යෙරෙමියා
25 යොෂියාගේ පුත්‍රයා වූ යූදාහි රජු වන යෙහෝයාකිම් රජකම් කළ හතරවන අවුරුද්දේදී+ යූදාහි වැසියන් සම්බන්ධයෙන් යෙරෙමියාට පණිවිඩයක් ලැබුණේය. එය බැබිලෝනියේ රජු වන නෙබුකද්රෙෂර්ගේ පාලනයේ පළමුවන අවුරුද්ද විය. 2 යූදාහි වැසියන් හා යෙරුසලමේ වැසියන් සම්බන්ධයෙන් තමාට ලැබුණු පණිවිඩය දන්වමින් අනාගතවක්තෘ යෙරෙමියා මෙසේ පැවසුවේය.
3 “ආමොන්ගේ පුත්‍රයා වූ යූදාහි රජු වූ යොෂියා රජකම් කළ දහතුන්වන අවුරුද්දේ+ සිට මේ දවස දක්වාම එනම්, මේ අවුරුදු විසිතුන පුරාම යෙහෝවා දෙවිගෙන් බොහෝ පණිවිඩ මට ලැබිණ. ජනයෙනි, මා හිමිදිරි උදෑසන සිට නොනවත්වා ඒ පණිවිඩ ඔබට දැන්වුවත් ඔබ ඒවාට ඇහුම්කන් දුන්නේ නැත.+ 4 යෙහෝවා දෙවි හිමිදිරි උදෑසන සිට ඔහුගේ සේවකයන් වන අනාගතවක්තෘවරුන්ව ඔබ වෙතට එව්වේය. නමුත් ඔබ ඔවුන් පැවසූ දේට ඇහුම්කන් දුන්නේවත්+ ඒවා ගණනකට ගත්තේවත්+ නැත. 5 ඒ අනාගතවක්තෘවරු ඔබට මෙසේ පැවසුවෝය. ‘ජනයෙනි, ඔබේ නරක මාර්ගවලින් ඉවත් වන්න. ඔබ කරන දුෂ්ට ක්‍රියා අත්හැර යහපත් ලෙස හැසිරෙන්න.+ ඔබ එසේ කළොත් යෙහෝවා දෙවි ඈත අතීතයේදී ඔබේ මුතුන්මිත්තන්ට දුන් දේශයේ එනම්, උරුමයක් ලෙස ඔබට ලැබුණු මේ දේශයේ තව දිගු කාලයක් ජීවත් වීමට ඔබට හැකි වනු ඇත.+ 6 ඔබ පිටට විපත්ති නොපැමිණෙන පිණිස වෙනත් දෙවිවරුන්ගේ පිහිට පතමින් ඒවා ඉදිරියේ වැඳ වැටී නමස්කාර නොකරන්න. ඔබ දේවතා රූප සාදාගෙන දෙවිව උදහසට පත් නොකරන්න.’+
7 “‘නමුත් ඔබ මට ඇහුම්කන් දුන්නේ නැත. ඔබ දේවතා රූප සාදාගෙන මාව උදහසට පත් කළේය. එබැවින් ඔබ පිටට විපත්ති පැමිණෙනු ඇත’+ කියා යෙහෝවා දෙවි පවසන්නේය.
