යාකොබ්
1 දෙවිගෙත් ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගෙත් දාසයෙක්+ වන යාකොබ්+ විසින්, විසිරී සිටින+ ගෝත්‍ර දොළොස+ වෙතට ලියන ලද ලිපියකි.
ඔබ සැමට සුබ පැතුම්!
2 මාගේ සහෝදරයෙනි, ඔබට විවිධාකාර ප්‍රශ්න ගැටලුවලට මුහුණ දීමට සිදු වන විට එය ප්‍රීතියක් ලෙස සලකන්න.+ 3 මන්ද එයින් ඔබ තුළ තිබෙන විශ්වාසය සෝදිසියට ලක් වනු ඇත. එමගින් ඔබ තුළ විඳදරාගැනීමේ හැකියාව ඇති වන බව ඔබ හොඳින් දන්නා දෙයකි.+ 4 විඳදරාගැනීමෙන් ඉතා වැදගත් කාර්යයක් ඉටු වෙයි. එයින් ඔබට සෑම පැත්තකින්ම අඩුපාඩුවක් නැති,+ නිර්දෝෂ, අවබෝධයෙන් ක්‍රියා කරන කෙනෙකු බවට පත් විය හැක.+
5 එහෙයින් තමාට ප්‍රඥාව අඩුයි කියා යමෙකුට හැඟෙනවා නම්+ එය ඔහුට නොකඩවා දෙවිගෙන් ඉල්ලිය හැකියි.+ ඔහුගේ ඉල්ලීමට අනිවාර්යයෙන්ම පිළිතුරක් ලැබෙයි. මන්ද දෙවි අදිමදි නොකර+ සියල්ලන්ට ප්‍රඥාව ත්‍යාගශීලීව ලබා දෙයි.+ 6 නමුත් ඉල්ලන+ තැනැත්තා කිසි ලෙසකින්වත් සැක කරන්නේ නැතුව+ විශ්වාසයෙන් යුතුව ඉල්ලිය යුතුයි. සැක කරන පුද්ගලයා, සුළඟට ඒ මේ අත ගසාගෙන+ යන මුහුදු රැල්ලකට සමානය. 7 එවැනි මිනිසෙක් තමාට යෙහෝවා දෙවිගෙන් කිසිවක් ලැබෙයි කියා කිසි ලෙසකින්වත් නොසිතිය යුතුයි.+ 8 මන්ද ඔහු දෙගිඩියාවෙන්+ සිටින මිනිසෙකි. එවැනි කෙනෙක් තමන් කරන කියන සියල්ලේදී අවිනිශ්චිතව කටයුතු කරයි.+
9 දුගීව සිටින සහෝදරයා තමාට ලැබී ඇති උතුම් වරප්‍රසාදය ගැන සතුටු විය යුතුයි.+ 10 ධනවත් සහෝදරයාට+ කලින් හිමි වී තිබූ තාන්නමාන්න නැති වුණත් ඔහුද සතුටු විය යුතුයි. මන්ද ධනවතා පහ වී යන්නේ කෙතක හටගන්නා මලක් පරවී යන්නා සේය.+ 11 හිරු පායන විට එහි දැඩි රශ්මියෙන් සියලුම පැළෑටි මැලවී වියළී යයි. එහි මල් කැකුළුද පරවී වැටෙයි. ඒවායේ අලංකාරයද පහ වී යයි. ඒ හා සමානව බොහෝ වැඩකටයුතුවල යෙදී සිටිමින් ජීවත් වන ධනවතාද පහ වී යයි.+
12 විවිධ දුෂ්කරතා දිගටම විඳදරාගෙන සිටින පුද්ගලයෙකුට ප්‍රීතියෙන් සිටිය හැකියි.+ එවැනි පුද්ගලයෙකුට දෙවිගේ අනුමැතිය ලැබෙන අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඔහුට ජීවනයේ ඔටුන්න උරුම වෙයි.+ තමාට නොකඩවා ප්‍රේම කරන අයට එය ලබා දෙන බව යෙහෝවා දෙවි පොරොන්දු වී ඇත.+ 13 දුෂ්කරතා අද්දකින විට+ කිසි කෙනෙක්, “දෙවි මාව වරදකට හසු කරගන්න උත්සාහ කරනවා” කියා කිසිසේත් නොපැවසිය යුතුයි. දෙවි ඉතා පරිශුද්ධ දෙවි කෙනෙක් බව මතක තබාගන්න. නපුරු දේ කරන්න ඔහුව පෙලඹවීමට කාටවත් බැරිය. ඔහුද නපුරු දේ කරන්න කිසි කෙනෙකුව පොලඹවන්නේ නැත. 14 කෙනෙක් නොමඟ ගොස් වරදට පෙලඹෙන්නේ ඒ තැනැත්තා තුළ තිබෙන නුසුදුසු ආශාවන් නිසාය.+ 15 ඒ ආශාවන් පාලනය කරගන්නේ නැත්නම් ඔහු තුළ පව් කිරීමට පෙලඹීමක් ඇති වෙයි.+ ඔහු පව් කරන විට එහි ප්‍රතිඵලය මරණයයි.+
