෙනා ආකාරය සිහි නොකරනු ඇත.+ 15 නමුත් උතුරු දේශයට හා වෙනත් දේශවලට මා විසුරුවාහැරිය සෙනඟව මා නැවත ඔවුන්ගේ දේශයට ගෙනා ආකාරය සිහි කරමින් ඔවුහු ජීවමාන යෙහෝවා දෙවි වන මාගේ නමින් දිවුරනු ඇත. මන්ද මම නිසැකවම ඔවුන්ගේ මුතුන්මිත්තන්ට දුන් දේශයට ඔවුන්ව නැවත ගෙනෙන්නෙමි.’+
16 “යෙහෝවා දෙවි වන මම මෙසේද පවසමි. ‘මම ඔවුන් අතරට ධීවරයන්ව යවන්නෙමි. ඔවුහු මසුන් අල්ලන්නාක් මෙන් ඔවුන් වාසය කරන තැන් සොයා ගොස් ඔවුන්ව එකතු කරගන්නෝය. ඔවුන්ව සෙවීම සඳහා මම බොහෝ අයව* යවන්නෙමි.+ ඔවුහු සියලු කඳුවලටද හෙල්වලටද පර්වත විවරවලටද ගොස් සෙනඟව සොයාගන්නෝය.+ 17 සෙනඟ කරන සෑම දෙයක්ම මට පෙනෙන්නේය. ඔවුන්ට මාගෙන් සැඟවී සිටිය නොහැකිය. තමන්ගේ වැරදි මට නොපෙනෙන ලෙස සඟවා තබන්නවත් ඔවුන්ට නොහැක.+ 18 ඔවුන් මාගේ දේශය දූෂ්‍ය කරමින්+ කළ පව්වලටත් ඔවුන්ගේ දුෂ්ට ක්රියාවලටත් ඔවුන් ලැබිය යුතු නිසි දඬුවම මම ඔවුන්ට දෙමි.+ මාගේ උරුමය වන මේ දේශය, මළ කඳන් හා සමාන වූ ඔවුන්ගේ පිළිකුල්සහගත රූපවලින් ඔවුහු පිරෙව්වෝය.’”+
19 යෙහෝවා දෙවියනි, මගේ ශක්තියත් මගේ බලකොටුවත් ඔබයි. විපත්ති කාලයේදී මට පලා ගොස් සැඟවී සිටිය හැක්කේ ඔබ ළඟයි.+ පොළොවේ ඈත කෙළවරේ සිට ජාතීහු ඔබ වෙතට පැමිණ+ මෙසේ පවසනු ඇත. “අපේ මුතුන්මිත්තන්ගේ උරුමය වූයේ කිසිම වැඩකට නැති,+ නිෂ්ඵල, බොරු දෙවිවරුන්ට කළ නමස්කාරයයි.”+ 20 පිහිට ලබාගැනීම සඳහා දෙවිවරුන්ව සාදාගැනීමට මනුෂ්‍යයන්ට පුළුවන්ද? ඔවුන් දෙවිවරුන් සාදාගත්තද ඒ දෙවිවරුන් සැබෑ දෙවිවරුන් නොවේ.+
21 “එක් අවස්ථාවකදී මාගේ මහත් බලය හා ශක්තිය ගැන මම ඔවුන්ට දැනගැනීමට සලස්වන්නෙමි.+ එවිට මාගේ නාමය යෙහෝවා බව ඔවුන්ට අනිවාර්යයෙන්ම දැනගැනීමට සිදු වනු ඇත.”+