8 “ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි මෙසේද පවසන්නේය. ‘ඔබ මට අකීකරු වූ නිසා 9 මම මාගේ සේවකයාද බැබිලෝනියේ රජුද වන නෙබුකද්රෙෂර්ටත්+ උතුරෙහි වෙසෙන සියලු ගෝත්‍රයන්ටත් පණිවිඩයක් යවා ඔවුන්ව ගෙන්වාගන්නෙමි.+ මා එසේ කරන්නේ මේ දේශයටත්+ එහි වැසියන්ටත් දේශය අවට සිටින සියලු ජාතීන්ටත්+ විරුද්ධව ඔවුන් ක්‍රියා කරන පිණිසය. මෙසේ පවසන මා යෙහෝවා දෙවිය. මම මේ සෙනඟව සහමුලින්ම විනාශ කර දමන්නෙමි. ඔවුන්ට සිදු වන දේ දැක සියලුදෙනා පුදුමයට පත් වනු ඇත. ඔවුන්ව සියල්ලන්ගේ නින්දා අපහාසවලට ලක් වීමට මම සලස්වන්නෙමි.+ මේ දේශය සදහටම පාළුවට යෑමට ඉඩහරින්නෙමි.+ 10 ප්‍රීති ඝෝෂාවද+ මනාලයාගේ හා මනාලියගේ හඬද+ තවදුරටත් ඔවුන් අතරෙන් නොඇසීමට සලස්වන්නෙමි. ඇඹරුම් ගලේ ශබ්දයත්+ පහනේ ආලෝකයත්+ මම ඔවුන් අතරෙන් තුරන් කර දමන්නෙමි. 11 මුළු දේශයම පාළුවට යන්නේය. සියලුදෙනා එදෙස පුදුමයෙන් බලනු ඇත. මේ ජාතීන්ට වසර හැත්තෑවක් පුරා බැබිලෝනියේ රජුට සේවය කිරීමට සිදු වනු ඇත.”’+
12 “යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. ‘අවුරුදු හැත්තෑව සම්පූර්ණ වූ පසු+ මම බැබිලෝනියේ රජුටත් ඔහුගේ ජාතියටත් ඔවුන් කළ වරදට දඬුවම් කරන්නෙමි.+ කල්දිවරුන්ගේ දේශය+ සදහටම පාළු වී යෑමට සලස්වන්නෙමි.+ 13 මම ඒ දේශයට විරුද්ධව ප්‍රකාශ කළ සෑම දෙයක්ම ඉටු කරන්නෙමි. මේ ලියවිල්ලේ අනාවැකි ලෙස සඳහන් කර තිබෙන සියල්ල එනම්, යෙරෙමියා සියලු ජාතීන්ට විරුද්ධව ප්‍රකාශ කළ සියල්ල මම ඒ දේශය පිටට ගෙනෙන්නෙමි.+ 14 මන්ද බොහෝ ජාතීහුද බලවත් රජවරුද+ මාගේ සෙනඟව මෙහෙකාරකමට ගෙන ගියෝය.+ මම ඒ ජාතීන්ට ඔවුන්ගේ ක්‍රියාවලට අනුව දඬුවම් කරන්නෙමි.’”+
15 ඊශ්‍රායෙල්හි දෙවි වන යෙහෝවා මට මෙසේ පැවසුවේය. “උදහස නමැති වයින් තිබෙන මේ කුසලානය මාගේ අතින් ගෙන මා ඔබට පවසන ජාතීන් වෙතට ගොස් ඔවුන් සියලුදෙනාට එයින් බොන්න දෙන්න.+ 16 ඔවුහු එයින් පානය කර උමතුවෙන් මෙන් ඒ මේ අත වැනෙනු ඇත. ඔවුන්ට එසේ සිදු වන්නේ මා ඔවුන් අතරට යවන කඩුව නිසාය.”+