16 එහෙයින් මාගේ ප්‍රේමණීය සහෝදරයෙනි, මුළා නොවන්න.+ 17 සෑම යහපත් දීමනාවක්ම+ හා කිසිම අඩුපාඩුවක් නැති සෑම තෑග්ගක්ම පැමිණෙන්නේ ස්වර්ගයෙහි සිටින දෙවිගෙන්ය.+ අහසෙහි ඇති ආලෝක වස්තුවල නිර්මාතෘ වන ඔහු වෙතින් ඒ දේවල් බැස එයි.+ සෙවණැල්ලක් වෙනස් වන්නා සේ ඔහු කිසිසේත් වෙනස් වන්නේ නැත.+ 18 ඒ අනුව දෙවි තම අරමුණට එකඟව+ අපට සත්‍යය පිළිබඳ පණිවිඩය ලබා දීමෙන්+ ඔහු සෑදූ අය අතරින් අපව යම් ආකාරයක පළමු පල ලෙස ජනිත කළේය.+
19 මාගේ ප්‍රේමණීය සහෝදරයෙනි, මේ දේ දැනගන්න. සෑම මිනිසෙක්ම ඇහුම්කන් දීමට ඉක්මන් විය යුතුයි. කතා කිරීමට ප්‍රමාද විය යුතුයි.+ කෝප වීමටද ප්‍රමාද විය යුතුයි.+ 20 මන්ද කෝප වීමෙන් මිනිසෙකුට දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට අනුව කටයුතු කළ නොහැක.+ 21 එහෙයින් සෑම අපවිත්‍ර ක්‍රියාවකින්ම සහ කිසි වැදගැම්මකට නැති, නපුරු දේවලින්ද දුරස් වී+ දෙවිගේ වදන් මෘදුකමින් පිළිගෙන ඒවා ඔබේ හදවත් තුළ රෝපණය වීමට ඉඩහරින්න.+ එය ඔබේ ජීවිත ගැලවීමට මඟ පාදයි.+
22 ඔබ තුළ ඇති වන බොරු තර්ක විතර්කවලින් ඔබවම රවටාගන්නා සවන් දෙන්නන් පමණක් නොවන්න.+ ඒ වෙනුවට දෙවිගේ වදන් පිළිපදින්නන් බවට පත් වන්න.+ 23 ඇත්තෙන්ම කෙනෙක් දෙවිගේ වදන් අසන්නෙකු මිස එය පිළිපදින්නෙකු නොවේ නම්+ ඔහුව සමාන කළ හැක්කේ කාටද? ඔහුව කැඩපතකින් තමාගේ මුහුණ දෙස බලන මිනිසෙකුට සමාන කළ හැක. 24 මන්ද ඒ මිනිසා තමන් දෙස බැලුවත් ඔහු එතැනින් අහක්ව ගිය පසු තමන්ගේ පෙනුම මොන වගේද කියා ඉක්මනින්ම අමතක කර දමයි. 25 නමුත් කිසි අඩුවක් නැති නිදහස ගෙන දෙන පරිපූර්ණ නීතිය ගැන හොඳින් සෝදිසි කර බලා+ දිගටම ඒ අනුව ජීවත් වන තැනැත්තා, අසා අමතක කරන්නෙකු නොව දෙවිගේ වදන් පිළිපදින්නෙක් වෙයි.+ ඒවා පිළිපැදීමෙන් ඔහු මහත් සන්තෝෂයක්ද අද්දකියි.+
26 තම නමස්කාරයට සම්බන්ධ සෑම කටයුත්තක්ම තමන් නිසි ලෙස ඉටු කරනවා කියා යමෙක් සිතාගෙන සිටියත්+ ඔහු තමාගේ දිව පාලනය කරගන්නේ නැත්නම්+ ඔහු ඇත්තටම කරන්නේ තමාගේම සිත රවටාගැනීමක්ය.+ ඒ මිනිසාගේ නමස්කාරය නිෂ්ඵලය.+ 27 අපගේ දෙවි සහ පියාණන්ගේ මිම්මට අනුව කිසි කැළැලක් නැති+ පවිත්‍ර+ නමස්කාරයක යෙදෙන්න නම් කෙනෙක් අනාථ දරුවන්+ හා වැන්දඹුවන්+ අද්දකින පීඩාවලදී ඔවුන්ව බලාගත යුතු අතර+ මේ ලෝකයේ දේවලින්+ කිලිටි නොවී සිටීමටත් වගබලා ගත යුතුයි.+