17 මම යෙහෝවා දෙවිගේ අතේ තිබුණු කුසලානය රැගෙන යෙහෝවා දෙවි පැවසූ ජාතීන් වෙතට ගොස් ඔවුන් සියල්ලන්ට එයින් බොන්න දුන්නෙමි.+ 18 යෙරුසලමේ සහ යූදාහි නගරවල වැසියන්ටද එහි රජවරුන්ටද අධිපතීන්ටද එයින් බොන්න දුන්නෙමි. එබැවින් වැඩි කල් නොගොස් ඒ නගර සියල්ල පාළුවට යන්නේය. එහි වැසියන් අද්දකින විපත දැක සියලුදෙනා පුදුමයට පත් වන්නෝය.+ ඔවුහු සියල්ලන්ගේ නින්දාවට ලක් වනු ඇත. ජනයා ඔවුන්ට ශාප කරනු ඇත.+ 19 මම ඊජිප්තුවේ රජු වන පාරාවෝටද ඔහුගේ සේවකයන්ටද අධිපතීන්ටද සෙනඟටද එයින් බොන්න දුන්නෙමි.+ 20 ඔවුන් අතරේ ජීවත් වූ වෙනත් ජාතීන්ටද ඌෂ් දේශයේ රජවරුන්ටද+ පිලිස්තිවරුන්ගේ දේශයේ සිටින සියලු රජවරුන්ටද+ අෂ්දොද්හි ඉතුරු වී සිටින සෙනඟගේ රජුටද+ අෂ්කෙලොන්,+ ගාසා+ සහ එක්‍රොන්හි+ රජවරුන්ටද 21 ඒදොම්,+ මෝවබ්+ සහ අම්මොන්වරුන්ටද+ 22 තීර්හි රජවරුන්ටද+ සීදොන්හි රජවරුන්ටද+ මුහුදෙන් එතෙර දූපත්වල සිටින රජවරුන්ටද 23 දෙදාන්,+ තේමා+ සහ බූෂ්හි වැසියන්ටද කම්මුල් දෙපස පිහිටි කෙස් කපා ඇති සියල්ලන්ටද+ 24 අරාබිවරුන්ගේ රජවරුන්ටද+ පාළුකරයේ වෙසෙන විවිධ ජාතීන්ගේ රජවරුන්ටද 25 සිම්රීහි රජවරුන්ටද ඒලාම්හි රජවරුන්ටද+ මේදියවරුන්ගේ රජවරුන්ටද+ 26 දුර හා ළඟ සිටින උතුරේ රජවරුන් සියලුදෙනාටද එයින් බොන්න දුන්නෙමි. පොළොවේ අනිකුත් රාජ්‍යයන්හි වැසියන්ටද එයින් බොන්න දුන්නෙමි. එයින් අවසානයටම බොන්නේ ෂේෂක්හි* රජුය.+
27 “ඔබ ඔවුන්ට මෙසේ කියන්න. ‘ස්වර්ගයේ සේනාවල අධිපතිද ඊශ්‍රායෙල්හි දෙවිද වන යෙහෝවා මෙසේ පවසන්නේය. “මත් වන තුරුම එයින් පානය කර වමනය කරන්න.+ මා ඔබ අතරට එවන කඩුව නිසා නැවත කිසිදාක නැඟිටීමට නොහැකි වන ලෙස ඔබ වැටෙනු ඇත.”’+ 28 ඔබේ අතේ තිබෙන කුසලානය ගෙන එයින් බොන්න ඔවුන් අකමැති වුණොත් ඔබ ඔවුන්ට මෙසේ කියන්න. ‘ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි මෙසේ කියන්නේය. “ඔබට අනිවාර්යයෙන්ම මෙයින් බීමට සිදු වනු ඇත.+ 29 මන්ද මා විපත්ති පැමිණවීමට පටන්ගන්නේ මාගේ නාමය දරන නුවරෙන්ය.+ එසේනම් කිසි ලෙසකින් හෝ මාගේ දඬුවමෙන් ගැලවීමට පුළුවන් කියා ඔබ සිතන්නහුද?”’+
“ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි තවදුරටත් මෙසේ පවසන්නේය. ‘පොළොවේ සියලු වැසියන්ට පහර දෙන පිණිස මම කඩුවක් ගෙන්වාගන්නෙමි. එබැවින් කිසිසේත් ඔබට මාගේ දඬුවමින් බේරීමට නොහැකි වන්නේය.’
30 “ඔබ මේ සියල්ල ඔවුන්ට ප්‍රකාශ කරන්න. ‘යෙහෝවා දෙවි උස් ස්ථානයක සිට සිංහයෙකු මෙන් ගර්ජනා කරන්නේය.+ ඔහුගේ ශුද්ධ වාසස්ථානයේ සිට ඔහු හඬ නඟන්නේය.+ ඔහු පොළොවේ තිබෙන ඔහුගේ වාසස්ථානයට විරුද්ධව ගර්ජනා කරන්නේය. මිදිපල මඩින මිනිසුන් ප්‍රීති ඝෝෂා නඟන්නාක් මෙන් ඔහුද පොළොවේ සියලු වැසියන්ට විරුද්ධව සටන් කර ජය ඝෝෂා නඟනු ඇත.’+
31 “‘පොළොවේ ඈත කෙළවර දක්වා මහා ඝෝෂාවක් පැතිරී යනු ඇත. යෙහෝවා දෙවි වන මට ජාතීන්ට විරුද්ධව චෝදනාවක් තිබේ.+ මම සියලු මනුෂ්‍යයන්ව නඩු විභාගයකට කැඳවන්නෙමි.+ දුෂ්ටයන්ව කඩුවෙන් විනාශ වී යෑමට නියම කරන්නෙමි’+ කියා යෙහෝවා දෙවි පවසන්නේය.
32 “ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි තවදුරටත් මෙසේ පවසන්නේය. ‘ජාතියක් පාසා ජාතියක් පිටට විපත්ති පැමිණෙනු ඇත.+ පොළොවේ ඈත කෙළවරේ සිට චණ්ඩ මාරුතයක් හමා ඒමට සලස්වනු ඇත.+ 33 ඒ දවසේදී යෙහෝවා දෙවි වන මාගේ අතින් මරණයට පත් වන අය පොළොවේ එක් කෙළවරක සිට අනික් කෙළවර දක්වා වැටී සිටිනු ඇත.+ කිසිවෙක් ඔවුන් ගැන වැලපෙන්නේවත් ඔවුන්ගේ මළ කඳන් එකතු කරන්නේවත් ඒවා තැන්පත් කරන්නේවත් නැත.+ ඔවුහු පොළොව මතුපිටම කුණු වී පොහොර වී යන්නෝය.’+
34 “සෙනඟට මඟ පෙන්වන එඬේරුනි, හඬා වැලපෙන්න.+ රැළේ ප්‍රධානියෙනි,+ අළු මත පෙරළෙන්න.+ මන්ද ඔබව සීසීකඩ විසුරුවාහැරීමටත් ඔබව මරා දැමීමටත් කාලය පැමිණ තිබේ.+ වටිනා බඳුනක් වැටී විනාශ වී යන්නාක් මෙන් ඔබගේ විනාශයත් සිදු වන්නේය.+ 35 සෙනඟට මඟ පෙන්වන එඬේරුන්ට පලා යෑමට තැනක්වත් රැළේ ප්‍රධානීන්ට ගැලවීමට මඟක්වත් නැත.+ 36 එඬේරුන්ගේ වැලපීමටත් රැළේ ප්‍රධානීන්ගේ මොරගැසීමටත් ඇහුම්කන් දෙන්න. මන්ද යෙහෝවා දෙවි ඔවුන්ගේ තණබිම් සියල්ල විනාශ කළේය. 37 යෙහෝවා දෙවි ඔවුන් සමඟ උදහස් වූ නිසා ඔවුන් සාමකාමීව වාසය කළ ස්ථාන දැන් පාළුවට ගොස් ඇත.+ 38 රෞද්‍ර, කේශර සිංහයෙකු මෙන් දෙවි තම වාසස්ථානයෙන් නික්ම එන්නේය.+ කඩු පහර නිසාත් ඔහුගේ මහත් උදහස නිසාත් ඔවුන්ගේ දේශය සම්පූර්ණයෙන්ම විනාශ වී යන්නේය.”+